1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා සෙල්වන් අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ආණ්ඩුව අද (ඔක්තෝබර් 09) ප්‍රතික්ෂේප කළේය.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය ඉදිරිපත් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති අදහසට එකඟ වන බවත්, එහෙත් ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත්ය.
ජනාධිපති කොමිසමක් යනු පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන දෙයක් බවද, එම අදහස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා ආණ්ඩුව යෝජනාවක් බාරදී ඇති බවද, එම කාරක සභාව තුළ එම යෝජනාව ඉදිරිපත් කළ අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට එකතු වී කටයුතු කළ හැකි බවද, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත හැකි බවද ඇමති හර්ෂණ නානායක්කාර පැවසීය.
ජනනායක තමිල් තේසිය කුට්ටනි පක්ෂයේ සෙල්වන් අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ශානික්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා ස්ථීර කරමින් පාර්ලිමේන්තු විවාදයට ආරම්භ විය.
‘1983 කළු ජූලිය සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමූල ඝාතන, ජනවාර්ගික ගැටුම් සහ ප්රචණ්ඩ ක්‍රියාවන්, රටේ ජාතික ඒකාබද්ධතාව, සමාජ ව්‍යුහය සහ ආර්ථිකය මත දරුණු කැළලක් ඇති කර ඇති හෙයින්ද, මෙම ගැටුම් සහ ප්රචණ්ඩ ක්‍රියාවලදී දහස් සංඛ්‍යාත ජනතාවක් ඝාතනයට ලක්ව, දස දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සරණාගතයන් බවට පත් කළ හෙයින්ද, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළු වටිනා දේපළ ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද හෙයින්ද, මෙම සිදුවීම සිදුවී වසර හතලිහකට වඩා වැඩි කාලයක් ගතවී ඇති ඇතත්, මෙම ගැටුම් සහ ප්රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ තැනැත්තන් හඳුනාගෙන නොමැති හෙයින් ද, සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දේපළ හානි පිළිබඳව පුළුල් හා ස්වාධීන විමර්ශනයක් මෙතෙක් පවත්වා නොමැති හෙයින් ද, මෙවැනි ජනවාර්ගික ගැටුම් සහ ප්රචණ්ඩ ක්‍රියා නැවත අප රට තුළ සිදු නොවීම තහවුරු කිරීම සහ රටේ සියලුම ජන කොටස් අතර තිරසර සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම අත්‍යවශ්‍ය වන හෙයින්ද, එකී ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ ෂත්‍ය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.’ යනුවෙන් එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
