+ ඒක ඇත්ත ද ඔයා කෙනෙක්ගේ අතින් ඇල්ලුවාම එයා ගැන හැම දෙයක්ම දැනගන්නවා කියන එක ?
– හැම දෙයක් ම නෙවෙයි
+ මගේ අතින් අල්ලනකොට ඔයා මොනවද දැක්කෙ ?
– මම දැක්කා භූ දර්ශනයක්. හිස් අවකාශයන්, ගුහා, කඳු මුදුන්, උමං මාර්ග, සාගර, ගැඹුරු අඳුරකින් යුත් හිස් බව, තවම සොයා නොගත්ත රටවල්.
මේ සංවාදය ඇති වෙන්නෙ විලියම් ශේක්ස්පියර් සහ ඔහුගේ පෙම්වතිය සහ පසුකාලීනව ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ මව වුණු Agnes Hathaway සමඟ. ඔවුන් දෙදෙනා අතර ආදරය දලු ලා වැඩෙන සමයක ඇතිවන මේ කුඩා දෙබස තුළ ශේක්ස්පියර්ගේ සම්පූර්ණ චරිතය සහ ජීවිතය එක මොහොතකින් පිඬු කරලා පෙන්නන බවයි මම විශ්වාස කරන්නෙ. මෑත කාලයේ මම බලපු චිත්‍රපට කිහිපය තුළ මේ ආදර ජවනිකාව ඉතා ම තදින් මතකයේ රැඳෙන්නෙ ආදරයේ දි එකිනෙකා වටහාගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් මේ මොහොත විසින් ඉතුරු කරන නිසා. එසේ ශේක්ෂ්පියර්ව කුඩා මොහොතක් තුළ වටහාගන්නා ඇග්නස්ව තේරුම්ගැනීමට ශේක්ස්පියර්ට හැකි වුණා ද ? ඒ ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්නෙ චිත්‍රපටය අවසන් වන මොහොත තුළ බවයි මම විශ්වාස කරන්නෙ.
විලියම් ශේක්ස්පියර්ගේ විශිෂ්ටතම ඛේදාන්ත නාට්‍යය ලෙස හඳුන්වන Hamlet නාට්‍යය නිර්මාණය කිරීම පසුපස ඔහුගේ ජීවිතය හා සබැඳි පසුබිම් කතාව කුමක්ද ? මේ ප්‍රශ්නය සඳහා වන පිළිතුර තමයි චිත්‍රපටයේ කතාව. චිත්‍රපටය ඉතා කාව්‍යාත්මකව ගලාගෙන යන ආකාරයත්, විවිධාකාරයේ හැඟීම්වලට තට්ටු කරමින් දොරගුළු විවර කරන ආකාරයත් මේ චිත්‍රපටය වෙත අපේ සම්පූර්ණ අවධානය යොමු කරගන්නවා. නමුත් චිත්‍රපටය තමන්ගේ ආධිපත්‍යය සනිටුහන් කරන්නේ ඒ කිසිවකින් ම නෙවෙයි. තමන්ගේ චිත්‍රපටය තුළ සිදු කරන විශිෂ්ට චරිත ගොඩනැංවීම ඇතුළෙදියි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බවට නිරායාසයෙන් ම පත්වන්නේ ඇග්නස්. ඇග්නස්ගේ චරිතය සාමාන්‍ය ස්ත්‍රියකගෙන් බැහැර යම් මායාමය හා ඒ සමකාලීන කාන්තාවන්ට සාපේක්ෂව යම් වෙනස් ආකෘතියක් සහිත චරිතයක් බව අපට චිත්‍රපටය ආරම්භයේ දී ම යෝජනා කරනවා. මෑතකාලීනව මම නරඹපු චිත්‍රපට ගොන්න අතරෙ චරිතයක අභ්‍යන්තර වෙනස්වීම ඉතා ම තදින් සහ විශ්වාසවන්ත ලෙස වගේ ම වඩාත් විශිෂ්ට ලෙස පෙන්වන චරිතයත් අවිවාදයෙන් ඇග්නස්ගේ චරිතය. ඒ චරිතය නිරූපණය කරන රංගන ශිල්පිනියගේ (Jessie Buckley) බුහුටිත්වයත් ඒ චිත්‍රපටයට එකතු වුණාම එන පිපිරීම මුළු චිත්‍රපටය පුරා ම ස්ථානගත වෙලා තියෙනවා. චිත්‍රපටය ආරම්භ වෙද්දි අපි දකින ඇග්නස් නොවෙයි අවසානයේ අපට දකින්න ලැබෙන්නෙ. නමුත් ඒ වෙනස්වීම ? ඒක ඉතා ම විශිෂ්ට ලෙස අපේ සම්මුඛයට එනවා. ඒ වෙනස්වීම දරාගන්න අමාරු නැහැ. ඒ වෙනස් වීම විශ්වාස නොකර ඉන්න බැහැ. ඒ වෙනස්වීමට අපට අනුගත නොවී ඉන්න බැහැ. චරිතයක් තමන්ගේ මාර්ගය අංශක 180 ක් වෙනත් මාර්ගයක කිසිම කඩතොල්ලක් සහිතව අරගෙන යන ආකාරය දැකගන්න පුළුවන් ඉතා ම හොඳ උදාහරණයක් විදිහට මේ චරිතය පෙන්වා දෙන්න පුළුවන්.
නමුත් මාව චිත්‍රපටය තුළ පුදුමයට පත් කරපු සාධකය ඇග්නස් නෙවෙයි. ඒ ශේක්ෂ්පියර් සහ ඔහුගේ චරිතය නිරූපණය කළ Paul Mescal. මම හිතන්නෙ හැඟීම් සිරගත කිරීම කියන කාරණය සාම්ප්‍රදායික පුරුෂයා සමඟ බැඳී පවතින්නක්. පිරිමියෙක් වුණා ම අඬන්න හෝ බිඳවැටෙන්න බැරි බව අපට කුඩා කාලයේ දී ම ඒත්තු ගන්වනවා. විශේෂයෙන් ම පියෙකුට ඒ කඩාවැටීම කරන්න බැරි බව අපට විශ්වාස කරන්න යැයි කියනව. ඔහුට තමන්ගේ පවුල නඩත්තු කිරීමට සිදුවීමත්, එහි දී කොඳු නාරටිය බවට ඒ තාත්තා පත්වීමත් නිරායාසයෙන් ම සාම්ප්‍රදායික බිමක සිදුවනවා. මේ චිත්‍රපටය තුළ ශේක්ස්පියර්ගේ ඉරණම නිරූපණය වෙන්නෙත් ඒ විදිහට. ඔහුගේ බිඳවැටීම ඔහු විසින් සිරගත කරගන්නෙ මොන විදිහට ද ? ඔහුට ජීවිතයේ අහිමිවීම්වලට ප්‍රතිචාර දක්වන්න වෙන්නේ මොන විදිහට ද ? කියන ප්‍රශ්නවලට උත්තර අපිට Paul Mescal ගේ විශිෂ්ට රංගනය ඇතුළෙදි පේන්න පටන් ගන්නවා. ඔහුට තමන්ගේ අවංක හැඟීමත්, ලෝකය හමුවේ පෙන්වීමට සිදුවන හැඟීමත් අතර වන උභතෝකෝටිකය මේ චිත්‍රපටය තුළ ඉතා ම හොඳින් සනිටුහන් කරලා තියෙනවා.
මේ චරිත ද්විත්වයට අමතරව සහය චරිත ; විශේෂයෙන් ළමා චරිත මොන තරම් සූක්ෂමව නිර්මාණයට බද්ධ කරගෙන තියෙනව ද කියන කාරණය මේ චිත්‍රපටයේ දී ඉතාම වැදගත්. මේ චිත්‍රපටය තුළ “හැම්නට්” ගේ චරිතය නිරූපණය කරන Jacobi Jupe ළමා රංගන ශිල්පියාගේ සිට සෙසු සියලු චරිත මේ චිත්‍රපටය තුළ අධ්‍යක්ෂවරිය භාවිතා කරන ආකාරය ඉතා ම ප්‍රශංසනීයයි. බොහෝදුරට චිත්‍රපටය රඳා සිටින පාදම බවට පත්වෙන්නේ ඒ චරිත. මේ චරිත ප්‍රධාන චරිත ද්විත්වය සහ සමස්ත චිත්‍රපටය ම ගොඩනැංවීමේ දී කරන දායකත්වය චිත්‍රපටය බලා අවසන් වුණා ම දැනෙන ප්‍රමෝදයට අනිවාර්යයෙන් ම වගකිවයුතුයි.
චිත්‍රපටයේ ගලායෑමත්, සමස්ත කතාව චිත්‍රපටය තුළ යොදාගෙන තිබෙන ආකාරයත්, අධ්‍යක්ෂවරියගේ විශිෂ්ට Visual Storytelling ක්‍රියාවලියත්, තිර පිටපතේ බුහුටිබවත්, මේ සියල්ල සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකියා මම කැමතියි මේ චිත්‍රපටයේ එන ශේක්ෂ්පියර් විසින් ඇග්නස් වෙත කතාන්දරයක් කියන අවස්ථාව ගැන ලියා තබන්න.
අප කුඩාකලයේ අපේ අත්තම්මලා සහ සීයලාගෙන් කතන්දර අහන්න වාසනාවන්ත වුණා. සොබාදහමේ සිට මනුෂ්‍ය සන්තානයේ ගැඹුර දක්වා විහිදුණු කතන්දර අපි වෙනුවෙන් ම ගොතලා ඒ වැඩිහිටියන් අපට ඒ ගැන කිව්ව ආකාරය මට මතකයි. ඒ කතන්දර අපි ඇතුළෙ පරිකල්පනීය ලෝකයක් මවමින් අපිට කතන්දරකරුවන් වීමට ආරාධනා කරන බව මට තේරුණේ ඒ කතන්දර අසමින් සිටි කාලයෙන් තවත් බොහෝ කාලයක් ගෙවුණට පස්සෙ.
අපි ටිකෙන් ටිකෙ වැඩෙමින් අප තුළත්, අන් අය තුළත් තිබෙන කිසිදා කිසිවෙක් නොකියූ කතන්දර පිළිබඳව ඉගෙනගන්න සහ ඒ කතන්දර දැකගන්න පටන් ගත්තායින් පස්සෙ, අපි අපි විසින් ම නිර්මාණය කළ කතන්දර, නැත්නම් අපේ විදිහට සකසාගත්ත සංස්කරණය කරන ලද පැරණි කතාන්දර අපේ ළබැඳියන්ට මුමුණන්නට පටන් ගන්නවා. ඒත් ළබැඳියන් හා තිබෙන ඒ සංවාද ටිකෙන් ටික බිඳ වැටීමෙන් පස්සෙ අපි ඒ කතාන්දර නිර්මාණ ලෙස හුවාදක්වමින් නිර්මාණකරුවන් වීමට උත්සාහ ගන්නවා.
ඉතින් අවසානයේ ඒ නිර්මාණකරුවා තුළ සැඟව යන අපේ පරිකල්පනය විසින් නිර්මාණය කළ අව්‍යාජ කතාකරුවා තවදුරටත් පවතින්නේ කොතැනක ද ? ඒ අපට අහිමි වූ සංවාද තුළ ද ? නැත්නම් අප ඇසූ කතා තුළ ද ? එසේත් නැත්නම් අප කතාකරුවන් බවට පත්කළ අපේ ජීවිතය තුළ ද ?
“හැම්නට්” හි චිත්‍රපටයේ ඇග්නස්ට කතන්දර කියාදෙන ශේක්ස්පියර්ගේ ඒ කුඩා දර්ශනය ඔහු නිර්මාණකරුවෙක් බවට පත්වී අවසන් වන චිත්‍රපටය කෙළවරදී මට නැවත මතක් කර දුන්නේ අප තුළ පැවති එහෙත් අපට අහිමි වූ එකී ළබැඳියන් හා අප තුළ සිටි අව්‍යාජ කතාකරුවාවයි.
මම චිත්‍රපටය ගැන වැඩිදුරටත් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මම යෝජනා කරන්නෙ Hamnet අනිවාර්යයෙන්ම බැලිය යුතු බව පමණයි. ඔය Hamlet නාට්‍යය නරඹා හෝ පිටපත කියවා තිබෙනවා නම් ඒ නාට්‍යය තුළ තිබෙන අපෙන් විමසන ජීවිතයේ සහ මරණයේ අරුත, නාට්‍යය තුළ පෙන්වන පවුල, පාවාදීම සහ ශෝකය පිළිබඳ තේමා ශේක්ස්පියර් තුළ නිර්මාණය වන සූක්ෂම බව ඔබට පෙනේවි.
“To be or not to be… That is the Question” දෙබස නිර්මාණය වීම හා අදාළ මොහොතත්, සියල්ල අවසානයේ ශේෂ්ස්පියර්ගේ සහ ඇග්නස්ගේ හැඟුම් මාත්‍රයනුත්, කිසිදා අමතක නොවන චිත්‍රපටයේ අවසාන ජවනිකාවත් ඔබට Hamnet හි සුන්දරත්වය නැවත නැවතත් තහවුරු කරාවි.
නමුත් මම යෝජනා කරනවා ඒ සියල්ලෙන් පසුවත් ඔබට පුළුවන් නම් එක් කුඩා රාත්‍රියක Max Richter විසින් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ පසුබිම් සංගීතය වෙන ම රසවිඳින්න. අනිවාර්යයෙන් ම එය ඔබට චිත්‍රපටය හෙළි නොකරන, නමුත් ඔබ දැනගත යුතු තවත් රහස් ගණනාවක් හෙළි කරාවි.
