චාමර සුමනපාල
ආයුධ දැරීම ප්‍රතික්ෂේප කළ සෙබළකු වටා ගෙතෙන “Hacksaw Ridge” චිත්‍රපටය ඔබ ඇතැම්විට නරඹා ඇති. රුසියානු නවකතාකරු ලෙව් නිකලායෙවිච් තල්ස්තෝයි සිය අවසන් නවකතාව ලියන්නේ ද එවැනි පිරිසක් වෙනුවෙන් බව ඔබ අසා තිබුණාද? මේ කියන්නේ එම කතාවයි.
දහ අටවැනි සියවසේදි රුසියාවේ ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි පල්ලිය තුළ දුහබෝර් (Духобор – Dukhobor) නම් වූ ප්‍රජාවක් පහළ වුණා. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා නොව මනුශ්‍යයකු බව විශ්වාස කළ අතර දෙවියන් සමග සම්බන්ධ වීමට පූජකයන්, ආගමික සංකේත වැනි අතරමැදියන් අවශ්‍ය නැතැයි ද විශ්වාස කළා.
ප්‍රධාන ධාරාවේ නොවූ හෙයින් ඔවුනට රුසියානු අධිරාජ්‍ය පාලනයේ තාඩන පීඩනවලට ලක්වීමට සිදුවුණා. ඔවුන් සමහරෙක් සිරගත කරනු ලැබුණා. දෙවැනි නිකුලස් ත්සාර්ගේ මුල් කාලයේ ඔවුන් ජෝර්ජියාවට පිටුවහල් කෙරුණා.
මේ සමයේ ඔවුනගෙන් සමහරෙක්ට තල්ස්තෝයිගේ ලේඛන කියවීමට ලැබුණා. ඔහු ද දෙවියන් විශ්වාස කළ නමුත් ආගමික සංස්ථාවෙහි කටයුතු දැඩි ව විවේචනය කළ කෙනෙක්. තම විශ්වාසයන් හා තල්ස්තෝයිගේ අදහස් අතර සමපාත වීමක් ඇති බව දුහබෝර්වරුන්ට වැටහුණා.
දුහබෝර්වරුන් මිලිටරි සේවය ප්‍රතික්ෂේප කිරීමට වූ අතර ඊට එරෙහිව උද්ඝෝෂණ පවා පැවැත්වූවා. ඇතැම් අවස්ථාවල ඔවුන් විරෝධතා දැක්වූයේ නිර්වස්ත්‍රවයි. එමගින් භෞතික වස්තූන්ට ඇති ලෝභය ප්‍රතික්ෂේප කෙරෙන බව ඔවුන් විශ්වාස කළා. මිලිටරි සේවයට එරෙහි වීම නිසා ඔවුන්ව තවත් පීඩනයට පත්වුණා.
මේ අවස්ථාවේ තල්ස්තෝයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. ඔහු විසින් කළ හඬ නැගීම් හේතුවෙන් දුහබෝර්වරුන් පිළිබඳ ලෝකයේ අන් රටවල් ද දැනගත්තා. දුහබෝර්වරුන්ට අවශ්‍ය නම් කැනඩාවේ පදිංචි වීමට අවසර දීමට එරට රජය තීරණය කළා.
නමුත් මේ සඳහා වියදම් දැරීමට කැනඩා රජය සූදානම් වූයේ නැහැ. ඒ අනුව දුහබෝර්වරුන්ට කැනඩාව වෙත ගමන් කිරීමට වියදම සොයාගත යුතු වුණා.
තල්ස්තෝයි නවකතා ලිවීමට තිත තැබීමේ තීරණය වෙනස් කළේ එම අවස්ථාවේ යි. ඔහු ප්‍රකට ප්‍රකාශකයකු වූ ඒ. එෆ්. මාර්ක්ස්ට අයත් “නිවා” සඟරාව වෙනුවෙන් නවකතාවක් ලිවීමට බාරගත්තා. ඒ සඳහා මාර්ක්ස් ඔහුට රූබල් 22,000 ක මූලික ගෙවීමක් කළා. අද මුදලින් එය ගණනය කිරීම අපහසු වුණත් එකල එය දැවැන්ත මුදලක් වූ බව කිව හැකියි. 1890 දශකයේ පුහුණු ශ්‍රමිකයකුගේ උපරිම මාසික වැටුප වුණේ රූබල් 50 ක් වැනි මුදලක්.
තමන්ට ලැබුණ මුදල තල්ස්තෝයි දුහබෝර්වරුන් වෙත ලබාදුන් අතර එයින් ඔවුන් 7,500 ක් පමණ කැනඩාවට සංක්‍රමණය වුණා.
තල්ස්තෝයි නිවා සඟරාව වෙනුවෙන් වස්ක්‍රසේනිය (Воскресенье) නම් වූ නවකතාව ලියුවා. රුසියන් බසින් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම හඳුන්වන්නේ වස්ක්‍රසේනිය යනුවෙන්. ඉරිදා දිනයත් රුසියානුවන් එනමින් ම හඳුන්වනවා. මෙම නවකතාව Resurrection ලෙස ඉංග්‍රීසි බසින් පළවී ඇති අතර නවජීවනය ලෙස සිංහල බසට නගා ඇත්තේ ආනන්ද අමරසිරි මහතා විසින්.
මෙය කෘතියක් ලෙස පළවූයේ 1899 දී. තල්ස්තෝයිගේ ආගමික අදහස් පිළිබඳ රුසියානු ඕර්තඩොක්ස් පල්ලියේ වූ විරෝධය මෙයත් සමග තවත් තීව්‍ර වුණා. 1901 දී ඕර්තඩොක්ස් පල්ලියේ ප්‍රධාන පාලක සභාව වූ ශුද්ධ වූ සිනෝදය විසින් තල්ස්තෝයි පල්ලියෙන් පිටමං කළ බවට ප්‍රකාශ කළා. නමුත් මෙය ද විශාල ආන්දෝලනයකට හේතු වූ අතර, පල්ලිය කියා සිටියේ තල්ස්තෝයි පිටමං කළා නොව, නොමග ගිය අයකු සේ නම් කළා පමණක් බවයි.
