ඇමෙරිකාවයි ඉරානයයි ගිවිසුමකට ආවාලු! සිකුරාදා අත්සන් කරනවලු! බලාගෙන ඉමු!

පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මැදපෙරදිග කලාපය ගිනියම් කළ එක්සත් ජනපද – ඉරාන යුද්ධය නිමා කරමින්, දෙරට අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ ප්‍රධාන මැදිහත්වීමෙන් මෙන්ම කටාර්, සෞදි අරාබිය සහ තුර්කිය යන රටවල සහයෙන් යුතුව දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසු මෙම ගිවිසුමට එළඹ තිබේ. එළඹෙන ජුනි 19 වැනි සිකුරාදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මෙම ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Truth Social වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමඟ ගිවිසුම සම්පූර්ණ වී ඇති බවයි. “හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ගාස්තු රහිතව විවෘත කිරීමට මා පූර්ණ බලය ලබා දෙන අතර, ඒ සමඟම එක්සත් ජනපද නාවික අවහිර කිරීම් (Naval blockade) වහාම ඉවත් කිරීමට ද බලය ලබා දෙමි. ලෝකයේ නැව්, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ දෙන්න!” යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණි. ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සඳහා ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) සහභාගී වීමට නියමිතය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Truth Social පණිවිඩය මෙම සමස්ත යුද්ධයේ සහ ඊනියා සාමයේ සැබෑ අරමුණ මනාව සාරාංශ කරයි. “නැව්වල එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ දෙන්න!” යන ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්ද?

පෙබරවාරි 28 වැනිදා සිට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව (unprovoked) දියත් කළ ආක්‍රමණශීලී යුද්ධය හේතුවෙන් ඝාතනයට ලක්වූ දහස් ගණනක් වූ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිතවලට වඩා ඇමෙරිකානු පරිපාලනයට කලාපයේ තෙල් සම්පත සහ ගෝලීය වෙළඳපොළ වැදගත් වී ඇති බවයි. බිඳවැටුණු ඉරාන යටිතල පහසුකම් හෝ වැන්දඹු වූ පවුල් ගැන නොව, ගෝලීය ධනවාදී යන්ත්‍රය යළි පණගැන්වීම පමණක් ට්‍රම්ප්ගේ “සාමයේ” එකම ඉලක්කය වී තිබෙන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත.

මැදිහත්කරු ලෙස කටයුතු කළ පාකිස්ථානයේ අගමැතිවරයා ප්‍රකාශ කළේ, ලෙබනනය ද ඇතුළුව සියලුම පෙරමුණු වල යුධ මෙහෙයුම් වහාම සහ ස්ථිරවම අවසන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවයි.

ඉරාන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය කසීම් ඝරීබාබාදි ගිවිසුම තහවුරු කළේය. මෙම ‍ගිවිසුම සකස් කර ඇත්තේ සතුරා කෙරෙහි ඇති “සක්‍රීය අවිශ්වාසය” පදනම් කරගෙන බව අවධාරණය කළේය. ලෙබනනය ඇතුළු විවිධ පෙරමුණුවල මෙහෙයුම් නතර කිරීම සහ නාවික සම්බාධක ඉවත් කිරීම සඳුදා රාත්‍රියේ සිටම ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

මෙය ඇමෙරිකාව ආපස්සට අඩිය ගැනීමකි. එක් පැත්තකින් ඉරානයට භූමියේ ප්‍රහාරයක් එල්ල කිරීමට තිබුණු නොහැකියාවත්, ඉරානය දිගින් දිගටම ප්‍රතිරෝධය දැක්වීමත් එක් හේතුවක් විය. අනෙක් අතට හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීමෙන්

යන සාධක හමුවේ ඇමෙරිකාවට සිය ආක්‍රමණය නතර කර පසුබැසීමට සිදුවීමක් ලෙස මෙය දේශපාලනිකව කියවිය යුතුය. එය සාමයට වඩා ජාමේ බේරාගැනීමේ උපක්‍රමයකි (Face-saving exit strategy).

මේ අතර ඉරාන සන්නද්ධ හමුදා මූලස්ථානය සතුරන්ට සිය “අභිලාෂයන් බලහත්කාරයෙන් පැටවීමට” ඉරාන ජාතිය සමත් වූ බව පවසමින් මෙය ඉරානයේ පරාජය කළ නොහැකි අධිෂ්ඨානයේ ජයග්‍රහණයක් ලෙස අර්ථ දක්වා තිබේ.

මෙම සාම ගිවිසුම සම්බන්ධයෙන් ලොව පුරා නායකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවෙමින් පවතී.

එහෙත්, ඇමෙරිකානු-ඊශ්‍රායල සන්ධානය ඉරානයේ සිවිල් සහ විද්‍යාත්මක යටිතල පහසුකම් (civilian and scientific infrastructure) ඉලක්ක කර ගනිමින් සිදු කළේ හුදු යුධ මෙහෙයුමක් නොව, පැහැදිලි යුධ අපරාධයකි. රෝහල්, පර්යේෂණාගාර සහ ජනාවාස විනාශ කර දමමින්, මාස ගණනාවක් නාවික සම්බාධක පනවා සමස්ත ජාතියක් ආර්ථික වශයෙන් ගෙල සිර කිරීමෙන් පසු, හදිසියේම සාමයේ පරවියන් ලෙස පෙනී සිටීමට ඔවුන්ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? යුද්ධය ආරම්භ කළ අයට සහ දහස් ගණනක් මරා දැමූ අයට එරෙහිව කිසිදු ජාත්‍යන්තර වගවීමක් මෙම ගිවිසුමෙන් යෝජනා නොවීම ජාත්‍යන්තර නීතියේ ඇති බෙලහීනත්වය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මෙය ගැටුම විසඳීමේ “තීරණාත්මක පියවරක්” ලෙස හඳුන්වමින් අගය කළේය. ඒ එම සංවිධානයට කිිසිදු සාධනීය මැදිහත්වීමක් කිරිමට නොහැකි වූ පසුබිමකය.

කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සහ තුර්කි ජනාධිපති රිසෙප් ටයියිප් එර්දොගාන් මෙය කලාපීය සාමය සඳහා වූ වැදගත් ජයග්‍රහණයක් ලෙස හැඳින්වූ අතර, ගිවිසුම අත්සන් කිරීමට පෙර ප්‍රකෝපකාරී ක්‍රියාවලින් වළකින ලෙස එර්දොගාන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.‍

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් (Keir Starmer), ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron), ජර්මනිය සහ ඉතාලිය ඒකාබද්ධව ප්‍රකාශ කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි පියවර ගන්නේ නම් සම්බාධක ඉවත් කිරීමට සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බිම්බෝම්බ ඉවත් කිරීමට සහය දීමට සූදානම් බවයි.

ජපන් අගමැති සනායි ටකායිචි (Sanae Takaichi) න්‍යෂ්ටික ගැටලුවට ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරන බව පැවසීය. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) සහ නවසීලන්ත විදේශ ඇමති වින්ස්ටන් පීටර්ස් ද මෙම ගිවිසුම සාධනීය රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ලෙස අගය කළහ.

මාස කිහිපයක් පුරා පැවති යුද්ධය නතර වුවද, ගිවිසුම කල් පැවතීම සැක සහිතය.

ලෙබනනයේ බේරූට් අගනුවර හිස්බුල්ලා ඉලක්ක වෙත පසුගියදා එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය මගින් පෙනී යන්නේ ඊශ්‍රායලය මෙම ගිවිසුමට එකඟ නොවන බවයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ හිටපු ආරක්ෂක උපදේශක ජේකබ් නේගල් මෙය “විශාල අත්වැරදීමක්” ලෙස විවේචනය කර ඇති අතර, විශ්ලේෂක අවි අෂ්කෙනසි මෙය ඉරානය අත්පත් කරගත් විශාල ජයග්‍රහණයක් සහ ඇමෙරිකාව ලැබූ පරාජයක් බව පවසා ඇත.

කෙසේ වෙතත් මග නොහැර යා හැකි තත්වයක් ඇත. ලෙබනනයේ බේරූට් නුවරට බෝම්බ හෙළමින්, කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් මරා දමන අතරතුරම ස්විට්සර්ලන්තයේ සාම ගිවිසුම් අත්සන් කිරීමට දින නියම කරගැනීම තරම් ඛේදවාචකයක් තවත් නැත. බටහිර ලෝකය, විශේෂයෙන්ම ඇමෙරිකාවට පක්ෂපාතී යුරෝපීය රාජ්‍යයන් මෙම ගිවිසුම අගය කරමින් නිකුත් කරන නිවේදන මගින් කරන්නේ, අධිරාජ්‍යවාදී මැරකම් (Imperialist bullying) සාමාන්‍යකරණය කිරීමයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ, කලාපීය සන්නද්ධ කණ්ඩායම් (Hezbollah වැනි) සඳහා දක්වන සහය සහ මානව හිමිකම් කඩවීම් වැනි මූලික ගැටලු මෙම ගිවිසුමෙන් ක්ෂණිකව ආමන්ත්‍රණය කර නොමැත. ඉදිරි දින 60ක සාකච්ඡා කාලය තුළ මෙම සංකීර්ණ ගැටලු විසඳා ගැනීම ප්‍රායෝගිකව අසීරු බව Atlantic Council හි අලියා බ්‍රාහිමි (Alia Brahimi) සහ මැදපෙරදිග දේශපාලන විශේෂඥ කයිලි මුවර්-ගිල්බට් (Kylie Moore-Gilbert) වැනි අය පෙන්වා දෙති. මෙය හුදෙක් ඊළඟ ගැටුම දක්වා කාලය කල්දැමීමක් බව ඔවුන්ගේ මතයයි.

ඇමෙරිකාව සිය නාවික අවහිර කිරීම් ඉවත් කර ලෝක ආර්ථිකයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇතත්, දින 60 ක සත්‍යාපන කාල සීමාවෙන් පසු න්‍යෂ්ටික එකඟතාවන් සහ ආර්ථික සම්බාධක ඉවත් කිරීම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වුවහොත් තත්වය කුමක් වනු ඇතිදැයි සැකයක් පවතී.

ඉරානය තම කොන්දේසි වලට පහසුවෙන් යටත් නොවනු ඇතැයි විශේෂඥයින් සැක කරන අතර, ඇමෙරිකාව කෙරෙහි “සක්‍රීය අවිශ්වාසයකින්” පසුවන ඉරානය ඕනෑම මොහොතක ප්‍රහාරයක් සඳහා සිය “ඇඟිල්ල කොකා මත” තබාගෙන සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ඉරානය කිසි විටෙක ප්‍රහාර ආරම්භ කර නැත. යුද්ධය නවත්වනවාද නැද්ද යන්න ඇත්තේ ඇමෙරිකාවේ සහ විශේෂයෙන් ඊශ්‍රායලයේ අතේය.

මෙය යුද්ධයේ නිමාවක් ලෙස සැමරීමට ලෝකය ඉක්මන් නොවිය යුතුය. ට්‍රම්ප් පරිපාලනය අද සාම ගිවිසුම් අත්සන් කරන්නේ ඔවුන් සාමයට ආදරය කරන නිසා නොව, යුද්ධයේ මිල ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික පැවැත්මට තර්ජනයක් වී ඇති බැවිනි.

දහස් ගණනකගේ ලේ මතින්, විනාශ කරන ලද නගර මතින් ගොඩනැගූ මෙම ගිවිසුම, අනාගතයේදී තවත් මෙවැනිම විනාශකාරී ඇමෙරිකානු මැදිහත්වීම් සඳහා පාර කපන තාවකාලික වෙළුම් පටියක් (band-aid) පමණි. සැබෑ ප්‍රශ්නය ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ පමණක් නොව, තමන්ට අවශ්‍ය විටෙක වෙනත් ස්වෛරී රාජ්‍යයන් ආක්‍රමණය කිරීමට සහ විනාශ කිරීමට ඇමෙරිකාවට ඇති අසීමිත, ප්‍රශ්න කළ නොහැකි බලය තුළය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading