අපේ ඉල්ලීම් 18ක්ම අයවැයට දැම්මා! සතුටුයි! ලංකා වාණිජ මණ්ඩලය කියයි

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරික අවශ්‍යතා නියෝජනය කරන ප්‍රධානතම ආයතනයක් වන ලංකා වාණිජ මණ්ඩලය 2026 අයවැය තමන්ගේ වුවමනාවලට ගැලපෙන එකක් බව හගවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

තම මණ්ඩලයේ යෝජනා 18ක් අයවැයේ ඇතැයි එම නිවේදනයේ සදහන් කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික පැවැත්ම පිළිබඳව ව්‍යාපාරික පන්තියේ සතුට යළිත් වරක් එම නිවේදනයෙන් තහවුරු කර ඇත. වාණිජ මණ්ඩලයේ අදහස වී ඇත්තේ, මෙම අයවැය “ප්‍රතිපත්තිමය පුරෝකථනය, මූල්‍ය ඒකාබද්ධතාව සහ විනයගරුක ණය කළමනාකරණය පිළිබඳ පැහැදිලි ගමන් මඟක්” පවත්වාගෙන යන බවත්, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා අවශ්‍ය ස්ථාවරත්වය එයින් අඛණ්ඩව සපයන බවත්ය.

එහෙත්, මෙම ප්‍රශංසාවන් තුළ සැඟවී ඇත්තේ, පොදු සම්පත් පෞද්ගලික ලාභ සඳහා යොදාගැනීම සදහා ඇති ව්‍යාපාරික පන්තියේ වුවමනාව බව පෙන්වාදිය හැක. පොදු සේවාවන් මෙන්ම සම්පත් ඇසුරින් ලාභ ඉපැයීමේ අපේක්ෂාව මනාව තහවුරු වෙයි.

වාණිජ මණ්ඩලයට අනුව “ස්ථාවරත්වය” කුමක්ද?

වාණිජ මණ්ඩලය සඳහන් කරන්නේ, අඩු උද්ධමනය, ස්ථාවර පොලී අනුපාත සහ අලුත් වූ ආයෝජක විශ්වාසය මගින් “පරිවර්තනීය වර්ධන ගමන් මඟක් පවත්වා ගැනීමට” මෙම ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවයි.

ස්ථාවරත්වය යනු මහා පරිමාණ ව්‍යාපාරවලට, විශේෂයෙන්ම වාණිජ මණ්ඩලයේ සභාපතිත්වය දරණ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් වැනි සමූහ ව්‍යාපාරවලට, අවදානම් රහිත ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම බව පැහැදිලිය. එසේ නම්, අයවැයේ දැක්වෙන පරිදි ණය සේවාකරණයට රුපියල් බිලියන 4,495 ක් වූ මහජන මුදල් යොදවන අතර ඒ තරම්ම වූ රුපියල් බිලියන 4,485 ක ප්‍රාථමික වියදම් කප්පාදුව මගින් ඇති කරගත් ආර්ථික විනය ඔවුන්ට අනුව ස්ථාවරත්වයකි.

වැටුප් ලබන ජනතාව මුහුණ දෙන ජීවන වියදම් අර්බුදය ඔවුන්ට කිසිසේත්ම ආර්ථිකය ගැන සලකන සාධකයක් නොවේ. ජීවන වියදම හෝ අධික දරිද්‍රතාව කල්පනා කරන්නත් නොවටිනා දේවල්ය.

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ලාභය සහ ස්ථාවරත්වය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව මුහුණදෙන ප්‍රශ්න නොතකා හැරිය යුතුද?

මහජන මුදල් පෞද්ගලික ව්‍යාපාර වෙනුවෙන් යෙදවීම

වාණිජ මණ්ඩලය අවධාරණය කරන්නේ, ආර්ථික වර්ධනයේ මීළඟ එන්ජිම විය හැක්කේ මෑතකාලීන මූල්‍ය ‘අධි-කාර්ය සාධනය’ ඵලදායී පොදු ආයෝජනයක් බවට පරිවර්තනය කිරීම බවයි. විශේෂයෙන්ම යටිතල පහසුකම්, ඩිජිටල් සේවා, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි අංශවල ප්‍රාග්ධන වියදම් යෙදවීමට ඔවුන් යෝජනා කරයි.

මෙම “පොදු ආයෝජනය” යනු, මහජන මුදල් යොදාගෙන කොළඹ වරාය නගරයේ මායිම දක්වා පහසුකම් සැපයීම වැනි පෞද්ගලික ප්‍රාග්ධනයේ පිරිවැය සමාජගත කිරීමේ උපක්‍රම පමණි.

අයවැයේ කර්මාන්ත ප්‍රවර්ධනයට වෙන් කර ඇත්තේ රු. 19.2 බිලියනයක් වැනි සුළු මුදලකි. එසේනම්, මෙම ව්‍යාපාරික පන්තිය අපේක්ෂා කරන්නේ රාජ්‍ය මුදල්, තමන්ගේ ආයෝජනවලට සහාය වන යටිතල පහසුකම් සඳහා මිස, ජනතාව ඉලක්ක කරගත් පොදු මැදිහත්වීමකින් සහ සැලසුම්කරණකින් යුත් මහජන කර්මාන්ත වැඩපිළිවෙළක් නොවේ.

වාණිජ මණ්ඩලයේ යෝජනා 18ක් අයවැයට!

වාණිජ මණ්ඩලය සතුටට පත්ව ඇත්තේ ඔවුන්ගේ යෝජනා 18ක් ජාතික අයවැය 2026 ට ඇතුළත් වී තිබීම ගැනය. ඒවා අතර වෙළඳ ජාතික තනි කවුළුවක් (Trade National Single Window) සංවර්ධනය කිරීම, අර්ධ-තීරුබදු ක්‍රමයෙන් ඉවත් කරන නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්ව (PPP) රාමුව ක්‍රියාත්මක කිරීම, සහ ආයෝජකයින් සඳහා නව පදිංචි වීසා ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රධාන වේ. තවද, පොදු වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත හඳුන්වාදීම ද වාණිජ මණ්ඩලයේ යෝජනාවකි.

රටේ ආර්ථික ප්‍රතිපත්ති රාමුව වාණිජ මණ්ඩලය විසින් මෙතරම් ප්‍රබල ලෙස මෙහෙයවන්නේ නම්, මෙය පාලක පන්තිය සහ ව්‍යාපාරික ප්‍රභූවරුන් අතර ඇති සමීප සම්බන්ධතාවය තහවුරු කිරීමක් නොවේද? පෞද්ගලිකකරණ නීති වේගවත් කරන්නැයි ඔවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කිරීම සඳහා මාවත විවෘත කරගැනීම සඳහා නොවේද?

ආදායම් ඉපයීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සැඟවුණු ඉලක්කය

අයවැය සාර්ථක කර ගැනීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම, අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ මුදල් ඉවතට කාන්දුවීම අඩු කිරීම අත්‍යවශ්‍ය බව වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි. ඔවුන් අවධාරණය කරන්නේ, ආදායම් ඉපැයීම වැඩි වශයෙන් පැමිණිය යුත්තේ බලගැන්වීම සහ පද්ධති වැඩිදියුණු කිරීම මගින් මිස, අනුපාත වැඩි කිරීමෙන් පමණක් නොවන බවයි.

බදු දැල පුළුල් කිරීමට ඉල්ලා සිටින මෙම ව්‍යාපාරික පන්තිය, අයවැයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස පැවති වැට් බද්ද (VAT) ඉවත් කරන ලෙස හෝ අඩු කරන ලෙස ඉල්ලා නොසිටින්නේ මන්ද? ඍජු බදුවලට වක්‍ර බදු අනුපාතය හැටට හතළිහ දක්වා වෙනස් කරන බව පොරොන්දු වී බලයට ආ ජනාධිපතිවරයෙක් තවමත් හැත්තෑපහට විසිපහ අනුපාතයේ බදු අනුපාතය තතබාගෙන සිටී.

වැට් බද්ද සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය මත අධික බරක් පැටවුවද, එය ඔවුන්ගේ ලාභයට බාධාවක් වන්නේ නැත. කීල්ස්ලා හැමදාම ඒ බදු භාණ්ඩයේ මිල ලෙස ජනතාවට පැටවීය.

ඔවුන් ධන බද්දක් (Wealth Tax) හෝ අධික ලාභ බද්දක් (Excess Profits Levy) පැනවීමට ඉල්ලා නොසිටින්නේ ඇයි? ඔවුන්ගේ ඉල්ලීම වන්නේ දුප්පත් ජනතාව මත බදු බර අඛණ්ඩව පවත්වාගෙන යමින්, තමන්ට බදු සහන ලබා ගැනීම මිස, සැබෑ ප්‍රගතිශීලී බදු යුක්තියක් ඇති කිරීම නොවේ.

7% වර්ධනය සහ පන්ති අවශ්‍යතා

7%ක වර්ධන ඉලක්කය සපුරා ගැනීම සඳහා “අවශ්‍ය ආයෝජන දිරිගැන්වීමේ පැකේජයක්” ඉල්ලා සිටින වාණිජ මණ්ඩලය, ආර්ථික පරිවර්තන පනතේ අනාගත දිශාව පැහැදිලි කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටී.

මෙම අයවැය තුළින් ක්‍රියාත්මක වන ආර්ථික විනය, ණය හිමියන්, බහුජාතික සමාගම් සහ මහා පරිමාණ දේශීය ධනපති පන්තියට පමණක් සේවය කරන්නක්ද, නැතහොත් එය සැබවින්ම සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන, සමාජවාදී යුක්තිය සහිත ගමනකට මඟ පෙන්වන්නක්ද? එසේ නොවේ නම්, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම බීවයිඩී (BYD) වැනි සුඛෝපභෝගී වාහන ආනයනය කරන ජෝන් කීල්ස් වැනි සමාගම්වල ලාභය තහවුරු කිරීම සඳහා යොදාගැනීම, ‘ආර්ථික විනය’ යන වචනයේ සැබෑ අර්ථය බවට පත් වන්නේද?

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading