සුරේෂ් සලේ නම් වූ රාජපක්ෂලාගේ “වැඩකාරයා” – ප්‍රවීණ යුධ වාර්තාකරුවෙකුගෙන් අලි සබ්‍රිට පිළිතුරක්

(මෙම ලිපිය යුධ සමය පිළිබඳ අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙකු නිර්නාමිකව තැබූ සටහනකි.)

සුරේෂ් සලේ යනු දක්ෂ “වැඩකාරයෙක්” බව රාජපක්ෂවාදීන් පවසති. එම කතාව සත්‍යයකි; ඔහු සැබවින්ම රාජපක්ෂලාගේ වැඩකාරයෙකි. රාජපක්ෂවරුන් පැවසූ ඕනෑම දෙයක් ඉටු කිරීමට ඔහු පසුබට වූයේ නැත. එහෙත් ඔහු යුද බිමේ වැඩකාරයෙකු නොවේ. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක තමිල්සෙල්වම්ට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය ඔත්තු ලබාදුන්නේ සලේ බව හිටපු ඇමැති අලි සබ්රි මහතා පැවසූ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.

එම ප්‍රකාශය සත්‍ය යැයි මොහොතකට උපකල්පනය කළහොත් ගැටලු දෙකක් පැන නගී. පළමුවැන්න නම්, එවැනි රහසිගත බුද්ධි මෙහෙයුමක් හෙළිදරව් කිරීමෙන් සලේගේ ජීවිතයට තර්ජනයක් එල්ල වීමයි. රාජපක්ෂවරුන් පවසන පරිදි එල්.ටී.ටී.ඊ.ය තවමත් සක්‍රීය නම් මෙය බරපතළ තත්ත්වයකි. දෙවැන්න නම්, නිලධාරියෙකු කොතරම් සේවයක් ඉටු කර තිබුණද, ඔහුට එල්ල වන වෙනත් චෝදනා හමුවේ එම සේවය මුක්තියක් ලෙස භාවිතා කළ නොහැකි බවයි. ජනාධිපති නීතිඥවරයෙකු වන අලි සබ්රි මහතා ඒ බව හොඳින්ම දන්නා බව සහතිකය. අලි සබ්රිගේ තර්කයට අනුව එදා සරත් ෆොන්සේකා මහතාව සිරගත කිරීමද වැරදිය. එහෙත් එදා ඔහු ඒ ගැන කතා කළේ නැත.
තමිල්සෙල්වම් ගුවන් ප්‍රහාරයකින් මියයන විට සුරේෂ් සලේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේ නැත. එකල යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඔහුට කිසිදු විශේෂ පැවරුමක් ලබා දී තිබුණේද නැත. සලේ එකල සේවය කළේ රාජපක්ෂවාදී බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යටතේය. එකල බුද්ධි අංශය “හෙන්දාවිතාරණගේ මිනිස්සු” සහ “බ්‍රිගේඩියර් සැකීගේ මිනිස්සු” ලෙස දෙපිලකට බෙදී තිබූ අතර සලේ අයත් වූයේ හෙන්දාවිතාරණ පිලටයි. ඔහු හමුදා සේවයේ මුල් කාලයේ සිටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු විය.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි සමයේ බුද්ධි අධ්‍යක්ෂ (DMI) ලෙස පත් කළේ බුද්ධි අංශයෙන් පිටස්තර නිලධාරීන් දෙදෙනෙකි. පළමුවැන්නා ජෙනරාල් ජම්මික ලියනගේ වන අතර ඔහු විශ්‍රාම ගිය පසු බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර පත් කරන ලදී. තමිල්සෙල්වම් ඝාතනයට මෙන්ම ජාත්‍යන්තර මුහුදේ එල්.ටී.ටී.ඊ. නැව් විනාශ කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයූයේ ඔහු යටතේ සිටි නිලධාරීන් මිස සලේ නොවේ. මේ පිළිබඳව දැනටත් ජීවතුන් අතර සිටින ජෙනරාල් කරුණාසේකරගෙන් විමසා සත්‍යය දැනගත හැකිය.
සලේ දක්ෂයෙකු නම්, ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට පැමිණෙන බව කල්තියා අනාවැකි කීමට ඔහුට නොහැකි වූයේ ඇයි? ඔහුගේ තක්සේරුව වූයේ 25,000ක් පැමිණෙනු ඇති බවයි. එහෙත් ලක්ෂ තුනක් පමණ ජනතාව කොළඹට එන බව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කත්‍රආරච්චි පැවසීය. ඒ වන විට සලේගේ නියෝගයක් මත ඔහුව සේවයෙන් ඉවත් කර තිබුණි. ඊට හේතුව වූයේ රජය සැමන් සහ පරිප්පු මිල අඩු කිරීම පිළිබඳ ජනමතය විමසූ වාර්තාවේ “රජය කෙරෙහි ජනප්‍රසාදයක් නැත” යනුවෙන් ඔහු සටහන් කිරීමයි. එහිදී කත්‍රආරච්චි මහතා කියා සිටියේ තමා පොළොවේ සැබෑ තත්ත්වය දන්නා පොලිස් නිලධාරියෙකු මිස, හමුදාවේ මෙන් ප්‍රධානීන් සතුටු කිරීමට බොරු බුද්ධි වාර්තා සකසන්නෙකු නොවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ පොතේ පවා සලේගේ අසාර්ථකත්වය වක්‍රව සඳහන් වේ. ඔහු හමුදා නිලධාරියෙකු වූ බැවින් SIS මෙහෙයුම්වලදී පොලිසියේ සහාය නොලැබුණු බව එහි දැක්වේ. ඇත්ත වශයෙන්ම සිදු වූයේ පොලිසිය ලබා දුන් ගෝඨාභයට අවාසිදායක තොරතුරු ජනාධිපතිවරයාට වාර්තා කිරීමට සලේ මැලි වීමයි.

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටකරන අවස්ථාවේ සලේ සිටියේ කොට කලිසමක් ඇඳගෙන අරගලකරුවෙකු ලෙස වෙස්වලාගෙනය. අරගලකරුවන් ඇතුළට එන විට ඔහු සිය සේනාධිනායකයා දමා ජාතික කොඩියක් වනමින් පලා ගියේය. එම අවස්ථාවේ බුද්ධි අංශයේම තවත් නිලධාරියෙකු ප්‍රශ්න කර තිබුණේ, “නුවර සිට එන කෝච්චියේ සංඥා පද්ධතිය අඩපණ කිරීමට හෝ රේල් පීල්ලක් ගැලවීමට නොහැකි බුද්ධි අංශයකින් ඇති වැඩක් කුමක්ද?” යන්නයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු සලේ තබා ගත්තේ “නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි” යන සිද්ධාන්තය මතය. එහෙත් ආරක්ෂක කවුන්සිලයේදී පෙර පරිදි දිගු දේශන පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැත. ජනාධිපතිවරයා ආරක්ෂක කටයුතුවලදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සාගල රත්නායක සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වැන්නන්ගේ උපදෙස් මත කටයුතු කළේය.
කෙසේ වෙතත්, සලේගේ දුර්වලතා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වූයේ නැත. ඔහු අනුගමනය කළේ “ගොබෙල්ස් න්‍යායයි”. ඒ සඳහා ඔහු වෙනුවෙන්ම පෙනී සිටින මාධ්‍යවේදීන් පිරිසක් නඩත්තු කිරීමට ඔහු වගබලා ගත්තේය.

Author

1 Comment

  • සිංහල දෙමළ භාෂා දෙකම දන්නා නිසා ඔත්තු සේවා අංශවල රාජකාරි කරන්න ලැබුණා හැරෙන්න සලේ රාජකාරි කටයුතු ගැන දක්ෂතාවක් නොපෙන් වූ බව හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා ද පවසා ඇත.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading