Onmax DT වංචාව: තැන්පත්කරුවන්ගේ කෝටි 800ක් අතුරුදන්… තැන්පත්කරුවන් විසින් රුපියල් කෝටි 1100කට අධික මුදලක් තැන්පත් කරලා…

නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ජාවාරමක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති ‘ඔන්මැක්ස් ඩී.ටී.’ (OnmaxDT) සමාගමේ තැන්පත්කරුවන් විසින් ආයෝජනය කරන ලද රුපියල් කෝටි 800කට අධික මුදලක් සැකකාර අධ්‍යක්ෂවරුන් විසින් වංචා කර ඇති බව හෝ සොයාගත නොහැකි දේපළක් බවට පත්ව ඇති බව නීතිපතිවරයා ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අනාවරණය කර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ, ජනතාව විසින් රුපියල් කෝටි 1100කට අධික මුදලක් තැන්පත් කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණද, රහස් පොලිසිය (CID) මඟින් මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ රුපියල් කෝටි 260කට ආසන්න දේපළක් පමණක් බවයි.

සැකකාර අධ්‍යක්ෂවරුන් විසින් තැන්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට සූදානම් බව මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, මෙතෙක් අනාවරණය කර නොමැති රුපියල් කෝටි 800ක දැවැන්ත මුදල ගෙවීමට ඔවුන් සතු සැලසුම කුමක්දැයි අධ්‍යක්ෂවරුන් අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු බව රජයේ නීතිඥවරයා අවධාරණය කර ඇත.

දිවයින පුරා පොලිස් ස්ථාන වෙත අගතියට පත් තැන්පත්කරුවන් 20,931 දෙනෙකු පැමිණිලි කර ඇති අතර පැමිණිලිවලට අනුව සැකකරුවන් විසින් වංචා කර ඇති මුළු මුදල රුපියල් බිලියන 11කට අධික වේ.

එසේම සැකකරුවන් අධ්‍යක්ෂ ධූර දැරූ ආයතනයට අයත් ඉඩම් 31 ක් කොළඹ මහාධිකරණය මඟින් දැනටමත් තහනමට ලක් කර ඇති බව පැවසේ.

නඩුවට අදාළව ඇප මත සිටින අධ්‍යක්ෂවරුන් ඊයේ අධිකරණයේ පෙනී සිට ඇති අතර, පෙනී නොසිටි එක් සැකකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම නඩුව ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් සහ පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන අතර 2023 වසරේ මැද භාගයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් OnmaxDT ඇතුළු ආයතන කිහිපයක් නීති විරෝධී පිරමීඩ ජාවාරම් ලෙස නම් කර තහනම් කරන ලදී.

2023 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර බැංකු පනත උල්ලංඝනය කිරීම, මුදල් විශුද්ධීකරණය (Money Laundering) සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම යටතේ මොවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

විමර්ශන ආරම්භයේදීම සැකකරුවන්ට සහ සමාගමට අයත් බැංකු ගිණුම් 100කට අධික සංඛ්‍යාවක් අත්හිටුවීමට අධිකරණය පියවර ගත් බව වාර්තා වුණු අතර මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන්ට දැඩි කොන්දේසි සහිතව ඇප ලබා දුන් නමුත්, නඩුව තවදුරටත් මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමින් විභාග වෙමින් පවතී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading