සිව් වසරක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්- ආණ්ඩුව කෙරෙහි ජනතා කැමැත්ත 65% දක්වා ඉහළට… සංඛ්‍යා ලේඛනවලින් වැසීගිය සමාජමය යථාර්ථය

ශ්‍රී ලංකාව තුළ වසර කිහිපයක් පුරා පැවති ආර්ථිකය පිළිබඳව අවිශ්වාසය පහව යමින් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බව වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වන ලද නවතම මත විමසුම මගින් අනාවරණය වේ. 2026 පෙබරවාරි මුල් භාගය වන විට සිදුකරන ලද මෙම සමීක්ෂණයට අනුව, රජය පිළිබඳ ජනතා අනුමැතිය මෙන්ම ආර්ථික විශ්වාසය ද කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පවතින බව මෙම පර්යේෂණය මගින් පැවසේ. මෙම පර්යේෂණ සමග අප නැවත නැවතත් සිතිය යුත්තේ මෙම ආර්ථික වර්ධනයන් ජනතාව කෙරහි බලපාන ආකාරයේ ස්වරූපය කෙබඳුද යන්නයි.

මෙම මත විමසුමට අනුව, වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය 65% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මීට වසරකට පෙර, එනම් 2025 පෙබරවාරි වන විට මෙම අගය 62% ක් ලෙස වාර්තා වූ අතර, ± 3% ක ආන්තික දෝෂය (margin of error) සැලකිල්ලට ගත් විට, මෙය සංඛ්‍යානමය වශයෙන් ස්ථායි (Stable) මට්ටමක පවතී.

එසේම, රජය කෙරෙහි අප්‍රසාදය පළ කරන පිරිස ඉතා අඩු මට්ටමක පවතින අතර එය 2025 වසරේ පැවති අගයට සාපේක්ෂව වෙනස් වී නොමැති වීම ද විශේෂත්වයකි.

මෙම මත විමසුම් මාලාවේ සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ පිළිබඳ ධනාත්මක ආකල්ප දරන්නන්ගේ සංඛ්‍යාව සෘණාත්මක ආකල්ප දරන්නන් අභිබවා යාම කැපී පෙනෙන හැරවුම් ලක්ෂ්‍යයකි. වත්මන් ආර්ථික තත්ත්වය “යහපත්” හෝ “විශිෂ්ට” ලෙස ඇගයූ පිරිස, එය “දුර්වල” ලෙස හැඳින්වූ පිරිසට වඩා ඉහළ ගොස් ඇති අතර, මෙය වසර ගණනාවකට පසු ජනතාව තුළ ඇති වූ ප්‍රබල ආර්ථික විශ්වාසයක් පෙන්නුම් කරයි. මීට අමතරව, ආර්ථිකය “යහපත් වෙමින් පවතින බව” විශ්වාස කරන පිරිස වසරකට පෙර පැවති 55% ක අගයේ සිට 64% දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබීමෙන් පෙනී යන්නේ, රටේ අනාගතය පිළිබඳව ජනතාව තුළ මීට පෙර නොවූ විරූ සුබවාදී බලාපොරොත්තුවක් ගොඩනැඟී ඇති බවයි.

මෙම දත්තයන්හි තවත් විශේෂත්වයක් වන්නේ, ආර්ථිකය පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකළ පිරිස සැලකිය යුතු ලෙස අඩු වී තිබීමයි. මින් පැහැදිලි වන්නේ ජනතාව දැන් වඩාත් තීරණාත්මක ලෙස රටේ ආර්ථික ක්‍රියාවලිය දෙස බලා සිටින අතර, පවතින වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන් ස්ථිරසාර හා ධනාත්මක නිගමනයකට එළඹ ඇති බවයි. ආර්ථිකය “නරක අතට හැරෙන බව” පවසන පිරිසෙහි අගය නොවෙනස්ව පැවතිය ද, අවිනිශ්චිතව සිටි පිරිස සුබවාදී පිලට එක්වීම හරහා සමස්ත ජනමතය රජයේ ආර්ථික ගමන් මඟ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බව තහවුරු වේ.

ප්‍රජාවගේ ආර්ථික ආකල්ප සෘණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක මනිනු ලබන “ආර්ථික විශ්වසනීය දර්ශකය” මෙවර +36 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2025 වසරේ මෙම අගය සටහන් වූයේ +14 ක් ලෙසිනි. මෙම ශීඝ්‍ර වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව මහජනයා තුළ ඇති විශ්වාසය තහවුරු වී ඇති බවයි.

මීට අමතරව, ජනතාවගෙන් බහුතරයක් වන 59% ක් වර්තමානයේ රට සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත. වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ මෙම තෘප්තිමත් භාවය 50% සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය බව පැවසේ.

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නවතම මත විමසුමට අනුව, වත්මන් රජය විවිධ ක්ෂේත්‍රයන් යටතේ මෙහෙයවන ආකාරය පිළිබඳව ජනතාව සිය ඇගයීම් ලබා දී ඇත. එහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි මහජනතාව තුළ පවතින ඉහළ ප්‍රසාදයයි. පෙර පැවති රජයන්ට සාපේක්ෂව මෙම අංශයේ ප්‍රගතිය ඉතා ධනාත්මක මට්ටමක පවතින බව බහුතරයකගේ අදහස වී තිබේ. මෙය රජයේ පාලන කාර්යක්ෂමතාව මැන බැලීමේදී ජනතාව වඩාත්ම තෘප්තිමත් වූ ප්‍රධානතම අංශය ලෙස හඳුනාගත හැකිය.

මීට අමතරව, දූෂණය අවම කිරීම සඳහා රජය දක්වන දායකත්වය ද ජනතාවගේ ඇගයීමට ලක්ව ඇතත්, එය මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීම සම්බන්ධයෙන් ලැබී ඇති ඇගයීමට වඩා පියවරක් පසුපසින් පවතී. දූෂණය පිටුදැකීම පිළිබඳව ද ජනතාව සුබවාදී ආකල්පයක පසු වුවද, රටේ පොදු ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම වැනි ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග කෙරෙහි ඔවුන් වඩාත් තීරණාත්මකව සිය විශ්වාසය පළ කර තිබේ. මෙම ප්‍රතිඵල මඟින් ගම්‍ය වන්නේ සමාජ විනය ස්ථාපිත කිරීමේ ලා රජය දක්වන උනන්දුව ජනතාවගේ සමීපතම අවධානයට ලක්ව ඇති බවයි.

වේරිටේ රිසර්ච් ආයතනය වෙනුවෙන් වැන්ගාඩ් සමීක්ෂණ (Vanguard Survey (Pvt) Ltd) ආයතනය විසින් මෙම දත්ත රැස් කර ඇති අතර 2026 ජනවාරි 24 සිට පෙබරවාරි 03 දක්වා කාලය තුළ දිවයින පුරා විසිරී සිටින වැඩිහිටියන් 1,048 දෙනෙකු ඇසුරින් මෙම නියැදිය තෝරාගෙන තිබේ.

සංඛ්‍යා ලේඛනවලින් වැසීගිය සමාජමය යථාර්ථය

වේරිටේ රිසර්ච් ආයතනයේ නවතම “රට හිතන හැටි” මත විමසුම හරහා මතුකරන දත්ත පද්ධතිය, මතුපිටින් බලන කල රජයේ ස්ථාවරත්වය සහ ආර්ථික පුනර්ජීවනයක් පෙන්නුම් කළද, ගැඹුරු සමාජ-ආර්ථික විශ්ලේෂණයකදී එහි විවිධ පරස්පරතා දක්නට ලැබේ.

ආර්ථික විශ්වසනීය දර්ශකය (ECI) +36 දක්වා ඉහළ යාම යන්න හුදෙක් “සාර්ව ආර්ථික ඉලක්ක” සපුරා ගැනීමක් මිස සාමාන්‍ය ජනතාවගේ “ජීවන තත්ත්වයේ” වර්ධනයක් නොවන බව පැවසිය හැකිය. උද්ධමනය පාලනය වූ පමණින් හෝ සංචිත ඉහළ ගිය පමණින් ජනතාවගේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව ඉහළ යන්නේ නැත. 64% ක් ආර්ථිකය යහපත් වෙමින් පවතින බව පැවසීම, සමස්ත ජනතාවගේම අත්දැකීමක් ද? නැතහොත් වෙළඳපල ලිබරල්කරණයෙන් ප්‍රතිලාභ ලබන ඉහළ සහ මැද පන්තික ස්ථරවල හඬක්ද යන්න ප්‍රශ්න කළ යුතුය. පවුල් ඒකක 1,048 ක නියැදියක් තුළ ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ අවිධිමත් අංශයේ සේවකයින්ගේ සහ දිළිඳු ජනතාවගේ දෛනික පීඩනය මෙම දත්ත තුළ සැඟවී යාමට ඇති ඉඩකඩ ඇති අතර එම පවුල් ඒකක තෝරා ගත් පදනම පිළිබඳව සොයා බැලිය යුතුය.

මත විමසුමට අනුව ජනතාව වඩාත්ම තෘප්තිමත් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පාලනය කිරීම සම්බන්ධයෙනි. මෙය ආණ්ඩු නොවන දෘෂ්ටියකින් බලන කල, රාජ්‍යය විසින් ක්‍රියාත්මක කරන දණ්ඩනීය සහ මර්දනිය ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ ඇති කර තිබෙන ව්‍යාජ සුරක්ෂිතභාවයකි. දූෂණය අවම කිරීමට වඩා අපරාධ මර්දනය ඉහළින් ඇගයීමෙන් පෙනී යන්නේ, System Change වෙනුවට මතුපිටින් පෙනෙන මර්දනකාරී ක්‍රියාමාර්ග වැළඳ ගැනීමට ජනතාව යොමු කර ඇති බවයි. අපරාධවලට සහ මත්ද්‍රව්‍යවලට තුඩු දෙන දරිද්‍රතාවය සහ ආර්ථික අසමානතාවය වැනි මූලික හේතු විසඳනවා වෙනුවට, හුදු පොලිස් බලය යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පසුබැසීමකි.

සිව් වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට තෘප්තිමත් භාවය 50% ඉක්මවා යාම තුළින් හැඟෙන්නේ ජනතාව සැබවින්ම තෘප්තිමත් බව ද, නැතහොත් විකල්ප දේශපාලන දැක්මක අඩුව නිසා පවතින තත්ත්වය පිළිගැනීමට ඔවුන්ට සිදු වී ඇති බව ද? යන්න විමසිය යුතුය. වේරිටේ රිසර්ච් වැනි ආයතන නිපදවන මෙම දත්ත, අවසාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල කොන්දේසි මත පදනම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණවලට මහජන අනුමැතිය ලබා දෙන නීත්‍යානුකූල මෙවලමක් ලෙස භාවිතා වීමේ අවදානමක් පවතී. එසේ සිදු වන්නේ නම් එය ඉතා බැරෑරුම්ව සිතිය යුතු කාරණයකි.

මෙහිදී අප සිටිහිය යුතු තවත් කාරණයක් වන්නේ ආර්ථික විශ්වසනීය දර්ශකය ඉහළ යාම යනු සැබවින්ම වෙළඳපල ක්‍රියාකාරීන්ගේ විශ්වාසය තහවුරු වීමකි. විදේශ සංචිත ඉහළ යාම, රුපියල ස්ථාවර වීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු මගින් වැඩිම ප්‍රතිලාභ අත්කර ගනු ලබන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින්ය. මෙම ආණ්ඩුව විසින් එම ව්‍යපාරික පැලැන්තිය ගජ මිතුරන් සේ කටයුතු කරන අතරම රට ගොඩනගන කමිටු වල සිටින්නේද ඔවුන්මය. මෙහිදී පර්යේෂණය මගින් කියන මෙම “තිරසාර බව” මනිනු ලබන්නේ බැංකු පද්ධතියේ සහ කොටස් වෙළඳපලෙහි දත්ත මගින් මිස, සාමාන්‍ය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය හෝ සෞඛ්‍ය පහසුකම් සහ පොදු ජන අවශ්‍යතා මගින් නොවේ. මෙහිදී ජනතාවගේ තෘප්තිය ලෙස දත්ත වල සටහන් වන්නේ අර්බුදයේ පතුලේ සිටි ජනතාවට ලැබුණු තාවකාලික සහනයක් මිස සැබෑ ආර්ථික නිදහසක් නොවේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading