ලාංකික මගපෙන්වන්නා මුහුදට තල්ලු කළ ඊශ්‍රායල සංචාරකයා! – ඒක විහිළුවක්ලු!

ශ්‍රී ලංකාවේ බෝට්ටු සංචාරයක නිරතව සිටියදී ඊශ්‍රායල සංචාරකයකු විසින් ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නෙකු මුහුදට තල්ලු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් විවේචනයට ලක්ව තිබෙනවා.

රුසියානු මාධ්‍ය ආයතනයක් වන RT විසින් ඊයේ (08) දිනයේදී සමාජ මාධ්‍යයට එක්කර ඇති මෙම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ බෝට්ටුවක ගමන් කරමින් සිටින ඊශ්‍රායල සංචාරකයන් පිරිසක් අතර සිටින පුද්ගලයෙක් ජලය පානය කරමින් සිටින ශ්‍රී ලාංකික පිරිමි මගපෙන්වන්නකු එක්වරම මුහුදට තල්ලු කරන ආකාරයයි.

අදාළ පුද්ගලයා මුහුදට වැටීමෙන් පසුව බෝට්ටුවේ සිටි අනෙක් සංචාරකයන් සිනාසෙන ආකාරයද වීඩියෝවේ දැකගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම දර්ශන ප්‍රචාරය වීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයන් රැසක් අදාළ සංචාරකයන්ගේ හැසිරීම විවේචනය කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

විශේෂයෙන්ම තම රාජකාරියේ නිරතව සිටි දේශීය සේවකයකුට මෙවැනි ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඊශ්‍රායල මාධ්‍යවේදියකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ඩැනියෙල් අම්රාම් විසින් අදාළ සිදුවීමට සම්බන්ධ සංචාරකයන්ගේ පැහැදිලි කිරීමක්ද පසුව සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා.

අම්රාම් නම් එම ඔහු පවසා ඇත්තේ, තමන් සිදුකළේ විහිළුවක් බවටත් බෝට්ටු මගපෙන්වන්නාද එම විහිළුව පිළිබඳව දැනුවත්ව ඊට සහභාගිවූ බවටත් දාළ සංචාරකයන් පවසා ඇති බවයි.

මගපෙන්වන්නාට අපහාස කිරීමේ හෝ ඔහුට අගෞරව කිරීමේ කිසිදු අදහසක් තමන් තුළ නොතිබූ බවත් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

එහිදී “ඒක විහිළුවක්. ඒ සේවකයා හොඳින් ඉන්නවා. ඔහුට නරකක් කරන්න අපේ අදහසක් තිබුණේ නැහැ” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම වීඩියෝව ප්‍රචාරය වීමෙන් අනතුරුව තමන්ට එල්ල වූ දැඩි විවේචන සම්බන්ධයෙන්ද අදාළ සංචාරකයන් කනස්සල්ල පළ කර තිබෙනවා.

තව මාසයකින් තමන් හමුදා සේවයට බඳවා ගැනීමට නියමිත බව සඳහන් කර ඇති ඔවුන්, තමන් හොඳ තරුණයන් පිරිසක් බවත් මෙවැනි වෛරී ප්‍රතිචාරවලට ලක්වීමට තමන් සුදුසු නොවන බවත් පවසා තිබෙනවා.

“අපි තව මාසයකින් හමුදා සේවයට එක්වීමට නියමිතයි. අපි හොඳ ළමයි. අපිට මේ වගේ වෛරයක් හිමිවිය යුතු නැහැ” යනුවෙන්ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සංචාරකයන් විසින් මෙම සිදුවීම විහිළුවක් ලෙස අර්ථකථනය කළද වීඩියෝව නැරඹූ බොහෝ පිරිසක් එම පැහැදිලි කිරීම ප්‍රශ්න කර තිබෙනවා.

විශේෂයෙන්ම රාජකාරියේ නිරත දේශීය සේවකයකුගේ ආරක්ෂාව, ගෞරවය සහ ඔහුගේ කැමැත්ත නොමැතිව මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමේ සාධාරණත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සංවාදයක් නිර්මාණය වී තිබුණා.

Author

1 Comment

  • මුන්ට පිස්සු මිනිහෙකුගේ වටිනාකම දන්නේ නැති අවලන් යක්කු වගයක්!

Leave a Reply

Related Posts