ආයෙත් ඒ සෙල්ලමට ඉඩ නොදෙමු! බොරුවට එරෙහිවෙමු! විචාරශීලී වෙමු!

තරිඳු උඩුවරගෙදර

ලංකාවේ හෙදියන්ට මේ කියන ඇඳුම ඇන්දවීමේ කිසිම උත්සාහයක් නෑ. සමාජයක ජාතිවාදය ක්‍රමානුකූලව අවුස්සවන්නෙ මේ විදියට. මේවා ප්‍රශ්න නැතිව ප්‍රශ්න මැවීම් විදියට පටන් ගන්නවා. ජාතියක් ගැන වෛරයක් ඇති කරන්න කිසිම දෙයක් වෙන්න ඕන්නෑ. මෙහෙම බොරු පැතිරවීම ඇති.

ක්‍රමානුකූලව ඒ බිය විනාශකාරී ප්‍රවණතා දක්වා ගමන් කරනවා. අපි නොදැන ඒවා යටින් ගේම් ගහන කණ්ඩායම් දීර්ඝකාලීන අපරාධකාරී සිදුවීම් දක්වා මේ වගේ සුළු ජාතිවාදී සිතිවිලි තල්ලු කරනවා.

ලංකාවේ මුස්ලිම් ජාතික හෙදියන් අතරින්, විශ්වාසය මත වුවමනා අයට පමණක් දැනට තියෙන නිල ඇඳුමටම ඩිස්පෝසබල් (සෞඛ්‍යාරක්ෂිත) අත් ආවරණ, ලිහිල් කලිසමක් සහ හිස් ආවරණයක් ඇඳීමට ඇති අයිතිය තමයි කතාවට මාතෘකාව වුණේ. මාතෘකාව විජිත හේරත් ළඟට ගියාම ඔහු කියා තිබුණේ ඒකට දැනට නීතියෙන් බාධාවක් නැහැ කියලයි. එච්චරයි. ඔහුට ඒක කියන්න සිද්ධ වෙනවා. මොකද මානව හිමිකම් කොමිසමේ තීන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තියෙනවා ඇදහීමේ අයිතිය වගේම මුස්ලිම් ජාතික කාන්තාවකට පාසැලේදී මෙන්ම රැකියාවේදී තමන්ගේ ආගමික විශ්වාසය දරන්න අයිතිය තියෙන බව. ඒ විශ්වාසය දරමින් රැකියාවේ යෙදෙන්න අයිතිය තියෙනවා කියලා. ඒක එපා කියන්න විජිත හේරත්ට බලයක් නෑ. ඒ නිසා ඔහු කිව්වා බාධාවක් නෑ කියලා.

දැන් හැබැයි, ඒ සිදුවීම ලංකාවේ සියලු හෙදියන්ට, මුහුණ වැසෙන ආකාරයේ ඇඳුමක් ඇන්දවීමට ගන්න උත්සාහයක් විදියට සමාජයේ අතාර්කික, අනිසි සැකයක් මවනවා. යටි හිතෙන් ජාතිවාදී බියක් තියෙන අය තමන්ගෙ සිතිවිලි එක්ක සටන් කරනවා වෙනුවට මේ කතාවට තටු දෙනවා.

මේ අදියර ඉවර වෙන්නේ මේ (සැබෑවට සිදු නොවෙන) විනාසයට එරෙහිව සංවිධාන බිහිවීමෙන්. ඒ වගේම අසාධාරණ, අතාර්කික සහ බියජනක බොරු පැතිරෙද්දී කොන් වෙන ජාතිය තුළ තියෙන ආන්තික අදහස්වලට තටු ලැබීමෙන්. එතැනත් ඒ ආන්තික අදහස් වෙනුවෙන් සංවිධාන බිහිවෙනවා.

මේ දෙපැත්තම පෝෂණය කරන්නට ලෝකයේ හැම තැනම වගේ ලංකාවෙත් හොඳ පාර රාජ්‍යයක් තියෙනවා. අපි නොදැන අපේ සමාජයේ දූසමාන ආරංචිවලට යටින් අපරාධ යාන්ත්‍රණ එලනවා. ඒ යාන්ත්‍රණ මොහොතක පුපුරා යනවා. හැරෙන්න බැරි විදියට බිය සැකය පැතිරෙමින් විනාසය සමාජය පුරා පැතිරෙනවා.

අප වැනි මෙවැනි මාතෘකා කතා කරන උදවියට එල්ලවෙනවා චෝදනාවක්. උඹ අහවල් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. අහවල් ජාතියට කඩේ යනවා කියලා. මම නම් ආඩම්බරයෙන් කියනවා. ඔව්! මම ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නා බව. මම හැමදාම හිතපු දෙයක් තමයි. ආයේ පරණ සෙල්ලමට හිස ඔසවන්න දෙන්නේ නැහැ. නොනැවතී ඒකට විරුද්ධව කතා කරනවා. ඒ නිසා ඔව්, මම සංඛ්‍යාවෙන් සුළුතර ජාතීන් වෙනුවෙන් පෙනී ඉන්නෙක්. කඩේ යන්නෙක්. අමාරුම වෙලාවල පෙනී ඉන්නෙක්.

තව එහෙම අය ඕනෑ.

මම ඉල්ලන්නේ,

ආයෙත් ඒ සෙල්ලමට ඉඩ නොදෙමු! බොරුවට එරෙහිවෙමු! විචාරශීලී වෙමු!

Author

1 Comment

  • මුන්ට පුලුවන් වුනානම් ගුරුවරුත් ස්කෝලෙට යවන්නෙ ළමා සාරි අන්ඳල 😡😡😡

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading