ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 19ක් රට තුළ

2024 වසරේ වාර්තා වී ඇති ආබාධ සහිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,967,853ක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා විසින් අසන ලද ප්‍රශ්නයකට ඔක්තෝබර් 9 වන දින පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව, අවම වශයෙන් එක් ආබාධයක් සහිත පුද්ගලයින් 91,706 දෙනෙකු ශ්‍රම බලකායට අයත් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී පිරිසක් වන අතර, ඉන් 86,700 දෙනෙකු රැකියාවල නිරතව සිටින බවත්, 5,006 දෙනෙකු රැකියා විරහිතව සිටින බව සඳහන් වේ.

මෙම රැකියා නියුක්තිය ස්ත්‍රී පුරුෂ භාවය අනුව සලකා බැලීමේදී, ආබාධ සහිත පිරිමින් 62,021 දෙනෙකු ශ්‍රම බලකායට අයත් වන අතර, එම පිරිසෙන් 59,876 දෙනෙකු රැකියාවල නිරත වේ. එය සියයට 96.5ක රැකියා නියුක්ති අනුපාතයක් වන අතර, පිරිමින් 2,145 දෙනෙකු හෙවත් සියයට 3.5ක් රැකියා විරහිතව සිටිති.

ආබාධ සහිත කාන්තාවන් අතරින් 29,685 දෙනෙකු ශ්‍රම බලකායට අයත් වන අතර, ඉන් 26,824 දෙනෙකු රැකියාවල නිරතව සිටිති. එය සියයට 90.4ක රැකියා නියුක්ති අනුපාතයක් වන අතර, කාන්තාවන් 2,861 දෙනෙකු හෙවත් සියයට 9.6ක් රැකියා විරහිතව සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

තවද, ආබාධ වර්ග අනුව රැකියාවල නිරත වන පුද්ගලයින් සංඛ්‍යාව සලකා බැලීමේදී, ඇවිදීම හෝ පඩි නැගීම සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින් 35,127 දෙනෙකු රැකියාවල නිරත වන අතර, පෙනීම සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින් 30,041 දෙනෙකු ද රැකියාවල නිරත වේ.

එමෙන්ම, ඇසීම සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින් 17,456 දෙනෙකු, අදහස් හුවමාරු කරගැනීම සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින් 9,206 දෙනෙකු, මතක තබාගැනීම හෝ අවධානය යොමු කිරීම සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින් 6,004 දෙනෙකු සහ එදිනෙදා කටයුතු තමන් විසින්ම කරගැනීම සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින් 4,011 දෙනෙකු ද රැකියාවල නිරත වන බව සඳහන් වේ.

මේ අතර, ආබාධ සහිත පුද්ගලයින් අතරින් 5,851 දෙනෙකු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශවල රැකියාවල නිරත වන අතර, 80,849 දෙනෙකු පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

2024 වසරට අදාළ දත්තවලට අනුව, පෙනීම, ඇසීම, ඇවිදීම, මතකය, දෛනික කටයුතු සහ අදහස් හුවමාරු කරගැනීම සම්බන්ධ ගැටලු ඇතුළු ආබාධ වර්ග හතක් යටතේ පුද්ගලයින්ගේ තත්ත්වය වර්ගීකරණය කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading