කමේනි ඊශ්‍රායලය විනාස කරන්නට තර්ජනය කර මාස 17ක් ඇතුළත මරණය ලැබූ හැටි!

2024 ඔක්තෝබර් මාසයේදී, වසර පහකට පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි දැඩි පණිවිඩයක් ලබා දුන්නේය. ටෙහෙරානයේ පල්ලියක පැවති සිකුරාදා දේශනයකදී ඔහු දස දහස් සංඛ්‍යාත ආධාරකරුවන්ට පැවසුවේ ඊශ්‍රායලය “වැඩි කලක් නොපවතිනු ඇති” බවයි.

“අපගේ නොසැලෙන යාඥාවන් ශක්තිමත් කර ගනිමින් අපි සතුරාට එරෙහිව නැගී සිටිය යුතුයි,” එවකට 84 හැවිරිදි වියේ පසු වූ ඔහු රැස්ව සිටි පිරිසට පැවසීය.

ඒ කතාවෙන් මාස දාහතකට පසු, දශක ගණනාවක් තිස්සේ සූදානමින් සිටි කමේනි තම අවසාන තීරණාත්මක ගැටුමට මුහුණ දුන්නේය. බෙන්ජමින් නෙතන්යාහු සෙනසුරාදා ප්‍රකාශ කළේ කමේනි මියගිය බවට විශ්වාසදායක තොරතුරු ඇති බවයි. පැය කිහිපයකට පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් ද කමේනි මියගොස් ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් එය තහවුරු කරන ලදී.

සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලදී මුල් මොහොතේ සිටම උත්තරීතර නායකයා ඉලක්ක කර ඇති බව ඉතා පැහැදිලිය. චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන්නේ ඔහුගේ ආරක්ෂිත සංකීර්ණයට මුල් ප්‍රහාර මාලාවෙන්ම දැඩි හානි සිදුව ඇති බවයි.

ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට කමේනිව නසා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වත්මන් ස්වරූපය බිද දැමිමට අවශ්‍ය බව රහසක් නොවේ. 2024 ඔක්තෝබර් වන විටත් ඔහු සිටියේ ඒ ගැන අවබෝධයෙන් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

එදා ඒ ප්‍රකාශයෙන් දින කිහිපයකට පෙර, බීරූට් හි හිස්බුල්ලා මූලස්ථානයට එල්ල කළ දැවැන්ත බෝම්බ ප්‍රහාරයකින් ඊශ්‍රායලය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාහ්ව ඝාතනය කර තිබුණි. දශක ගණනාවක් තිස්සේ නස්රල්ලාහ්ව දැන සිටි කමේනිට මෙය පෞද්ගලිකව එල්ල වූ බලවත් පහරක් වන්නට ඇත.

පසුගිය වසරේ ජුනි මාසයේදී ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය තවත් එවැනිම පහරක් විය. එයින් ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිවල සහ කමේනි විසින් ගොඩනගන ලද සන්නද්ධ කණ්ඩායම්වල දුර්වලතා බොහොමයක් හෙළිදරව් විය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපද බෝම්බ හෙලන යානා යොදවා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම යුද්ධය අවසන් වූ අතර, එය කමේනි  ඉතා උනන්දුවෙන් පවත්වාගෙන ආ වැඩසටහනකට එල්ල වූ දැඩි පසුබෑමකි.

මෂාඩ් නගරයේ මධ්‍යස්ථ මතධාරී ඉස්ලාම් පූජකයෙකුගේ පුතෙකු ලෙස උපන් කමේනි, 1960 දශකයේ මුල් භාගයේදී රැඩිකල්වාදියෙකු ලෙස සිය ගමන ආරම්භ කළේය. තරුණ ආගමික ශිෂ්‍යයෙකු ලෙස ඔහු අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ රැඩිකල් නව චින්තනයට යොමු වුණේය.

කමේනි බටහිර සාහිත්‍යයට, විශේෂයෙන් ලියෝ ටෝල්ස්ටෝයි සහ වික්ටර් හියුගෝ වැනි ලේඛකයන්ට ඇලුම් කළද, ඔහු දැඩි අධිරාජ්‍ය විරෝධී සහ බටහිර විරෝධී මතවාදයන්ගෙන් පෝෂණය විය. 1978 දැවැන්ත විරෝධතාවලට සහභාගී වීමෙන් පසු ඔහු වේගයෙන් ඉහළට ගිය අතර, 1981 දී ඔහු ඉරානයේ දේශපාලන නායකත්වය වන, එරට ජනාධිපති ධුරයට පත් විය.

1989 දී කොමේනි මිය ගිය විට, කමේනි ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තේරී පත් විය. ඔහු වහාම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සිය ප්‍රධාන බලකණුව කර ගනිමින් තම පාලනය තහවුරු කර ගත්තේය.

ඔහුගේ පාලන කාලය තුළ විවිධ විරෝධතා රැලි දරුණු මර්දනයකට ලක් වූ බව නොරහසකි. කාන්තාවන්, සමලිංගික පුද්ගලයින් සහ ආගමික සුළුතරයන් ඉලක්ක කර ගනිමින් දැඩි නීති ක්‍රියාත්මක විය.

කමේනිගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්ෂණය වුයේ ඔහුගේ “ප්‍රතිරෝධයේ අක්ෂය” (axis of resistance) ලෙස හැඳින්වෙන හමාස්, හිස්බුල්ලා සහ හූති ව්‍යාපාරය වැනි කණ්ඩායම්ය. ඔහු ඒවා කෙරෙහි විශාල ආයෝජනයක් කළේය. ඔහු අපේක්ෂා කරන්නට ඇත්තේ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිරෝධයේ අක්ෂය සාර්ථකව සටන් කරනු ඇති බවයි. කෙසේ වෙතත්, එලෙස ශක්තිමත්ව සිටි හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ඔක්තෝබර් 07 ප්‍රහාරයත්, එයින් පසු ඇති වූ ගාසා යුද්ධයත් සමග එල්ල වූ ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ මෙම උපායමාර්ගය බිඳ වැටුණි. එසේම, දෙසැම්බර් මාසයේදී සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ වැටීමත් සමඟ ඉරානයේ වැදගත් මිත්‍රයෙකු අහිමි විය.‍

පසුගිය මාස කිහිපය තුළ කමේනි ගත කළේ දරුණු අර්බුද මැද ය. CIA ආයතනය තක්සේරු කරන පරිදි, කමේනි ඝාතනය වුවද ඔහු වෙනුවට IRGC හි දැඩි මතධාරීන් පත්වනු ඇත. කෙසේ වෙතත්, ඔහුගේ දීර්ඝ පාලන කාලය අවසන් වී ඇත්තේ ඉරානය දැවැන්ත අස්ථාවරත්වයකට ඇද දමමිනි. කමේනි දශක තුනක් තිස්සේ පවත්වාගෙන ගිය “බල තුලනය කිරීමේ” ක්‍රියාවලිය දැන් නිමාවට පත්ව ඇති බව පෙනේ.

(ගාඩියන් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් ඇසුරිනි)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading