කාලෙකට උඩදී මම තවත් දෙතුන් දෙනෙක් එක්ක කොළඹ ඉදන් යම් රාජකාරී කටයුත්තකට පොළොන්නරුවට යන අතර කුරුණෑගල පහු වෙනකොට තැඹිලි ගෙඩියක් බීලා ගියා නම් හොඳයි කියලා කතාවක් ඇතිවුණා. ඊට පස්සේ ඩිපෝව කිට්ටුව අර දෙපැත්තේ කැලෑව තියෙන හරියේ තැඹිලි විකුණන පොඩි කඩයක් පෙනිලා අපි නවත්තන්න හදනකොට දැක්කා ඒ කඩේ ඉස්සරහ දහ පහළොස් දෙනෙක් එක් රැස් වෙලා ඉන්නවා. අපි හිතුවේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. නමුත් අපි කඩේට ගොඩ වෙනකොට තමයි දැනගත්තේ ඊට ස්වල්ප මොහොතකට කලින් කුමා සංගක්කාර තවත් යාළුවෙක් එක්ක නැවතිලා එතනින් තැඹිලි බීලා ගිහිල්ලා කියලා. මුදලාලි සහ තව පොඩි කොලුවෙක් සංගා තැඹිලි බීපු ආකාරය ගැන විස්තර කරනවා. සංගා බීපු තැඹිලි කෝම්බය පවා තාම බංකුවක් උඩ සුරක්ෂිතව තියෙනවා. හැමෝම ඒ තැඹිලි කෝම්බය මැදි කරගෙන වගේ තමයි ඉන්නේ. සංගා මුදලාලිගේ කරට අත දාපු ආකාරය, බංකුවේ ඉඳ ගත්ත විදිහ කඩේ බිස්නස් සහ ආගිය විස්තර ඇහුවා හැටි මේ ඔක්කොම නාටකීයව මුදලාලියි කොලුවයි විස්තර කරනවා. කොහොම හරි මුදලාලිගේ කතාවේ වැඩිපුරම කියවුනු වචනය තමයි සංගා කොයි තරම් නිහතමානිද කියන එක. ඒ හරහා නොකියා වගේ කියවුනු දේ තමයි මේ අපි උඹලා වගේ නෙමෙයි ඒ මිනිස්සු හරි නිහතමානි ගුණදහම් දන්න සරල මිනිස්සු කියන එක. ඉතින් මට මේ සිද්ධියේ වඩාම වැදගත් දේ තමයි මිනිස්සු මේ ‘නිහතමානී ‘කියන වචනය පාවිච්චි කරන ආකාරය. ඒක කියන්නයි මේක ලියන්නේ.
දැන් ඔය කඩේම ඔය බංකුව උඩටම දිනපතා ඇවිල්ලා තේ කහට බීලා කිසි භේදයක් නැතුව මුදලාලි එක්ක කාලය ගතකර යන ගමේ මිනිස්සු කිසිම කෙනෙක්ව හැඳින්වීම සඳහා සාමාන්‍යයෙන් නිහතමානී කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. හැබැයි සංගා වගේ කෙනෙක් ඇවිල්ල ඒ ගමේ උන් කඩේ හැසිරෙන විදිහටම ඉඳලා ගියාට පස්සේ ගමේ උන්ට නිහතමානීකමට සහ සරල බවට ආදර්ශයට පෙන්නන්නේ සංගාව.අඩුම ගානේ ගමේ උන්ගේ මළගෙදරක කතාවකවත් උන් එහෙම හිටිය නිසා නිහතමානී කියන වචනය අගයන්න ගේන්නේ නෑ. සමහරවිට සංගාගේ මළගෙදරේදී ගනීවි. ඔබට තේරෙන්න ඕනෙ සන්දර්භයට අනුව මේ වචනය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් යම් අවුලක් තියෙන බව.
ඉතින් මේ නිහතමානී කියන වචනය මිනිස්සු නිතරම පාවිච්චි කරන්නේ තමාට වඩා බලයෙන් හෝ තරාතිරමෙන් වඩා ඉහළින් ඉන්න බව හෝ ඉහළට යන බව දැනෙන අය සඳහායි. වචන හෝ භාෂාව යනු නිකන් උඩින් පෙනෙන පරිදි අහිංසක මෙවලමක් නෙමෙයි. ඒවා මිනිස්සු අනිකාව පාලනය කිරීම සඳහා සමහරවිට අවිඥාණකව යොදා ගන්නා ඉතා සූක්ෂම ආකෘති විශේෂයක්. සන්දර්භයට අනුව වචන භාවිතයට තියෙනවා දේශපාලන මනෝවිද්‍යාත්මක ගැඹුරක්. සාමාන්‍යයෙන් නිහතමානී කියන වචනයද තමාට වඩා බලවත් කොටස් පාලනය කිරීම සඳහා, ඔවුන්ව තම මට්ටමට අරගෙන යෑම පහසු කිරීම සඳහාත්, ඉහළට ගියවුන් ඇතිකරන පීඩනය පාලනය කර ගැනීම සඳහාත් මිනිස්සු විසින් පාවිච්චි කරන වචනයක් බව එය පාවිච්චි කරන සන්දර්භයන් තුළදී අපිට පෙනෙනවා. ‘ආදරය’ සිට ‘කළගුණ සැලකීම’ දක්වා තව බොහෝ වචන මිනිස්සු අනෙකාව පාලනය කිරීම සඳහා යොදා ගන්නවා අපිට දකින්න පුළුවන්. කිසිම වරදක් නොකර නිහතමානී කෝදුවෙන් විතරක් මැනල මිනිසුන් වැරදිකරුවන් කරන අවස්ථා සුලබව තියෙනවා. දැන් ඊළඟට අර කඩය ඉස්සරහින්ම තවත් ක්‍රීඩකයෙක් වාහනයක් නවත්තලා කඩේට ගොඩ නොවී තැඹිලි බීලා ගියානම් ඔහු දුෂ්ටයෙක් වෙන්න පුළුවන්.
විවාදයක් නැහැ සංගා මිත්‍රශීලී අතිශය සමාජශීලී චරිතයක් වෙන්න පුළුවන්. ඉඳලා හිටලා ඔහු ඉන්න පරිසරයෙන් පොඩි පෙට්ටි කඩේකට හෝ බොක්කුවකට ගොඩවෙලා එයාගේ ෆෑන්ස්ලව එන්ටර්ටේන් කරලා යාමෙන් ඔහු යම්කිසි ආශ්වාදයක් ලබනවා වෙන්න පුළුවන්. ඒක ඔහු බොරුවට කරනවා කියලා අපිට කියන්න බැහැ. එහෙත් යම් විදියකින් සංගා ඔය වගේ තැන්වල නිතරම ගැවසෙන සුලභව ඉන්න එකෙක් උනානම් සංගාට වෙන්නෙත් අර කඩේට ඇවිත් යන ගමේ උන්ට වෙච්ච දේමයි. ඉස්සෙල්ලම සරල නිහතමානී කියන ලේබල් එක ඔහුට නැතුව යනවා. එතකොට දවසක තෙන්ඩුල්කාර් වගේ එකෙක් අර කඩෙන් තැඹිලි බීලා ගියාට පස්සේ සංගාටත් තෙන්ඩුල්කාර්ගේ නිහතමානීත්වය ගැන ආදර්ශ කතා අහන්න වෙනවා.
උපුටා ගැනීම – Dhananjaya Karunarathne ෆේස්බුක් අවකාශයෙනි.

ලෝකේ ඕනෑම රටක ජනප්‍රිය චරිත සහ සාමාන්‍ය මිනිස්සු අතර සම්බන්ධය ඔය වගේ තමයි. හැමෝටම තම තමන්ගේ වීරයෝ ඉන්නවා. මිනිස්සු තමන්ගේ වීරයන් දැකලා, ඒගැන කතා කරලා සතුටු වෙනවා. මිනිස්සු කියන්නේ යන්ත්‍ර නොවෙයි.
අනෙක, හැමදාම තැඹිලි බොන්න ඇවිත් එතැන මිනිස්සුන්ගේ ආකර්ෂණය නැති වුනා කියලා සංගාට අවුලක් නොතිබෙනවා වෙන්න පුළුවන්. සංගාගේ ජීවිතයේ එහෙම තැන් ඕනෑ තරම් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම තැන්වල සංගාගේ තැඹිලි කෝම්බේ වටකරගෙන කතා නොකෙරුවත්, සංගා වීරයෙක් කියලා සලකන මිනිස්සු ඉන්න පුළුවන්.