කැන්වසය මත නිහඬ වූ අමූර්ත රේඛාව, එච්. ඒ. කරුණාරත්න සමුගනී…

මෙරට නූතන චිත්‍ර කලාවට නව මානයක් හඳුන්වා දුන්, ව්‍යුක්ත (Abstract) ප්‍රකාශනවාදයේ පුරෝගාමී වූ දෘශ්‍ය කලා ශිල්පී එච්. ඒ. කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 90 වැනි වියෙහි පසු වූයේය.

එච්. ඒ. කරුණාරත්න හුදෙක් සිතුවම් ශිල්පියෙකුට එහා ගිය, වස්තූන්ගේ බාහිර රූපය ඉක්මවා ගිය ආධ්‍යාත්මික සත්‍යය සොයා ගිය ගවේෂකයෙකි. කරුණාරත්නගේ කලා භාවිතාව පිළිබඳව විවිධ අදහස් පවතින අතර ඔහුගේ කලා නිර්මාණ අඩවි බොහෝ මානයන් කරා කැඳවාගෙන යන අසීමාන්තික ප්‍රකාශනයන්ගේ පරාදීසයන්‍ ය.

රජයේ ලලිත කලායතනයේ මූලික අධ්‍යාපනයත්, පසුව ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලය හා ඇමරිකාවේ ප්‍රැට් ආයතනයෙන් ලද ශික්ෂණයත් ප්‍රබල බලපෑමක් ඇති කළ බව පැවසේ. මෙරට පැවති බටහිර ශාස්ත්‍රාලීය ක්‍රමවේදයෙන් බැහැරව, ජපන් සෙන් දහම සහ හයිකු කවිවල ඇති සරල බවත්, ගැඹුරු බවත් ඔහුගේ නිර්මාණ ශෛලියට මුසු විය. මෙය ලාංකේය චිත්‍ර කලාව තුළ නව පෙරදිග සම්ප්‍රදායක් බිහිවීමට මග පෑදුවේ යයි පැවසිය හැකිය.

එච්.ඒ. කරුණාරත්නයන්ගේ නිර්මාණ භාවිතය තුළ දැකිය හැකි සුවිශේෂීම ලක්ෂණය වන්නේ සම්ප්‍රදායික පින්සල සහ වර්ණ තැවරීමෙන් ඔබ්බට ගිය මිශ්‍ර මාධ්‍ය භාවිතයයි. ඔහු හුදෙක් චිත්‍රයක් ඇඳීමට වඩා, කැන්වසය මත යම් ගොඩනැගීමක් සිදු කරයි. මේ සඳහා ඔහු එදිනෙදා ජීවිතයේදී ඉවතලන රෙදි කැබලි, ලෝහ තහඩු, කම්බි සහ වර්ණ කඩදාසි වැනි ද්‍රව්‍ය ඉතා නිර්මාණශීලීව යොදා ගනී. මෙමගින් සිතුවමකට භෞතිකමය ස්වරූපයක් මෙන්ම ස්පර්ශ කළ හැකි වැනි පෘෂ්ඨීය ගුණයන් (Texture) එකතු වන අතර, එය මෙරට නූතන කලාව තුළ වයනය පිළිබඳ අලුත් අර්ථකථනයක් ඇති කිරීමට සමත් විය.

ඔහු කැන්වසය සලකනු ලබන්නේ සරල තලයක් ලෙස නොව, අත්හදාබැලීම් කළ හැකි සටන් බිමක් ලෙසය. ඇතැම් අවස්ථාවලදී ඔහු කැන්වසය කපා දැමීම හෝ ගින්නෙන් පුලුස්සා දැමීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගනිමින්, හැඩතල සහ වර්ණ අතර පවතින අභ්‍යන්තර ගැටුම ප්‍රකාශ කරයි. වර්ණ භාවිතයේදී ද ඔහු ප්‍රදර්ශනාත්මක හෝ ඇසට ප්‍රියමනාප දීප්තිමත් වර්ණ පසුපස හඹා නොයයි. ඒ වෙනුවට විෂයෙහි ඇති ගම්භීර බව සහ ආධ්‍යාත්මික ශාන්තිය මතු කෙරෙන අඳුරු හෝ මලානික වර්ණ මාලාවන් භාවිත කරමින්, නරඹන්නාගේ මනස ගැඹුරු සමාධිගත අවස්ථාවකට යොමු කිරීම ඔහුගේ සුවිශේෂී ශෛලියයි.

එච්.ඒ. කරුණාරත්නගේ “නිවන”

එච්.ඒ. කරුණාරත්නගේ “නිවන” සිතුවම් පෙළ යනු ඔහුගේ වියුක්ත කලා භාවිතයේ මෙන්ම ආධ්‍යාත්මික ගවේෂණයේද උච්චතම අවස්ථාවකි. නිවන යනු වචනයෙන් විස්තර කළ නොහැකි, භෞතික රූපයකට හසු කළ නොහැකි තත්ත්වයක් බැවින්, ඔහු මෙහිදී බුදුරුවක් හෝ සාම්ප්‍රදායික ආගමික සංකේත භාවිත නොකිරීම විශේෂත්වයකි. ඒ වෙනුවට, නිවන තුළ පවතින හිස් බව සහ ශාන්තිය වර්ණ හා වියුක්ත හැඩතල මගින් මතු කිරීමට ඔහු උත්සාහ කර ඇත.

මෙම සිතුවම් සඳහා ඔහු බොහෝ විට භාවිතා කරන්නේ ඉතා සීමිත වර්ණ සංඛ්‍යාවකි. විශේෂයෙන් සුදු, අළු සහ කළු වැනි වර්ණවල විවිධ ප්‍රභේද භාවිතා කරමින් “අඳුරෙන් ආලෝකයට” යන අධ්‍යාත්මික ගමන ඔහු නිරූපණය කරයි. ජපානයේදී ඔහු ලද සෙන් ආභාෂය සහ අවම හැඩතල භාවිතයෙන් උපරිම අර්ථයක් ලබා දීමේ කලාව මෙම නිර්මාණවල පැහැදිලිවම දැකිය හැක. මෙහි හඳුනාගත හැකි භෞතික වස්තූන් නොමැති අතර, ඇත්තේ වර්ණ තැවරුම් සහ පෘෂ්ඨීය සැකසුම් පමණි.

මෙම සිතුවම් පෙළ ලාංකේය බෞද්ධ චිත්‍ර කලාව තුළ ඇති කළ ප්‍රබලම වෙනස වන්නේ, බුදුදහම යනු හුදෙක් ජාතක කථා හෝ සිදුවීම් ඇඳීම නොව, එය සිතුවම් හරහා “විඳිය යුතු දර්ශනයක්” බව තහවුරු කිරීමයි. නරඹන්නාට මෙම සිතුවම් දෙස බලා සමාධිගත වීමට ඉඩ සලසමින්, කලාව සහ භාවනාව අතර මනා සබැඳියාවක් ගොඩනැගීමට කරුණාරත්නයන් සමත් වී ඇත.

එච්.ඒ. කරුණාරත්නයන් බුදුදහම දුටුවේ හුදෙක් ආගමික වතාවත් මාලාවක් ලෙස නොව, ගැඹුරු ජීවන දර්ශනයක් ලෙසය. එම දාර්ශනික දැක්ම හේතුවෙන්ම ඔහු “නිවන”, “පිරිනිවන” සහ “මායා දේවියගේ සිහිනය” වැනි බෞද්ධ තේමාවන් Semi abstract ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට පෙළඹුණි. බුදුදහමේ එන “අඳුරෙන් ආලෝකයට යන” උසස් ආධ්‍යාත්මික ගමන විදහා දැක්වීමට ඔහු එකම වර්ණ මාලාවක විවිධ ප්‍රභේද ඉතා සූක්ෂ්ම ලෙස භාවිතා කළේය. එම සිතුවම් දෙස බලා සිටින නරඹන්නා හුදෙක් රූපයක් දකිනවාට වඩා ඒ හරහා නිදහස් මනසකින් යුතුව එම දර්ශනය විඳීමට සමත් වේ.

“මා සිතුවම් අඳින්නේ යම් නිශ්චිත මනෝභාවයකට මා පත් වූ විටය. ලෝකයට පැවසිය යුතු යැයි කියා මා කලින් සැලසුම් කළ පණිවිඩයක් මගේ සිතේ නැත. එම නිසාම, මට පෙළඹවීමක් ඇති කරන්නේ හරියටම කුමක්දැයි මට පැවසිය නොහැක. එවැනි සිතුවිලි හෝ මනෝභාවයන් මතු වූ විට, මම සිතුවම්කරණයේ නිරත වෙමි. කෙනෙකුට එය භාවනාවක් ලෙස හැඳින්විය හැකිය. මට නම් එය දැඩි විශ්වාසයක් මත කෙරෙන කාර්යයකි. එය නිම වූ බව මට හැඟුණු විට මම සිතුවම් ඇඳීම නවත්වමි… සැබෑ කලාව යනු භාවනාවකි. කලාකරුවා භාවනාමය මනෝභාවයක සිටින විට බොහෝ අදහස් ගලා එයි. සැබෑ කලාකරුවාට කැන්වසය යනු අතිශය පිරිසිදු, පූජනීය වස්තුවකි. එය කලාකරුවාගේ හද පත්ලෙන් නැගෙන අදහස් ප්‍රකාශ කිරීමට මඟ පාදා දෙන මාධ්‍යයයි. තේරුමක් නොමැති පින්සල් පහරවල් එක මත එක රළු ලෙස තැවරීමෙන් කැන්වසය දූෂණය නොකළ යුතුය… මා යමක් කැන්වසය මත සටහන් කළ පසු, මගේ අරමුණ ඉටු කිරීමට තවත් මානසික මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව හැඟුණු විට මම සිතුවම නතර කරමි. ඉන්පසු එහි අර්ථය සෙවීමට මම නරඹන්නාට ඉඩ හරිමි…” – එච්. ඒ. කරුණාරත්න

“සඳපායා”

එච්.ඒ. කරුණාරත්නගේ “සඳපායා” සහ “රිද්මය” යන සිතුවම් ද්විත්වයම ඔහු ජපානයේ ලැබූ සෙන් දහමේ සහ හයිකු කවි කලාවේ ආභාෂය මනාව පිළිඹිබු කරන නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. මෙම සිතුවම්වල ඇති සරල බව සහ ගැඹුරු බව නිසාම, ඒවා ජපන් රජය විසින් ඉහළ අගයකට මිලදී ගැනීම ශ්‍රී ලාංකික ශිල්පියෙකු ලැබූ සුවිශේෂී ඇගයීමකි.

“සඳපායා” සිතුවම තුළින් ඔහු උත්සාහ කරන්නේ සඳ එළියෙන් නැහැවුණු පරිසරයක ඇති ශාන්ත බව සහ නිහඬ බව වර්ණ හා හැඩතල මගින් මතු කිරීමටයි. මෙහිදී හයිකු කවිවල ඇති “අවම වචනවලින් උපරිම හැඟීමක් ප්‍රකාශ කිරීමේ” ගුණය ඔහු චිත්‍රයට ආරූඪ කර ඇත. ඉතා සරල වර්ණ සංකලනයක් සහ සංයමයකින් යුත් රේඛා භාවිතය හරහා රාත්‍රියක ඇති ආධ්‍යාත්මික සුවය නරඹන්නාට සමීප කරවීමට ඔහු සමත් වී ඇත.

එලෙසම “රිද්මය” සිතුවම ද ජපානයේ ෆුකෝකා කලා කෞතුකාගාරයේ පවා ප්‍රදර්ශනය වන විශිෂ්ට නිර්මාණයකි. මෙහිදී ඔහු වස්තූන්ගේ බාහිර ස්වරූපය වෙනුවට, විශ්වය තුළ පවතින ගුප්ත චලනය හෙවත් රිද්මය වියුක්ත හැඩතල මගින් නිරූපණය කරයි. සෙන් දර්ශනයේ එන “හිස් බව තුළ ඇති පූර්ණත්වය” මෙම සිතුවම්වල මූලික ලක්ෂණය වන අතර, එය සම්ප්‍රදායික රූපක කලාවෙන් ඔබ්බට ගිය දාර්ශනික ප්‍රවේශයකි.

චිත්‍ර කලාවට පමණක් නොව මූර්ති කලාවටද නව අර්ථකථනයක් ලබා දුන් කරුණාරත්නයන්, තහඩු වැනි මාධ්‍ය උපයෝගී කරගනිමින් ප්‍රතිමා නිර්මාණය කළේය. මෙය සාම්ප්‍රදායික පිළිම කලාවේ එන ස්වරූපයන්ගෙන් බැහැරව, නූතන දෘශ්‍ය කලා භාවිතාවන් සඳහා නවමු සිතීමේ කලාපයන් විවෘත කළේය. මෙලෙස ඔහු බුදුදහමේ හරය ලෙස ඔහු තේරුම් ගත්තා වූ දෙය නවීන කලා ශෛලීන් සමඟ මුසු කරමින්, ලාංකේය දෘශ්‍ය කලාවට නව මානයක් එක් කළේ යයි පැවසිය හැකිය.

ඔහු සෙවූ නිවන ඔහුට අත් වේවා!

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading