හුණුවටයේ අසඩක් වූ නලින් ප්‍රදීප් උඩවෙල සමුගනී!

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (23) උදෑසන  ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි. ඔහු ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස මෙරට ප්‍රකට වූ අතර ඊට පෙර වේදිකා නාට්‍ය ගණනාවක ප්‍රබල චරිතයක් විය. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ අසඩක් නම් චරිතය රඟපෑවේ නලින් ප්‍රදීප් උඩවෙලය. හුණුවටයේ කතාව කොකේසියන් චෝක් සර්කල් නම් බර්තොල් බෙහ්ට්ගේ ප්‍රකට වේදිකා නාට්‍යය ඇසුරෙන් තැනූ අතර අසඩක් චරිතය ලොව පුරා ප්‍රවීණම රංගන ශිල්පීන් නිතිපතා රඟන චරිතයකි. හෙන්රි ජයසේන මහතා මුලින් රඟපෑ අසඩක් චරිතය පසුව නලින් ප්‍රදීප් උඩවෙලට පැවරිණි.

 ‘හුණුවටය’, ‘ජූරිය’, ‘කැලණි පාලම’, ‘මෝදර මෝල’ සහ ‘මී හරක්’ ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු ‘අකුරු මැකී නෑ’, ‘අපර්ණා’, ‘බට්ටි’, ‘ඇත් කඳ ලිහිණි’, ‘ඉසුරු පවුර’, ‘කසී සලු’, ‘මොනරවිල’, ‘නිසලවිල’, ‘සුදු හාමිනේ’ සහ ‘සුවඳ පද්ම’ ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වූයේ ය. එමෙන් ම ‘නිසල විල’, ‘තාරකා මල්’ සහ ‘ආසයි මං පියාඹන්න’ යන නිර්මාණවලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වී ඇත.

ඔහු පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් නාට්‍යවේදී ධනංජය කරුණාරත්න මෙසේ ලියා තිබුණි.

නලින්ට සමුදෙමු!

අවාසනාවට නලින් ප්‍රදීප් උඩවල අපේක්ෂා රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ඉන්නා බවට මට තොරතුරු ලැබුණේ ප්‍රමාද වෙලා යි . ඊයේ මම කමල් පී අලහකෝන්ගෙන් දුරකථන අංකයක් ඉල්ලාගෙන කීප පාරක් නලීන්ට රිං කලත් කතා කරන්න බැරි වුණා. අදත් කතා කරන්න හිටියත් නලීන් අද උදෑසන අවසන් ගමන් ගිය මට දැනගන්න ලැබුණා.

මගේ නාට්‍ය කලා ජීවිතය තුළ නලීන් මට මුලින්ම හමුවුණු කොන්දේසි විරහිතව මට සහයෝගය දුන්න නළුවෙක්. අනුව දශකයේ ආරම්භයේදී සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමාගේ නාට්‍ය වැඩමුළුවේදී හමුවුණු මගේ මිත්‍ර කඳවුරේ හිටිය මිතුරෙක්. එවකට මමවත් නලීන්වත් අපි කවුරුවත් දැනගෙන හිටින්නේ නෑ ඉදිරි කාලයේ නාට්‍ය කලාවේ අපි කවුරුන් වේවිද කියලවත්. එම මිත්‍ර කඳවුරේම හිටිය අනිත් මිතුරන් අතර භානු ප්‍රසන්න, ප්‍රසන්න ජයකොඩි තිලක් නන්දන හෙට්ටිආරච්චි වගේ අයත් හිටියා . ප්‍රසන්නයි මමයි නාට්‍ය රචනයකර අධ්‍යක්ෂණ කරන්න පටන් ගත්ත අතර අනිත් මිතුරෝ ඒ නාට්‍ය වලට රඟපෑමේ සිට ඕනම වැඩක් කරමින් සම්බන්ධ වුණා. නලින් මගේ පළමු ප්‍රසිද්ධ නාට්‍යය වන තනියාමය කෙටි නාට්‍ය සහ ඉන් අනතුරුව ජූරිය නාට්‍යය තුලද රඟපෑමෙන් සහ තවත් කටයුතුවලින් දායක වුණා.

1992 යෞවන සම්මාන උළෙල නලීන් ප්‍රදීප් උඩවෙලගේ උළෙල කියලා හැමෝම විහිළු කළා. ඒ නලීන් මගේ තනියාමය සහ ප්‍රසන්නගේ සෙවනැලි සහ මිනිස්සු නාට්‍ය ඇතුළු ඒ උළෙලේ අති බහුතරයක් නාට්‍යවල රඟපෑමයි. මම හිතන්නේ නලීන් නළුවෙකු ලෙස කලඑළියට ආවේ එම උළෙල හරහායි.

නලීන් මාතලේ ඉදන් ඇවිත් හිටියෙ. මේ විදිහට විවිධ අධිෂ්ඨාන සහ අරමුණුවලින් පැමිණිලා හිටිය අය අතර නලීන්ට තිබුනේ විශාල ධෛර්යයක්. නලීන්ම සමහර අවස්ථාවල ප්‍රසිද්ධියේ කියලා තිබුණු පරිදි , ඒ මුල් කාලයේ ඔහු නාට්‍යවල ඕනෑම වැඩක් කෙරුව අතර සමහර දිනවල ඔහුට රෑට ඉන්න තැනක් නැතුව නිදා ගත්තේ රඟහලකම කොහේ හරි මුල්ලකයි. මම හිතන්නේ නාට්‍යකාරයෙකුට ඉන්න තැනක් නැත්නම් වැටෙන්න තියන වඩාම ගෞරවනීය තැන රඟහල කියලයි. නලීන් පුහුණුවීම් වලට ගියේ බෑග් එකත් කරේ එල්ලගෙන එදා රෑට ඉන්නේ කොහෙද කන්නේ කොහොමද කියන අරමුණකින් තොරවයි. ඔහු කලක් ගම්පහ අපේ ගෙදරත් නැවතිලා හිටියා. එම රස්තියාදු වෙන අවස්ථාවකදී දවසක් නලින් මට කිව්වා මතකයි හෙන්රි ජයසේන වගේ නාට්‍යකාරයෙකුගේ නාට්‍යයක අසදක් වගේ චරිතයක් කරලා මිසක් මම ආපහු ගමට යන්නේ නෑ කියලා. ඔය ඉන්න ගමන් නාට්‍යයකුත් හදපන් කියලා මම ඒ දවස්වල නලීන්ට නිතර කිව්වා. එහෙනම් මට උඹම ලියපු පිටපතක් දීපන් කියලා ඒ දවස් වල නලීන් මගෙන් නිතර පිටපතක් ඉල්ලලා හිටියා.එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මම හදන්න හිටිය චන්ද්‍රාවතී සමග රාත්‍රියක් නාට්‍ය මුලින්ම නලින්ට හදන්න දුන්නේ.

අපි එදා කරපු නාට්‍ය කලාවට මම කියන්නේ මිත්‍රත්වයේ නාට්‍ය කලාව ( Friendship Theatre) කියලයි. නාට්‍ය සහ මිත්‍රත්වය දෙකක් නොව එකක් වෙලා තිබුණ අතර අප බැඳී තිබුණේ වෘත්තිය අයිතිවාසිකම්වලින් නෙමෙයි මිත්‍රත්වයේ කොන්දේසි වලින්.

නලින් සමග තව රසවත් මතකය එමටයි. ඒවා අපිට හැමදාම මතකයට ඒවි.

සුභ ගමන් නලීන්!

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading