යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (30) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “අපිට පිස්සො කියලා කියන්න කමක් නෑ ! හැබැයි අපි Gay නෙවෙයි” යනුවෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවී තිබුණා.
අර්චුනා එහි දී පැහැදිලිව සඳහන් කරන්නේ පිස්සෙක් වීමට වඩා, Gay වීමට හෙවත් පිරිමියෙකු තමන්ගේ ලිංගික අභිරුචිය තමත් පිරිමියෙකු විෂයේ දැක්වීම අවමානයක් හෝ අවුලක් වන බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිරිමි සමලිංගික දිශානතිය වෙත පමණක් ලඝු කිරීමට නොහැකි වනුයේ, ඔහු එම අදහස පළ කරන්නේ සමස්ත LGBTQIA+ ප්‍රජාව පිළිබඳ ඔහු විසින් පාර්ලිමේන්තුවේ දී දැක්වූ අදහසට සමගාමීව වන හෙයිනුයි. එසේ ගත් විට අර්චුනාට අනුව Straight හෙවත් විෂම ලිංගික සම්බන්ධතා හැර අනෙක් සියලු ලිංගික දිශානතීන් අවමානයට කාරණාවක්.
LGBTQIA+ යනු තම ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රකාශනය සහ ලිංගික නැඹුරුව අනුව විවිධත්වයක් දක්වන පුද්ගලයන් හැඳින්වීම සඳහා භාවිත කරනු ලබන කුඩා නමුත්, පුළුල් යෙදුමක්. L අකුරින් – Lesbian (ලෙස්බියන්) හෙවත් සමලිංගික කාන්තාවන්, G අකුරින් Gay (ගේ) හෙවත් සමලිංගික පුරුෂයන්, B අකුරින් Bisexual (බයිසෙක්ෂුවල්) හෙවත් ද්විලිංගික එනම්, ස්ත්‍රී, පුරුෂ යන ලිංග දෙකටම ලිංගික නැඹුරුව ඇති වන පුද්ගලයන්, T අකුරින් Transgender (ට්‍රාන්ස්ජෙන්ඩර්) හෙවත් සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන් ලෙස ඒවාගේ අර්ථ හඳුනාගනු ලබනවා.
කෙසේ නමුත්, Q අකුර දෙආකාරයකට අර්ථ දක්වා ගන්න පුළුවන් වනවා. ඉන් පළමුවැන්න Queer (ක්වීයර්) යන්න. එනම් ඉහත කිසිදු වර්ගීකරණයකට පැහැදිලිව අයත් නොවන හෝ සාම්ප්‍රදායික ලිංගික සහ සමාජභාවීය රාමුවලට අභියෝග කරන පුද්ගලයන්. දෙවැන්න Questioning (ක්වෙශ්චනින්) යන්න. එනම් තම ලිංගික නැඹුරුව හෝ සමාජභාවීය අනන්‍යතාව පිළිබඳව තවමත් ගවේෂණය කරමින් සිටින පුද්ගලයන්. I අකුරින් Intersex (ඉන්ටර්සෙක්ස්) හෙවත් අන්තර්ලිංගික ප්‍රජාව හඳුන්වනු ලබන අතර එහි අර්ථය සාම්ප්‍රදායිකව “පිරිමි” හෝ “ගැහැනු” ලෙස අර්ථ දක්වා ඇති ශරීර ලක්ෂණවලට (ලිංගික අවයව, වර්ණදේහ, හෝමෝනවලට) වඩා විවිධාංගීකරණය වූ එකක් සඳහා අයත් යැයි කිව නොහැකි ශාරීරික ලක්ෂණ සහිතව උපත ලබන පුද්ගලයන් බවයි. A අකුරින් හැඟවෙන Asexual (ඒසෙක්ෂුවල්) හෙවත් අලිංගික යන්නයි. එනම් කිසිවෙකුටත් ලිංගික ආකර්ෂණයක් නොදැනෙන පුද්ගලයනු යි.
මෙහි + ලකුණෙන් ඉහත අර්ථ දැක්වීම්වලට ඇතුළත් නොවන අනෙකුත් සියලුම ලිංගික නැඹුරුතා සහ සමාජභාවීය අනන්‍යතා නියෝජනය වන අතර ඊට උදාහරණ ලෙස Autosexual, Pansexual, Demisexual ආදී අනන්‍යතා මේ නියෝජනය යටතට ගත හැකියි.
ඒ අනුව අර්චුනා විසින් ප්‍රසිද්ධ මාධ්‍යය හමුවේ සිදු කළ මෙම ප්‍රකාශය LGBTQIA+ තුළ පවතින සියලු නියෝජනයන් සඳහා අයත්වන චෝදනාවකි. පිස්සෙක් යනුවෙන් ඔහු හඳුන්වා දෙනුයේ මානසික ව්‍යාධීන් සහිත මිනිසුන් යැයි සිතුවහොත් එසේ මානසිකව ව්‍යාධී තත්ත්වයක පසුවන අයෙකු හා සසඳමින් මෙකී LGBTQIA+ ප්‍රජාව අවමානයට පත් කළ යුත්තේ ඇයි ? යන්න අපට ඇති වන ප්‍රශ්නයයි. ඇතමුන් හඟවන පරිදි මෙම සුළුතර ලිංගික ප්‍රජාව ද මානසික රෝගීන් ද ?
1968 දී ඇමරිකාවේ දී ප්‍රකාශයට පත් කළ ‘මානසික රෝග පිළිබඳ ධූරාවලියේ’ දී සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස හඳුන්වා දී තිබුණා. නමුත්, 1973 දී ඇමරිකානු මනෝ විද්‍යා සංගමය එම සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැසි වාරයක දී සමලිංගිකත්වය තව දුරටත් මානසික රෝගයක් ලෙස හඳුන්වනවාද ? නැද්ද ? යන කරුණ විමසමින් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කළා. ඒ අනුව මනෝ වෛද්‍යවරුන් 5854 ක් සමලිංගිකත්වය රෝගයක් නොවන බවටත්, 3810 ක් එය රෝගයක් බවටත් ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
මෙසේ ඡන්දයෙන් සමලිංගිකත්වය රෝගයක් නොවන බව බැහැර කරනු ලැබුවත්, මානසික රෝග පිළිබඳ ධූරාවලියෙන් සමලිංගිකත්වය ඉවත් කළේ නෑ. එම “අස්වාභාවික තත්ත්වයක්” විදිහටයි ඔවුන් ඉන් අනතුරුව එය හඳුන්වාගනු ලැබුවේ. කෙසේ නමුත් සමලිංගිකත්වය එම ධූරාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ 1987 දී. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරන ‘ජාත්‍යන්තර රෝග නාමාවලියෙන්’ සමලිංගිකත්වය ඉවත් කළේ 1992 දී. ඒ නිසා තවදුරටත් මනෝ විද්‍යාව තුළ සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් ලෙස සලකන්නේ නෑ. ඊට ප්‍රතිකාර කරන්නට උත්සාහ කරන්නෙත් නෑ.
ඒකෙන් ගම්‍ය වෙන්නෙ සමලිංගිකත්වය හෝ සාම්ප්‍රදායික ලිංගික දිනාශතියෙන් වෙනස් වන අනෙකුත් ලිංගික දිශානතීන් මානසික රෝගයක් සහ ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් ලෙස හඳුනාගනු ලබන අය ඉන්නෙ තාමත් දශක ගණනක අතීතයක බවයි.
සමලිංගිකත්වයට බය වීම හෝ සමලිංගිකත්වය විරුද්ධ වීම හෝමෝෆෝබියාව (Homophobia) නම් මානසික තත්ත්වයක් බව පසුකාලයක දී පිළිබනු ලැබුවා. ෆ්‍රොයිඩියානු මතවාද සමඟ කතිකා මතුවන විට මේ හෝමෝෆෝබියාව මතුවන්නේ තමාගේ අවිඥානය තුළ සැඟවුණු සමලිංගික හැඟීම් උඩට මතුවෙයි කියන බය නිසා කියන එක ඉන් පසුව ප්‍රසිද්ධ ප්‍රවාදයක් බවට පත්වුණා. ( ෆ්‍රොයිඩ් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත. ඔහුගේ අවිඥානය පිළිබඳ ඉගැන්වීම් ආශ්‍රයෙන් පසුකාලීනව ගොඩනගාතත් ප්‍රවාදයකි)
ලිංගික නැඹුරුව කාලයත් සමග වෙනස් වනවා ද ? කියන ප්‍රශ්නයත් අද දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රශ්න ගොන්න අතර වනවා. සමහරු චෝදනා කරන්නේ මෙම විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන් හේතුවෙන් තමන්ගෙ දරුවන් ද සමලිංගික හෝ වෙනත් අනන්‍යතා සඳහා පෙළඹිය හැකි බවයි.
නමුත්, බොහෝ පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුව ජීවිත කාලය පුරාම ස්ථාවරව එලෙසම පවතිනවා. උපතින්ම ලැබෙන, ජාන, හෝමෝන සහ පාරිසරික සාධකවල සංකීර්ණ සම්මිශ්‍රණයකින් තීරණය වන මේ ලිංගික නැඹුරුව සමහර පුද්ගලයන් සඳහා පසුකාලීනව වෙනස්විය හැකි තත්ත්වයක් බවට පත්වනවා. එය හඳුන්වන්නේ “Sexual Fluidity” (ලිංගික ද්‍රවශීලතාවය) යනුවෙනුයි. තරුණ වියේදී හෝ පසුකාලීනව තමාගේ සැබෑ හැඟීම් සහ ආකර්ෂණයන් හඳුනා ගැනීම හෙවත් ස්වයං – ගවේෂණය හේතුවෙන් හා මුලදී සමාජ පීඩනය නිසා තම සැබෑ අනන්‍යතාව යටපත් කරගෙන සිට පසුව එය පිළිගැනීම වැනි දෑ මෙම ලිංගික ද්‍රවශීලතාවය සඳහා හේතු ප්‍රත්‍ය වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රධාන මනෝවිද්‍යා සංගම් විසින් තරයේම සඳහන් කරන්නේ, මෙම ලිංගික නැඹුරුව “ප්‍රතිකාර” මගින් හෝ බලහත්කාරයෙන් වෙනස් කළ නොහැකි බවයි. එවැනි උත්සාහයන් හානිකර සහ අකාර්යක්ෂම ක්‍රියා බවත්, එය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට බරපතල හානි සිදු කළ හැක බවත් පෙන්වා දෙනු ලබනවා. ඒ නිසා බලා සිටීමෙන් හෝ මෙකී පුද්ලගලයන් දැකීමෙන් තමන්ගේ අනන්‍යතාවය විවිර වීමක් සිදුවනවා මිස බලහත්කාරීව එම සමාජභාවී තත්ත්වය වෙනස් නොවන බව විද්‍යාත්මකව ඔප්පු කරන ලද්දක්.
මෙවැනි තත්ත්වයක් තිබිය දී අර්චුනා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදු කළ මෙම ප්‍රකාශයත්, කාදිනල් මැල්කම් රංජිත් මෙම ප්‍රජාව පිළිබඳ පැවසූ කරුණුත්, LGBTQ+ සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන ප්‍රචාරණ වැඩසටහනක් සිදු කරන බවට සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දැක්වූ බහුතර පිරිසකුත්, මහානායක හිමිවරුත් මේ සම්බන්ධයෙන් පවසන කරුණු ඔස්සේ ගම්‍ය වන්නේ නිසි දැනුමක් හෝ අධ්‍යාපනයක් නොමැතිව කියන්නන්වාලේ කියනවා මිස මේ සම්බන්ධයෙන් කිසිඳු අධ්‍යනයක් ඔවුන් තුළ නොමැති බවයි. හුළඟින් ඒඩ්ස් බෝ වන බව පැවසූ කුලියාපිටි වැසියන් ද, කොත්තු හා තනපට හේතුවෙන් වඳ වන බව විශ්වාස කළ අය ද මේ හා සමානම ව්‍යාජ පුවත් විශ්වාස කරන අතාර්කික පුද්ගලයන් නොවේ ද ?
