බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් ඒකකයට අද (17) නියෝග කර තිබේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.
2014 වර්ෂයේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එහි ප්‍රවර්ධන කටයුතු සඳහා වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ රුව සහිත ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන රූමි ජවුෆර් නමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා 17 වනදා නියෝග කර තිබේ.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව එම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා විසින් මෙහිදී අධිකරණයට දැනුම් දී තිබේ.
