පවතින අර්බුධයන්ට විසඳුම් ලැබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි… නමුත් ගේන්න යන ප්‍රතිසංස්කරණ වලින් තව අර්බුධ ගණනාවක් ඇති වෙනවා…

වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අර්බුදයන්ට විසඳුම් ලැබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පාසල් පද්ධතියට අත්‍යවශ්‍ය නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය එක්ව 2026 වසරේ සිට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මනා සැලසුමකින් තොර, විධිමත් නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර අත්තනෝමතකිව ගෙන එන්නක් බව ලංකා ගුරු සංගමය පවසයි. මේ දින වල දැඩි ලෙස කතා බහට ලක්ව ඇති සහ රජය විසින් ලහි ලහියේ විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරමින් සහ සිදු කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබේ. 2019 වසරේදී මෙන් ම මෙවර ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදු කිරීමට අපේක්ෂිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව එම සංගමය සිය ස්ථාවරය විවිධාකාරයෙන් සමාජගත කරමින් සිටී. මෙම සටහන ද එවැනි සටහනකි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පාසල් කාලය දීර්ඝ කිරීම දරුවන්ට දැරිය නොහැකියි…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුත්ත පැවරී ඇති ප්‍රමුඛතම ආයතනය වන්නේ 1991 අංක 19 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කර ඇති ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවයි. එම කොමිසන් සභාවේ කාර්යභාරය වන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය, අධ්‍යාපන ප්‍රතිපත්ති විශ්ලේෂණය හා පර්යේෂණ කිරීම, ජාතික අධ්‍යාපන ඉලක්ක හා රාමු සැකසීම, නියාමනය ආදියයි. ඒ අනුව පවතින අධ්‍යාපන අර්බුදයට විසඳුම් ලැබෙන ආකාරයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කළ යුත්තේ ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසිනි. එසේ තිබියදී එම කොමිෂන් සභාවෙන් පරිබාහිරව ජාතික අධ්‍යාපන ආයතනය මගින් යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් 2026 වසරේ සිට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී (ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය භාරය වන්නේ විෂයමාලා සංවර්ධනයයි).

මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බරපතල ගැටලුකාරී තත්වයක් ඇති කර ඇති අතර, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පදනම් කරගත්, නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය, මානව සංවර්ධනයට සහ සේවා නියුක්තියට අදාළත්වය, සියල්ලන්ට ම පිළිගත හැකි බව, සමාජයට වග වන පුරවැසියන්, තිරසර බව සහ නවෝත්පාදනය, යාවජීව අධ්‍යාපනය යන ප්‍රතිපත්තිමය මූලධර්ම අතර පවතින, ‘සියල්ලන්ට ම පිළිගත හැකි බව’ යන මූලධර්මය උල්ලංඝණය වී ඇත. නව අධ්‍යාපන වැඩසටහන් හෝ සංශෝධන ක්‍රියාත්මක කිරීමේදී ඒවා සාක්ෂි මත පදනම්ව, පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහ විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව සිදුවිය යුතු වුවත් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ එවැන්නක් දක්නට නොමැති අතර, පැනනගින ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු හෝ විකල්ප නොමැතිව ම අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් පවතිද්දී වඩාත්ම කතාබහට ලක්ව ඇති ගැටලුවක් වන්නේ පාසල් කාලය හා කාලච්ඡේදයක කාලය දීර්ඝ කිරීමයි. මේ තුළ පාසල් අධ්‍යාපන සඳහා මොඩියුල ක්‍රමයක් යෝජනා කර ඇති අතර, එක් කාල පරිච්ඡේදයක් විනාඩි 40 සිට 50 දක්වා දීර්ඝ කර, පාසල් කාලය ප.ව. 1.30 සිට 2.00 දක්වා පැය භාගයකින් දීර්ඝ කර ඇත. මෙසේ පාසල් කාලය දීර්ඝ කිරීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු කර ඇති බව ඒ හා සම්බන්ධව පැන නැගිය හැකි ගැටලුකාරී තත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ.

එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ආදී මෙම ප්‍රතිසංස්කරණ යෝජනා කළ පාර්ශවයන් විසින් පවසන්නේ මෙම කාලය දීර්ඝ කිරීම ගැටලුවක් නොවන බවයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ යෝජිත ක්‍රමය දීර්ඝ දේශන ක්‍රියාවලියෙන් තොරව ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රමයක් බැවින් කාලය වැඩි කිරීම ගැටලුකාරී නොවන බවයි.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයේ හිතලුවකි. පාසල් අධ්‍යාපනය දේශන ක්‍රියාවලියක් නොවේ. ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව (Teaching Methodology) ඒ ඒ පාඩමට අනුරූපීව යොදාගැනීම පොදු භාවිතයයි. දැනටත් පවතින පාසල් අධ්‍යාපනය තුළ දිගු දේශන ක්‍රියාවලියක් නොපවතින අතර, සාකච්ඡාමය හා ක්‍රියාකාරකම් සහිත නිපුණතා පාදක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයක් පවතී. ඒ තුළ ද දරුවන්ගේ අවධානය හා සංජානන හැකියාව ප්‍රශස්ත ලෙස රඳා පවතින්නේ විනාඩි 20 ක පමණ කාලයකි. දැනට පවතින විනාඩි 40 ක කාලච්ඡේදය තුළ ප්‍රවේශය, ඇගයීම හා තක්සේරුකරණය සඳහා ඉතිරි කාලය යොදා ගැනීම සිදුවේ. ඒ අනුව කාලච්ඡේදය විනාඩි 50 ක් වීම දරුවන්ට දැරිය නොහැකි පීඩාකාරී තත්වයකි. එක් විනාඩි 50 ක කාලච්ඡේදයක් අවසානයේ දරුවන් නැවතත් ඊ ළඟ විනාඩි 50 ක කාලච්ඡේදයකට යොමුවිය යුතුය.

1 සහ 6 ශ්‍රේණි වලට පමණක් 2026 වසරේ ක්‍රියාත්මක වීමට යෝජිත නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ 7-13 දක්වා ශ්‍රේණි සඳහා ද කාලච්ඡේදය විනාඩි 50 ක් කර තිබෙන අතර, එම ශ්‍රේණි සඳහා වන විෂයමාලාව සකසා ඇත්තේ විනාඩි 40 ක කාලච්ඡේදයක් සඳහාය.
අධ්‍යාපන මනෝවිද්‍යාව පදනම් කර ගනිමින් මෙම කාලය දීර්ඝ කිරීම විමසා බැලීමේ දී ද මෙම කාලය දීර්ඝ කිරීම මනෝවිද්‍යාත්මක පදනම්වලට පටහැනි බව පැහැදිලි වේ. දැනුම් පද්ධතිය හා තාක්ෂණය කාලීනව වෙනස් වුවද තොරතුරු සංජානනය කිරීම හා අවධානය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇති න්‍යායන් තවදුරටත් ස්ථාවරව පවතින අතර දරුවන්ගේ දරාගැනීමේ ශක්තිය, අවධානය හා සංජානන හැකියාව මත පදනම්ව මෙම කාලය දීර්ඝ කිරීම සිදු කර නැති බව අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව ද පැහැදිලි වේ.
අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්ගේ සාමාන්‍ය අදහස වන්නේ ශිෂ්‍යයෙකුට ඵලදායීව ඉගෙනුම දරාගත හැකි උපරිම කාලය මිනිත්තු 30 සිට 40 අතර බවයි.

අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ අදහස් දක්වන Donald Broadbent – Filter model of Attention (1958) ප්‍රකාශ කරන්නේ මනසට එකවර සැකසිය හැකි තොරතුරු ප්‍රමාණය සීමිත බැවින් අවධානය රඳවා ගැනීම සිදුකළ හැක්කේ කෙටි කාලයක් තුළ බවයි. එමෙන්ම Deniel Kahneman – Attention and Effort (1973) දක්වන්නේ මිනිස් මනස සීමිත වන අතර වැඩි කාලයක් අවධානය තබා ගැනීම අභියෝගාත්මක බවයි. ඒ අනුව සිසුවකුට එක් කාර්යයකට දිගු කාලයක් අවධානය යොමු කර ගෙන සිටීම අපහසු වන අතර, පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ බොහෝ ශිෂ්‍යයින්ට අවධානය පවත්වා ගත හැක්කේ මිනිත්තු 10-15 ක් පමණක් බවයි. එසේම එකම ඉගෙනුම් කාර්යයේ දිගු වේලාවක් නිරත වීමෙන් සිතුවිලි වෙනත් දේ වෙත යොමුවීම, ක්‍රියාශීලී නොවීම, ඉගෙන ගත් දේ මතක තබා ගැනීම අඩුවීම වැනි ගැටලු උද්ගත වේ.

අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ සංජානන භාර න්‍යාය (Cognitive Load Theory) මගින් Jhon Sweller පෙන්වා දෙන්නේ මනුෂ්‍ය මතකයේ හැකියාව සීමිත බවත්, එකවර වැඩි තොරතුරු ප්‍රමාණයක් දීමෙන් ඉගෙනීම අඩාල වන බවත්ය. ඒ අනුව දිගු වේලාවක් අඛණ්ඩව ඉගෙනීම් කටයුතුවල නිරත වීමෙන් ශිෂ්‍යයින්ට කලින් ඉගෙනගත් කොටස් අමතක වීම, අවබෝධය අඩුවීම ආදී තත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. මේ නිසා මිනිත්තු 50 ක් වැනි දිගු, අඛණ්ඩ පාඩම් සංජානන භාරය වැඩි කර ඉගෙනීම දුර්වල කරයි.
මේ අනුව අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් කෙටි කාලයක් සහිත කාලච්ඡේද ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් ඵලදායී බව පෙන්වා දී ඇත. එය ශිෂ්‍ය අවධානය වැඩි දියුණු කරන අතර, දැනුම රඳවා තබා ගැනීමට හා විවේචනාත්මක චින්තනයට අනුබල දේ. ශිෂ්‍ය ප්‍රතිපෝෂණය ද ධනාත්මකය.

මීට අමතරව දිනේ අග භාගයේ ඉගෙනීම (Time of Day Effect Theory) අනුව දිනේ උදෑසනට වඩා දහවල් අවසානයේ අවධානය අඩුවීම, මොළයේ කාර්යක්ෂමතාව අඩුවීම සිදුවේ. දහවල් 1.00-2.00 අතර කාලය දරුවන්ට ස්වභාවිකවම තෙහෙට්ටු වන වේලාවක් බැවින් එම වේලාවේ පාඩම් කාලය දිිගු කිරීමෙන් ඉගෙනුම් කාර්යයට ඵලදායී දායකත්වයක් නොලැබේ. එසේම එය දරුවන්ට ඉගෙනීම එපා කරවන සහ නොරිස්සුම් සහගත තත්වයන් ඇති කිරීමට හේතු විය හැකිය.

එමෙන්ම විවේකය සහ ඉගෙනීම (Spacing Effect / Break Theory) න්‍යාය අනුව කාලපරිච්ඡේද අතර කුඩා විවේක කාල තිබීම මගින් අවධානය නැවත සජීවී කරන අතර මතක තබා ගැනීම වැඩි කරයි. එහෙත් යෝජිත ක්‍රියාවලිය තුළ පාසල් විවේක කාලය පෙ.ව. 10.15 සිට 10.40 දක්වා වන අතර, 10.40 සිට ප.ව. 2.00 දක්වා පැය 3 යි විනාඩි 20 දීර්ඝ ඉගෙනුම් ක්‍රියාවලියක් පැවතීමෙන් දරුවන් දැඩි පීඩනයකට ලක් වේ.

දරුවන්ගේ අවධානය, සංජානන හැකියාව හා මොළයේ ක්‍රියාකාරීත්වය සීමිත බව අධ්‍යාපන මනෝවිද්‍යාව තහවුරු කර ඇති පසුබිමක එම විද්‍යාත්මක සාධක නොසලකා කාලය දිගු කිරීම ‘ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම’ නොව ‘ඉගෙනීම දුර්වල කිරීමක්’ බවට පත්විය හැකිය.
මෙම විද්‍යාත්මක කරුණුවලට අමතරව පාසල් පද්ධතිය තුළ පවතින ප්‍රායෝගික තත්වයන් ද මෙම කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය ඵල රහිත කරයි.

අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ සංජානන භාර න්‍යාය (Cognitive Load Theory) මගින් Jhon Sweller පෙන්වා දෙන්නේ මනුෂ්‍ය මතකයේ හැකියාව සීමිත බවත්, එකවර වැඩි තොරතුරු ප්‍රමාණයක් දීමෙන් ඉගෙනීම අඩාල වන බවත්ය. ඒ අනුව දිගු වේලාවක් අඛණ්ඩව ඉගෙනීම් කටයුතුවල නිරත වීමෙන් ශිෂ්‍යයින්ට කලින් ඉගෙනගත් කොටස් අමතක වීම, අවබෝධය අඩුවීම ආදී තත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. මේ නිසා මිනිත්තු 50 ක් වැනි දිගු, අඛණ්ඩ පාඩම් සංජානන භාරය වැඩි කර ඉගෙනීම දුර්වල කරයි.

මේ අනුව අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් කෙටි කාලයක් සහිත කාලච්ඡේද ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් ඵලදායී බව පෙන්වා දී ඇත. එය ශිෂ්‍ය අවධානය වැඩි දියුණු කරන අතර, දැනුම රඳවා තබා ගැනීමට හා විවේචනාත්මක චින්තනයට අනුබල දේ. ශිෂ්‍ය ප්‍රතිපෝෂණය ද ධනාත්මකය.

  1. භූ ගෝලීය හා දේශගුණික සාධක – ලංකාව දැඩි භූගෝලීය හා දේශගුණික වෙනස්කම් සහිත කලාප වලින් සමන්විත රටකි. මේ තත්වය තුළ දැනට ලංකාවේ පාසල් ආරම්භ වන හා අවසන් වන වේලාවන් ඒ අනුව සැකසී ඇත. විශේෂයෙන් රටේ මධ්‍යම කදුකරය ආශ්‍රිත ප්‍රදේශවල පවතින දේශගුණික හා භුගෝලීය තත්වයන් පදනම් කරගෙන එම ප්‍රදේශවල පාසල් පෙ.ව. 8.00 ට ආරම්භ වී ප.ව. 2.00 ට අවසන් වේ. පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමෙන් එම පාසල්වල දරුවන්ට ප.ව. 2.30 දක්වා පාසලේ රැඳී සිටීමට සිදු වේ. එම ප්‍රදේශවල දේශගුණික තත්වයන් තුළ හා පොදු ප්‍රවාහන ක්‍රමවේදයන් තුළ බරපතල පීඩාකාරී තත්වයන් ඇති කරයි. එසේම වන අලි ගැටලු පවතින ප්‍රදේශවල දරුවන්ට ද පාසල් කාලය දීර්ඝ කිරීම ජීවිත අවදානමට ලක්වන තත්වයකි.
  2. සාමාජීය හා ආගමික තත්වයන් – ඉස්ලාම් ආගමික දරුවන් ඉගෙන ගන්නා පාසල්වල පාසල් කාලය තීරණය කර ඇත්තේ එම ආගමික අවශ්‍යතාවයන් ද ඉටුකර ගත හැකි පරිදිය. දැනට මුස්ලිම් පාසල් සඳහා යෝජනා කර ඇති කාලසටහන අනුව එම පාසල් පෙ.ව. 7.15 ට ආරම්භ වේ. පෙ.ව. 7.15 ට දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් පැමිණීම බරපතල ගැටලුවකි. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවන් (පාසල් වෑන් රථ, පාසල් බස් රථ) ආදිය එම පාසල්වලට පමණක් සීමා නොවීමෙන් එම පාසල්වල දරුවන්ට හා ගුරුවරුන්ට 7.15 ට පාසල් පැමිණීම ගැටලුකාරී වේ. එසේම එම පාසල් සඳුදා දින ප.ව. 1.45 ටත්, අඟහරුවාදා, බඳාදා දිනවල ප.ව. 2.35 ටත් අවසන් වීම තුළ දැඩි ප්‍රවාහන අර්බුදයකට මුහණදීමට එම පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට සිදු වේ. එසේම දරුවන්ට උදෑසන ආහාරය ලබාගැනීමට ඇති අවකාශ ද සීමා වීමෙන් ඔවුන් පෝෂණ ඌණතාවයන්ට තවදුරටත් ලක්වනු ඇත. දුම්රිය, බස්රථ වැනි පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් පාසල් පැමිණෙන බහුතරයක් දරුවන්ට සහ ගුරුවරුන් ද පාසල් කාලය දීර්ඝ කිරීම තුළ ගැටලුකාරී තත්වයන්ට මුහුණපෑමට සිදු වේ.
  1. දරුවන්ගේ ආහාර හා කායික මානසික සෞඛ්‍ය
    වර්තමානයේ පවතින තත්වය තුළ පාසල් දරුවන් උදෑසන ආහාරය ලබාගැනීම ගැටලුකාරී වී ඇති අතර, පාසල් කාලය දීර්ඝ වීමෙන් එය තවදුරටත් ව්‍යාකූල තත්වයක් ඇති කරනු ඇත. ප.ව. 1.30 ට පාසල් අවසන් වී දුරබැහැර පාසල්වලට යන බොහෝ දරුවන් නිවෙස්වලට පැමිණීම ප.ව. 3.30 – 4.00 අතර වේ. පාසල් කාලය දීර්ඝ වීමෙන් ඔවුන් නිවසට පැමිණෙන කාලය තවදුරටත් ප්‍රමාද වීම මත එම දරුවන්ට දිවා ආහාරය ද අහිමි වේ. මෙය දරුවන්ගේ අත්‍යවශ්‍ය පෝෂණ තත්වයන් පිළිබඳ බරපතල ගැටලුවකි. දැනට ද මෙය ගැටලුවක් වී පවතින තත්වයක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඒ සඳහා විසඳුමක් වෙනුවට එය තවදුරටත් තීව්‍ර කිරීමක් සිදුව ඇත.
    එසේම නිසි ලෙස ආහාර නොලැබීම, විවේකයක් නොලබා දීර්ඝ කාලයක් ඉගෙනුම් කටයුතුවල නිරත වීම, පන්තිකාමරවල පවතින තදබදය, ඒවායේ පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී හේතු මත දරුවන්ගේ නොසන්සුන්තාවය ද තීව්‍ර විය හැකි අතර, ඒ නිසාම ඔවුන් දැඩි කායික හා මානසික පීඩාකාරී තත්වයන්ට ලක් විය හැකිය.
    සනීපාරක්ෂක කටයුතු සඳහා පාසල්වල පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම, නිසි නඩත්තු හා පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම මත දැනට ද බොහෝ දරුවන් නිවෙස්වලට යන තුරු තම ශරීර කෘත්‍යයන්වල නොයෙදේ. පාසල් කාලය දීර්ඝ වීමෙන් ඔවුන් තවදුරටත් පීඩාකාරී තත්වයකට පත්වේ.
  2. විෂය සමගාමී කටයුතු
    ක්‍රීඩා පුහුණුවීම්, සෞන්දර්ය පුහුණුවීම් ඇතුළු විෂය සමගාමී කටයුතු වල යෙදෙන දරුවන් සඳහා එම කටයුතු ආරම්භ වන්නේ පාසල් නිම වී පැයක පමණ විවේකයකින් පසු ප.ව. 2.30 ට පමණය. පාසල් ප.ව. 2.00 දක්වා දීර්ඝ වීමෙන් මෙම කටයුතු ප්‍රමාද වීම තුළ දරුවන් සවස් කාලයේ පාසල්වල රැඳී සිටින කාලය ද දීර්ඝ වේ. ඒ තුළ දරුවන්ට නිවෙස්වලට යාම ප්‍රමාද වීම, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පැන නැගීම වැනි තත්වයන් ඉස්මතු වේ. එවැනි තත්වයන් මත දරුවන් විෂය සමගාමී කටයුතුවලට යොමුවීම අවම විය හැකිය.
    යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කතිකාව තුළ මෙම ප්‍රායෝගික හා විද්‍යාත්මක කරුණු පසෙකලා ප්‍රකාශ වන්නේ ටියුෂන් අධ්‍යාපනය තුළ දරුවන් අඛණ්ඩව පැය ගණන් දේශනවලට සභභාගි වන්නේ නම් විනාඩි 50 ක කාලච්ඡේදයක් ගැටලුවක් නොවන බවයි. මෙය පැහැදිලිවම අවිද්‍යාත්මක ප්‍රකාශයකි.

ටියුෂන් අධ්‍යාපනය

ටියුෂන් අධ්‍යාපනය යනු පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමවේදයට පටහැනිව විභාග ක්‍රමය මගින් දරුවන්ගේ හැකියාවන් මැනබැලීම තුළ ගොඩනැගී ඇති විභාග තරගකාරීත්වය මත ගොඩනැගුණකි. ටියුෂන් අධ්‍යාපනය තුළ දරුවන් කිසිසේත් විධිමත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක නොයෙදන අතර, සිදු වන්නේ ප්‍රශ්න සහ පිළිතුරු දරුවන්ට ලබා දී විභාග ජය ගැනීමට හුරු කිරීමකි. ඒ තුළ කටපාඩම් කරවීමෙන් හා නැවත නැවත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමෙන් විභාග සමත්වීම පමණක් සිදු වේ. මෙය අධ්‍යාපනයේ විකෘති ප්‍රතිඵලයකි. පවතින අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය නිර්මාණය වන්නේ මේ තුළය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන්නේ මෙම විකෘතිය ඉවත් කිරීම වෙනුවෙනි.

නමුත් පාසල් අධ්‍යාපනය සකසා ඇත්තේ ජාතික අධ්‍යාපන අරමුණු අනුව සමබර පෞර්ෂ්‍යයකින් යුතු පුරවැසියෙකු සමාජයට බිහි කිරීමේ අරමුණෙනි. එහිදී දරුවන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම පාසල් පද්ධතිය තුළින් අපේක්ෂා කරයි. එය සිදු කළ යුත්තේ අධ්‍යාපන මනෝවිද්‍යාව තුළ පවතින සංකල්ප, අධ්‍යාපන ක්‍රමවේද ආදිය භාවිතයෙන් ශික්ෂණයකින් හා පුහුණුවකින් යුතුවය. එසේ නොමැතිව පාසල් පද්ධතිය තුළ ජාතික අධ්‍යාපන අරමුණු වෙත ළඟාවීම ටියුෂන් අධ්‍යාපන ක්‍රමවේදය යොදා ගැනීමෙන් කළ නොහැක. පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය හා දැනුම මැන බැලීමේ විභාග තරගකාරීත්වය තුළ ලංකාවේ අධ්‍යාපනය මේ වන විට දැඩි අර්බුදකාරීත්වයකට යොමුව ඇති බව අවිවාදිතය. අධ්‍යාපනයේ පවතින මෙම අර්බුදයන්ට විසඳුම් ලැබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පාසල් පද්ධතියට අත්‍යවශ්‍ය බව ද අවිවාදිත කරුණකි. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය එක්ව 2026 වසරේ සිට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මනා සැලසුමකින් තොර, විධිමත් නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර අත්තනෝමතකිව ගෙන එන්නකි.

මෙය අධ්‍යාපන අර්බුදයට විසඳුමක් ලැබෙනවා වෙනුවට අධ්‍යාපනය තවදුරටත් අර්බුදයකට තල්ලු කර දමන්නක් වනු ඇත.

ලංකා ගුරු සංගමය

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading