තරිඳු උඩුවරගෙදර
සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
සුනිල් එදිරිසිංහ කියන්නේ මට ගැඹුරුම වේදනාබර මොහොතවල් ස්පර්ශ කරන ගායකයා. හැබැයි ලංකාවේ සංගීතය කියන්නේ ගායන හඬ, පද රචනය සහ සංගීතය සඳහා තිදෙනෙක් එකට මුහුවෙන කර්මාන්තයක්. ඒ නිසා ඇතතටම මම සුනිල්ව හොයාගෙන යන හැම මොහොතකම තව දෙන්නෙක්ව හොයාගෙන යනවා.
සපූ- රෝහණ- සුනිල් නම් වූ තුන්දෙනා ඒකාත්මික වීමෙන් සුසැඳි සංගීත ආත්මය මුණගැහෙන්නේ ඒ විදියට.
තනිකම, පාළුව, පරාජය වගෙම ඒ සියල්ල දරාගැනීම මේ සුසංයෝගය සහිත සුනිල්ගේ ගැයුම් තුළ මට දැනිලා තියෙනවා.
මම සුනිල්ගේ කැමතිම ගීය නිදුකාණනේ. ගෞතම බුද්ධ කියන චරිතය පිළිබඳ මගේ හිතේ ඇති මහා පරිමාණ හැඟීම උපරිමයෙන්ම පුබුදුවාලන්නේ ඒ ගීය. එහි පවා තියෙනවා ඉතාම බරැති භාවයන් තොගයක්. සමහරවිට මේ ගීය වෙන්න ඇති මගේ ජීවිතේ මාව නිවා දැමීමේ හැකියාව වැඩිපුරම තියෙන ගීය. මේ ගීය කුමාරදාස සපුතන්ත්‍රී ලියූ, සුනිල් එදිරිසිංහ ගැයූ, රෝහණ වීරසිංහ නිර්මාණය කළ ගීයක්.
මම සුනිල් වෙත යද්දී මුලින්ම දුවගෙන යන්නේ නිදුකාණනේ කියන සිංදුවට.
ඒත්, මම මෙවර එකදිගට මේ තුන්කට්ටුව තැනූ විරහවට බර ගී ඇහුවා. ඒවායේ තියන ලස්සන වින්දා. සටහන ආරම්භයේදී සඳහන් කළ ගීය ගැන කියන්න කලින් මම වෙනත් ගීයක් ගැන කියන්නම්. එය පරාජය බාරගත් පසු ගැයෙන්නක්.
ප්‍රේමයේ හැම අදියරකදීම පරාජය බාරගන්න ඕනෑ නැහැ. එහෙත්, සමහර මොහොතක පරාජය බාරගත යුතුයි. අහිමි වූ බව බාරගත යුතුයි. ඇයට වෛර කළ නොහැකියි. ඒත්, ඇගේ මතකයන්ගෙන් වේදනා විඳිමින් එක තැන රැඳී ඉන්න බැහැ.
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින්
යනුවෙන් රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් ගයන්නේ ඒ පරාජය. ඒත්, ඒ පරාජය තුළ පවා ඇයව අමතක කොට ඉදිරියට යෑමේ උත්සාහයක් තියෙනවා. විරහ වේදනාවට එය ඉසිඹුවක්. අහිමිවීම වගෙම අහිමිවේවි කියන බයෙන් අප පීඩා විඳින මොහොතකදී මේ ගීය ඖෂධයක්.
අහිමි වූ පසුව විතරක් නෙවෙයි, පෙම් කරද්දී පවා වේදනාවක් දැනුණොත් ඒ වේදනාවට පිළියමක් ලෙස මේ ගීය ඇසිය හැකියි.
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම් ඔබ, මැකී යනු මතකෙන්
කියමින් මතකය අමතක කර දැමීමේ උත්සාහයක් ඒ ගීයේ තියෙනවා. අහිමිවීම ගැටලුවක් නැති බව, ඒ මතකයන් වරින් වර හද දැවූවත්, ඉස්සරහට යන්න පුලුවන් බව ඒ ගීයේ තියෙනවා. ඒ ගීය අද කාලේ අපි නිතර අහන මනෝ විශ්ලේෂණ පාඩම්වලට හෝ ඩිප්‍රෙෂන් ගැන හෑලිවලට වඩා අපට ඔරොත්තු දීමේ හැකියාව නිර්මාණය කරලා දෙනවා. ආදරය කරන්න තියෙන බිය නැති කරලා දානවා.
ඇත්තටම ඒ ගීය පෙම් කිරීම ගැන විශ්වාසය අඩු කරන ගීයක් නෙවෙයි. බය නැතිව ප්‍රේම කරන්න පොළඹවන ගීයක්.
මා මුලින්ම සටහන් කළ ඇසුවේද කවුරුන් ගීයේ විමසන්නේත් ප්‍රේමය වේදනාබර බව ඇත්ත. ඒත්, එහෙම නැති ප්‍රේමයක් තියෙනවාද කියන ප්‍රශ්නය. මේකත් කුමාරදාස සපුතන්ත්‍රී කියන මීට වඩා ගොඩාක් ඇගයීම් ලබන්න ඕනෑ ගී පද රචකයා විසින් ලියූවක්.
මේ සුසංයෝගයෙහි මම කැමතිම ගීය තමයි සන්තාප මාවතේ. ඒ ගීයට වේගයක් තියෙනවා. එය වේදනාව මත ඇණහිටපු ගීයක් නෙවෙයි. වේදනාව මැද්දේ ප්‍රකාශ කර සිටීමක්. නිවේදනය කර සිටීමක්. ඇය මගෙන් වෙන් වුණා. ඒ බව තමන්ටමත් බාහිර ලෝකයටත් ප්‍රකාශ කර සිටිනවා.
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
මේ කොටස වේදනාව වගෙම, පුදුම ජවයක් හිතට එකතු කරනවා. අහිමි වුණත් මොකද? අහිමි වුණත් එය දරාගන්න ඕනෑ නේද? යමක් ප්‍රකාශයට පත් කර සිටියදී, යමක් නිවේදනය කරද්දී එය බාහිර ලෝකයකට කියලා පිට කරෙනවා. එය සිදු කරන්නේ පුදුම එනර්ජි එකක් සහිතවයි.
ප්‍රේමවන්තයා හිස කෙළින් තබාගෙන වේදනාවකින් මුත් උපේක්ෂවකින් ලොවට ප්‍රකාශ කර සිටිනවා මෙහෙමි,
සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්
සංවේගයෙන් දැනුම් දීමයි කියන එක බොහෝවිට අහිමිවීමක් ලෙහෙසියෙන් දරාගන්න උදව්වක්. බාහිර ලෝකයට දැනුම් දුන්නාම එයින් ලොකු සැහැල්ලුවක් දැනෙනවා. පපුවේ බරකින් නිදහස් වුණා වගේ. ඒ නිසයි අපි අවමංගල්‍ය්‍යකදී වුව දැන්වීමක් පළ කරන්නේ.
මම මේ ගොඩට කුමාර සපුතන්ත්‍රී ලියූවක් නොවුණත්, යමුනා මාලිනී ලියූ ගීයකුත් එකතු කරන්නම්. සපූ- රෝහණ- සුනිල් ජීවගුණය සහිත ගීත වෙනත් ගී පද රචකයනුත් ලියා තියෙනවා.
අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනෙ තනිකමක්
එහි තියෙන්නේත් අහිමිවීමක්. හද මඬලම හඬා වැටෙනවා. ඒත් ඇයට ඇරයුම් කර සිටිනවා ‘එන්නකෝ පොඩ්ඩක් ළඟට‘ ඔයායි මායි ඉන්න තැනක තනිකමක් නැහැ නේද කියන එක. ඒකත් විරහ වේදනාව විඳින්නට ඉතාම සුන්දර විලාසයක්.
තමන් වට ඇති අනෙක් සියලු දේවල්වල කිසිම අරුතක් නොදකින, ඒ නිසාම තනිවෙච්ච කෙනෙක්, ලෝකයේ සුන්දරත්වය ගැන කිසිම සෞන්දර්යාත්මක හැඟීමක් නොදැනුණ තනි වුණ කෙනෙක් ඒ සියලු සතුට තමන්ට ළං කරලා දෙන්න පුලුවන් තවත් කෙනෙකුට ආයාචනය කර සිටිනවා. ළඟට එන්න කියලා.
කනක මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නුදුටුමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා
සමහරවිට ඒ කෙනාට මේ ආරාධනය කර සිටින තරම් ඉක්මනට එන්න බෑ. ඒ නිසා ඒ කෙනා නැතිකමෙන් විරහවක් දැනෙනවා. එයා එන එකකුත් නෑ. ඒත්, එයා ආවාම දැනෙන සුවබර හැඟීම ගැන හිත හිතා අර තනිකම විඳින්න පුලුවන්. පාලුව විඳින්න පුලුවන්.
විලක දොළක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ළඟ සිටින තුරා
තවත් එනර්ජි එකෙන් පිරුණ ගීයක් තමයි අවපස අහසක කියන ගීය. මෙයද කුමාරදාස සපුතන්ත්‍රී ලියූවක් නොවුණත් සංගීතයේ එක කාලෙක රෝහණ වීරසිංහ එක්කම ගැටගැසුණු අනෙක් නාමය වූ කුලරත්න ආරියවංශ ලියූවක්.
එහි ඇත්තේත් තනිකම සහ පාළුව මැද්දේ ප්‍රේමය විසින් තමන්ගේ තියෙන වේදනාවල් මුදාගනීවි කියන විශ්වාසය.
මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා
පාරේ තියෙන බාධක ඉවර වෙද්දී සියළු රළ නිවී යද්දී ආදරය සිහිල් හුළඟක් විදියට හමාගෙන ඇවිල්ලා අපව නිමා දමනවා කියන හැඟීම ඔහු මතු කරනවා. ආදරය ගැන විශ්වාසය තහවුරු කරලා දෙනවා.
දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා
මෙහි කතා කරන්නේ පිරිමියෙක්, මිතුරෙක්, මවක් පියෙක් වගේම දියණියක් හෝ පුතෙක් ගැන වෙන්න පුලුවන්. ඒත්, ජීවිත සටන මැද්දේ ඒ සියලු සටන් කරන්නේ අහවල් කෙනා වෙනුවෙන්ය කියන හැඟීම පුදුම ශක්තිමත් එකක්. ජීවිත ගමනේ කෙළවරේ තවත් කෙනෙකු තමන් එනතුරු රැඳී ඉන්නවාය කියන විශ්වාසය පුදුම බලගතු එකක්.
මේ ගීතාවලයේ අගට තවත් ගීයක් එකතු කරනවා. ඒ සමන් අතාවුදහෙට්ටි ලියා සුනිල් ගයන කවුරුන්ද ඔබ මගේ – කවුරුන්ද මා ඔබේ කියන ගීය. ප්‍රේමයෙහි අර්ථය හොයන මේ ගීයත් අහිමිවීමක, පරාජයක ගීයක්.
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු
මේ ගීත සියල්ල සැබෑ ලෙසම ප්‍රේම කරන්නට අපව පොළඹවන ගීත. ප්‍රේමය එපා කරවන ගීත නෙවෙයි. පරාජය තුළ වෛරය, අවිශ්වාසය නැහැ. එ වෙනුවට අහිමිවීම තුළ අහිමිවීමේ වේදනාව ඉතා ගැඹුරු විදියට බාරගැනීමක් තියෙන්නේ.
විරහ වේදනාවෙන පීඩා විඳින අයට මෙන්ම, විරහ වේදනාව නොවිඳින, ප්‍රේමයෙන් වෙළුණු අයටත්, ප්‍රේමය අවිශ්වාස කරමින් තනිකඩව ඉන්න අයටත් හැමෝම ප්‍රේමය ගැන විශ්වාසය ඇති කරන සිංදු කීපයක් විදියට සුනිල්- රෝහණ- සපූ- යමුනා- කුලරත්න- බන්දුල- සමන් අතාවුදහෙට්ටි වැනි නිර්මාණකරුවන් ලියූ ගැයූ හා ගීතවත් කළ ගීත ටික සලකන්න පුලුවන්.
ආ තව ටිකෙන් අමතක වෙනවා. මේ ගීතය කොහොම අමතක කරන්න පුලුවන්ද? ඒ ගීයත් රසවිඳින්න. ප්‍රේමය ගැන විශ්වාස කරන්න. මේක ලීවේ බන්දුල නානායක්කාරවසම්.
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ
