අධිකරණ නියෝගවලට පිටින්, සලේව දිනපතා හමුවෙන්න හැදූ නීතිඥයන්ට ශානි ඉඩ නොදෙයි! නීතිඥවරු බදාදා පමණයි! පවුලට තුන්වේලම හමුවෙන්න පුලුවන්!

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අධිකරණයේ නියෝගවලට පිටින් දිනපතා හමුවීමට කළ ඉල්ලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය වෙත ලිඛිතව කරුණු දක්වමින් මේ බව දැනුම් දී ඇත.

ඇය විසින් සිය සැමියාට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන මහතා හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි ලිපියට පිළිතුරු සපයමින් මෙම තීරණය දැනුම් දී තිබේ.

CID අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් පහත අවධාරණය කර ඇත්තේ සුරේෂ් සලේ මහතා මේ වන විට රෝහල්ගතව සිටින බැවින්, ඔහු කිසිදු විමර්ශනයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය නොවන බවය. ඒ හේතුවෙන් මෙම අවස්ථාවේදී දෛනිකව නීතිඥ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් පෙන්වා දී තිබේ.

එසේ වුණත් සලේව හමුවීම නීතිඥවරුන්ට සීමා කර නැත. දැනටමත් අධිකරණයෙන් නියෝග කර ඇති පරිදි සතියකට වතාවක් බදාදා දිනවල සලේව හමුවීමට ඉඩ ලබා දෙන බව පැහැදිලිව පෙන්වා දී තිබේ.

මෙලෙස දෛනිකව නීතිඥවරයා හමුවීමට අවසර ඉල්ලා සිටින්නේ, ඒ හරහා දිනපතා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේ අරමුණින් බවට අදාළ පිළිතුරු ලිපිය මගින් පෙන්වා දී ඇත. එම දේශපාලනික අරමුණ නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

නීතිඥ සහාය සීමා කළද, පවුලේ සාමාජිකයින්ට ඔහුව බැලීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැත. ඔහුගේ බිරිඳට, දියණියට සහ පුතාට දවසේ ඕනෑම වෙලාවක, අවස්ථා කිහිපයක් වුවද තම කැමැත්ත පරිදි රෝහලට ගොස් ඔහුව බැලීමට පූර්ණ අවසරය ලබා දී ඇති බව CID ය දන්වා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ආරම්භ කළ නිරාහාර උපවාසයක් හේතුවෙන් සුරේෂ් සලේ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සලේගේ සෞඛ්‍ය තත්වය අතිශ්‍ය බරපතල නොවන අතර, සේලයින් සහ ඖෂධ ඔහුට ලබා දෙමින් පවතී.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කර ඇති CID අධ්‍යක්ෂවරයා, නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමි වී සුවය ලැබීමේ ක්‍රියාවලියට සහ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ද මනෝරි සලේ මහත්මියට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පවුලේ අයට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති පසුබිමක, ඉහත කරුණු පදනම් කරගනිමින් නීතිඥවරයාට දිනපතා හමුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බව එහි නිශ්චිතවම දන්වා තිබේ.

Author

Related Posts