PUMA සන්නාමය යොදාගෙන ව්‍යාජ භාණ්ඩ අලෙවි කළ ප්‍රසිද්ධ වෙළඳ ආයතන කිහිපයකට එරෙහිව නඩු

ක්‍රීඩා ඇඳුම් ක්‍ෂේත්‍රයේ ගෝලීය පුරෝගාමියෙකු වන PUMA SE සමාගම, තම නිෂ්පාදන හා සමාන ව්‍යාජ භාණ්ඩ අලෙවියෙහි නිරත වූ බවට සැක කෙරෙන සම්බන්ධිත ආයතන කිහිපයකට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝග හතරක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

නොතාරිස් නීතිඥ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් (Sudath Perera Associates) මගින් නියෝජිතත්වය දරන මෙම සමාගම විසින්, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ “SAFFANS”, “Saffans Mens Shoes Ltd.”, “Saffans Bridal Shoes Ltd.” සහ “Saffans Shoes Ltd.” යන ආයතනවලට එරෙහිව සිවිල් නඩු කටයුතු ආරම්භ කර ඇත.

විත්තිකරුවන් විසින් PUMA SE සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු වන “PUMA” යන සංකේතාත්මක නාමය සහ පැන නගින බළලාගේ ලාංඡනය ඇතුළු සලකුණු නීති විරෝධී ලෙස යොදා ගනිමින් ව්‍යාජ භාණ්ඩ අලෙවියට සම්බන්ධ වී සිටීම යන චෝදනා මත මෙම නඩු පැවරීම් සිදු කර තිබේ.

පාවහන් ක්‍ෂේත්‍රයේ ප්‍රකට සිල්ලර වෙළෙන්දන් වන විත්තිකරුවන් ප්‍රශ්නගත භාණ්ඩ සැබෑ PUMA වෙළඳ ලකුණු සහිත භාණ්ඩ නොවන බව දැන සිටිය යුතු බව තම පෙත්සම්වලින් PUMA SE සමාගම අවධාරණය කර ඇත. තවද, PUMA SE විසින් තර්ක කර සිටියේ, එහි සුප්‍රසිද්ධ වෙළඳ ලකුණු හා සමාන හෝ දෘශ්‍යමාන ලෙස සමාන සලකුණු අනවසරයෙන් භාවිත කිරීමේ අරමුණ වී ඇත්තේ මහජනයා නොමඟ යැවීම සහ PUMA යන වචන සලකුණ, බළල් ලාංඡනය සහ Form Strip ඇතුළු එහි ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමකරණ අංගවලට සම්බන්ධ කීර්ති නාමය සූරාකෑම බවයි.

පැමිණිලිකාර පාර්ශවය තර්ක කළේ, සැබෑ PUMA නිෂ්පාදන ඒවායේ උසස් තත්ත්ව ප්‍රමිතීන් සහ නිෂ්පාදන විශිෂ්ටත්වය මගින් කැපී පෙනෙන අතර, ඊට වෙනස්ව අලෙවි කරනු ලබන ව්‍යාජ භාණ්ඩවල ගුණාත්මක භාවය ඉතා බාල බවයි. මෙවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සත්‍ය භාණ්ඩ මුවාවෙන් සංසරණය වීම වෙළඳ නාමයේ යහපත් කීර්ති නාමයට (goodwill) සහ මහජන විශ්වාසයට සැලකිය යුතු හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි හානියක් සිදු කරන බව ද පැවසිණි.

ඉදිරිපත් කළ කරුණු සහ තර්ක සමාලෝචනය කිරීමෙන් පසු, කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු අමාලි රණවීර සහ විනිසුරු චමත් මදනායක යන මහත්ම මහත්මීන් විසින් විත්තිකරුවන්ට මෙන්ම ඔවුන්ගේ නියෝජිතයින්ට, නියෝජිත සමාගම්වලට, සේවකයින්ට හෝ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන ඕනෑම පාර්ශවයකට PUMA සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු වලට අනන්‍ය වූ හෝ ව්‍යාකූල වන පරිදි සමාන නාම, සලකුණු හෝ ලාංඡන සහිත කිසිදු වෙළඳ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම තහනම් කරමින් වාරණ නියෝග නිකුත් කර ඇත.

අධිකරණය හමුවේ PUMA SE සමාගම වෙනුවෙන් නීතිඥ මනෝජ් බණ්ඩාර සහ නීතිඥ ගිම්හානි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්, සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් මත පෙනී සිට ඇත.

නීතිඥ සුදත් පෙරේරා ඇසෝසියේට්ස් විසින් සමාගම නියෝජනය කරන කරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ ‘සුරතුර සුපර් සෙන්ටර්’ ආයතනයට එරෙහිව ද පසුගිය ජූනි මාසයේදී නඩුවක් පැවරීමට කටයුතු කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading