පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය ජපන් ආයෝජකයෙකුට…

අර්බුදයට ලක්ව ඇති පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් එය ඇමරිකානු ඩොලර් මිලියන 160 කට ජපන් ආයෝජකයෙකුට බදු දීමට සූදානම් වන බවට වාර්තා වේ.

ගනුදෙනුව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ UDA නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවට වාර්තා වන අතර, ආයෝජකයා විසින් දැනටමත් UDA වෙත ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවා ඇති බව පැවසේ. මෙම ව්‍යාපෘතිය යටතේ වෙළඳ සංකීර්ණයේ ඇති වෙළඳසැල් සහ රාත්‍රී වෙළඳපොල නවීකරණය කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

මෙම පාවෙන වෙළඳ සංකීර්ණය, මුලින්ම 2014 වසරේදී රුපියල් මිලියන 344 ක වියදමින් ඉදිකරන ලදී. එහි වෙළඳසැල් 92 ක් ඇති අතර ඉන් 10 ක් බේරේ වැව මත පාවෙන වෙළඳසැල් ලෙස ස්ථාපිත කර ඇත. මෙම වෙළඳ සංකීර්ණයේ මූලික ඉලක්කය වූයේ වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීමයි. පසුගිය කාලයේ පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය නොකර අතහැර දමා තිබූ අතර නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙහි තිබූ වෙළදසැල් 92 න් සියයට 80 ක ප්‍රමාණයක් වැසී ගොස් තිබිණි.

ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, අනාරක්ෂිත බව , අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්විය. ඒ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදි වසර පහක් තුළ වියදමින් 50%ක මුදලක් උපයා ගැනීමේ වැඩපිළිවෙලට බාධා එල්ල විය.

කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතය සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාර අඩුවීම නිසා මෙම වෙළඳ සංකීර්ණය පසුගිය වසර කිහිපය තුළ විශාල පාඩු ලැබීය. සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සහ දේශීය අත්කම් භාණ්ඩ අලෙවිය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළද, නඩත්තුව නොමැතිවීම සහ අනවසර වීදි වෙළඳුන්ට මෙහි ක්‍රියාත්මක වීමට ඉඩ දීම වැනි හේතු නිසා ව්‍යාපෘතියේ මූලික අරමුණු ගිලිහී ගොස් ඇත. වාර්තාවලට අනුව, වෙළඳසැල්වලින් 80% ක් පමණ වසා දමා ඇති තත්ත්වයක පැවතුනි.

පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) ආරම්භ කර ඉන් වසර හයකට පසුව වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන මත පදනම්ව කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනුව 2021 අප්‍රේල් මස 07 වැනිදා පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කළද එම තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇත.

.වත්මන් තත්ත්වය යටතේම බදු දීමට නියමිත මෙම සංකීර්ණයේ ඇති වෙළඳසල් සහ රාත්‍රී වෙළඳපොළ නවීකරණය කිරීමට ආයෝජකයා සැලසුම් කර ඇති අතර දැනට සිටින වෙළඳසැල් හිමියන්ට වන්දි ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව පැවසේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading