ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ රහසිගත ලිපිගොනු !!!

ජිමුත් ඉඳුසර රත්නායක

ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ “රහසිගත ලිපිගොනු” පසුගිය දා නැවතත් වේදිකාගත කෙරුණා. රහසිගත ලිපිගොනු නාට්‍යය “Musical Melodrama” හෙවත් “සංගීතමය අතිනාටක” ශානරයට අයත්වන නාට්‍යයක් බවයි පූර්ව ප්‍රචාරක අවස්ථාවලදී සඳහන් කර තිබුණේ. “හෝ ගානා පොකුණ” සහ “වෙඩි නොවදින ළමයි” චිත්‍රපට යුගලය නරඹා තිබුණත් ෆර්ඩිනෑන්ඩෝගේ වේදිකා නාට්‍යයක් හෝ සංගීතමය අතිනාටකයක් සජීවීව අත්දැකලා නොතිබි නිසා යම් චකිතයක් සහ නැවුම් බවක් සහිතව නාට්‍යය වෙත පිවිසෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

මේ නාට්‍යය සම්බන්ධ මගේ මතය කෙටියෙන් ම ලිව්වොත් “මේ නාට්‍යය මරු වැඩක්. මට මේ නාට්‍යය සෑහෙන්න වැඩ කළා. මම විශ්වාස කරනව ලංකාවෙ අතිශය කලාතුරකින් හමුවෙන නාට්‍ය අත්දැකීමක් මේ තුළින් අරගෙන එන බව.” කියලා ලියන්න පුළුවන්. නමුත් මම එහෙම කියන්නෙ ඇයි කියන ප්‍රශ්නය තමයි ඊළඟ මොහොතෙ නැගෙන්නෙ. මේ එළැඹුම ඒ ගැන.

• අතිනාටක ලක්ෂණ සහ රහසිගත ලිපිගොනු

සාමාන්‍යයෙන් මෙලොඩ්‍රාමා එහෙමත් නැත්නම් අතිනාටක ශානරයේ නාට්‍යයක සාමාන්‍ය වේදිකා නාට්‍යයක අඩංගු වනවා යැයි සැලකෙන මූලික ලක්ෂණ කිහිපයක් දකින්න පුළුවන්. විශේෂයෙන් ම හැඟීම් පමණ ඉක්මවා දැක්වීම සහ චරිත අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම මේ නාට්‍යමය ශානරයේ ප්‍රධාන ම ලක්ෂණයක්. වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සුන්වීම, ආදරය, අහිමිය සාමාන්‍ය තත්ත්වයට වඩා ආන්තිකව සහ වැඩි කර දැක්වීමක් මෙවැනි නාට්‍යවල ලක්ෂණයක්. රහසිගත ලිපිගොනු නාට්‍යය ඇතුළෙ මේ කියන මෙලොඩ්‍රාමාමය ලක්ෂණය ඉතාම හොඳින් ස්ථානගත කරල තියෙනව. විශේෂයෙන් ම සමාධි ලක්සිරිගේ චරිතය ස්ථානගත කරල තිබුණෙ මේ කියල හැඟීම් සියල්ල වැදී යන විදිහට. වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සුන්වීම, ආදරය, අහිමිය වගේ මේ කිව්ව හැම හැඟීමක් ම සමාධිගෙ චරිතය හරහා ගොඩනංවලා අඩු වැඩි වශයෙන් අනෙක් චරිත අතර දිය කර හරිනවා. උදාහරණයක් විදිහට සෞම්‍යගේ චරිතය සහ සමාධිගේ චරිතය අතර විවාහයෙන් පිට සම්බන්ධතා ගැන කතිකාව හරහා ඇතිවන ගැටුම් අවස්ථාවේ මේ කියන හැඟීම් හුවමාරු වෙමින් සහ වඩාත් තදින් ස්ථානගත වන ආකාරය දැකගන්න පුළුවන්. ඒ අවස්ථාවේ සමාධිගෙ හැඟීමේ උච්චාවචනය වීම ආලෝකය, සංගීතය, පසුතල සහ පසුතලයේ පාවිච්චි කරන දර්පණ මඟින් ප්‍රේක්ෂකාගාරය වෙත අරගෙන එන්න සමත් වෙනවා. මේක අතිශය නාට්‍යමය අවස්ථාවක් වගේ ම. කලින් සඳහන් කළ මෙලොඩ්‍රාමාමය ලක්ෂණය වඩාත් හොඳින් දිස්වන අවස්ථාවක් විදිහට නම් කරන්න පුළුවන්.

සාමාන්‍ය නාට්‍යයකට සාපේක්ෂව අතිනාටකයක තවත් මූලික ලක්ෂණයක් වෙන්නෙ අතිශයෝක්තියෙන් යුක්ත වන කතා වස්තුව. සාමාන්‍යයෙන් අධියථාර්ථවාදී සිදුවීම්, පළිගැනීම්, වීරත්ව ක්‍රියා, සැඟවුණු රහස් හෙළිදරව් වීම වගේ ආඛ්‍යාන රටාවකට අනුවයි මේ කතා වස්තුව සකස් වීම සිදු වෙන්නෙ. රහසිගත ලිපිගොනු ආරම්භ වෙලා විනාඩි පහකින් විතර පස්සේ එළැඹෙන කතාවේ ගලායෑම ඉතාම හොඳින් මේ ආඛ්‍යාන රටාව අනුගමනය කරන ආකාරය දැකගන්න පුළුවන්. විශේෂයෙන් ම අධියථාර්ථවාදී නැත්නම් මායාමය ස්ථානයකින් පටන් අරගෙන පළිගැනීම, හොඳ සහ නරක අතර දෝලනය වීම, වීරත්වය, සැඟවුණු රහස් කියන කොටස් මේකෙ කතාව එළීමේ දී භාවිතා කරල තියෙනවා. සම්පූර්ණ නාට්‍යයම යැපෙන්නෙ සැඟවුණු රහසක් හෙළිදරව් කිරීම කියන කාරණය මත වීම නිසා, අර කියන සෑම ලක්ෂණයක් ම ඒ තුළ අන්තර්ගත වෙනවා සහ ඒ අන්තර්ගත කිරීම ඉතා ම ප්‍රවේශමෙන් තිර රචනය තුළ ලියැවිලා තියෙනවා ( මේකට උදාහරණ කිව්වොත් කතාව බරපතල විදිහට Spoil වීමක් සිදුවන නිසා මම උදාහරණ දක්වන්න උත්සාහ කරන්නෙ නෑ )

ඊළඟට මෙලොඩ්‍රාමාවක ප්‍රධාන වන ලක්ෂණයක් තමයි චරිත. සාමාන්‍යයෙන් එක ම ආකෘතියක නැත්නම් ඒකාකෘත චරිත මේ නාට්‍යවල ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපිට හඳුනාගන්න පුළුවන්. ගුණ යහපත් වීරයා, වීරයාගේ අහිංසක පෙම්වතිය, දුෂ්ටයා මේ නාට්‍යවල මූලික ලක්ෂණ විදිහට දැකගන්න පුළුවන් සහ බොහෝදුරට අළු චරිත වෙනුවට ප්‍රධාන වශයෙන් ම සුදු සහ කළු විදිහට දෙපැත්තට වුණ බෙදුණ චරිත තමයි අපට දැකගන්න පුළුවන් වෙන්නෙ. නමුත් රහසිගත ලිපිගොනු නාට්‍යයේ ඒ විදිහෙ ප්‍රමුඛ බෙදුමක් සහිත චරිත වෙනුවට අපට හමුවන්නෙ අළු චරිත. අළු කිව්වට ඒ අළු පාට කළු පැත්තට බර වීම තියෙනවා කියලයි මම හිතන්නෙ. ඒක නාට්‍යයේ සන්දර්භය විසින් ඉල්ලා සිටින මැදිහත්වීමක් නිසා ඒ චරිත බෙදුම රේඛාවකින් හරියටම බෙදල දෙපැත්තට වෙන් නොකිරීම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට සෞම්‍යගේ චරිතය ආරම්භ වෙන්නෙ අළු චරිතයක් විදිහට සහ අළු පාටින් සුද වෙත එළැඹෙන්න උත්සාහ කරන කෙනෙක් විදිහට. හැබැයි නාට්‍යයේ සන්දර්භය තුළ දි සෞම්‍ය ආයෙමත් තල්ලු වෙන්නෙ අර අළු පාටත් කඩාගෙන කළු පාට පැත්තට විසිවීමෙන්. සරලවම කියනවා නම් හොඳ සහ නරක අතර දෝලනය වෙමින් සිටි සෞම්‍ය හොඳ පැත්තට යන්න උත්සාහ කිරීම නතර වෙන්නෙ අමු නරක නැතකින්. නමුත් එතන යම් හොඳක් නැත්තෙමත් නෑ.

සමාධිගෙ චරිතය සුදු චරිතයක් විදිහට අරගෙන ආවත් ටිකෙන් ටික නැවත අර කියන රේඛාව බිඳගෙන අළු චරිතයක් දක්වා යන විදිහ අපිට දැකගන්න පුළුවන්. ලක්රංගත් කළු චරිතයක ඉඳලා අළු චරිතයක් දක්වා යන්නෙ සෙල්ලක්කාර චරිතයක් මානුෂීය තැනකට අරන් එන ගමන්. ඒ විදිහෙ ප්‍රධාන චරිත සියල්ලම මේ කළු සහ සුදු අතර අතරමැද තැනක දෝලනය වෙනවා. ඒ නිසා ප්‍රධාන සුදු කළු දෙබෙදුම මේ නාට්‍යයේ ලක්ෂණයක් විදිහට පවතින්නෙ නෑ. නමුත් ඒක එහෙම නොපැවතීමම තමයි නාට්‍යයේ සාර්ථකත්වයත්. ඒ සාම්ප්‍රදායික සංලක්ෂණය බිඳ දැම්මෙ නැත්නම් මේ නාට්‍යය මේ තරම් සාර්ථකත්වයකට ගමන් කරයි කියලා මම හිතන්නෙ නෑ.

මේ ප්‍රධාන චරිතවලට අමතරව දකින්න ලැබෙන යෝජිත අමතර චරිත කිහිපයක් මෙලොඩ්‍රාමා ශානරයේ නාට්‍යවල දැකගන්න පුළුවන්. ඒ යටහත්පහත් සේවකයා, විකට චරිත, වගේ අය. මේ කියන ලක්ෂණත් බොහෝදුරට මේ නාට්‍යයේ අන්තර්ගතයි. ඒ නිසා ඒ ලක්ෂණය සහිතව මේ කතාවේ ගලායෑමට හානියක් නොවන එක්කිරීමක් කරලා ෆර්ඩිනෑන්ඩෝ විසින් කරලා තියෙනවා. මේ විකට චරිත ගැන මට විවේචනයක් තියෙනවා. මම ඒක විස්තර සහිතව කතාව සම්බන්ධයෙන් ලියද්දි ලියන නිසා දැකට මේ ලක්ෂණය ගැන ලිවීම නවත්වනවා.

සාමාන්‍ය නාට්‍යවලට සාපේක්ෂව ආලෝකකරණය සහ සංගීතය හැඟීම් සහ චරිතවල ඇතුළාන්තය හෙළිකිරීමේ මාධ්‍යයක් විදිහට යොදාගැනීම කියන ලක්ෂණය ඉතා ම හොඳින් මේ නාට්‍යයේ අන්තර්ගතයි. සාමාන්‍යයෙන් ලංකාවෙ නාට්‍ය කරුවන් නොසලකා හරින Lighting සහ Music වඩාත් තීව්‍ර විදිහට රහසිගත ලිපිගොනු නාට්‍යයේදි දැකගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය නාට්‍යය සමඟ බද්ධ වෙන්නෙ සහ ඒ හැඟීම් වඩාත් හොඳින් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නෙ මේ අනු අංග එක්ක. ඒ නිසා මම හිතන්නෙ ඒ අංග දෙකටම ප්‍රමුඛ වගකීමක් තිබුණා වගේ ම ඒ අංශ දෙකම ඒ වගකීම ප්‍රශස්තව ඉටු කරලා තිබුණා. විශේෂයෙන් ම සමාධි සහ සෞම්‍ය අතර සිද්ධ වෙන පෙර සඳහන් කළ ගැටුම අවසානයේ සමාධියේ චරිතය සම්පූර්ණයෙන් ම නිරාවරණය වෙන්නෙ Lights සහ Music මත. ඒක ඉතාම දක්ෂ නාට්‍ය රූපයක් වේදිකාව මත මවනවා.

• තේමාව සහ රහසිගත ලිපිගොනු

සාමාන්‍යයෙන් මෙලොඩ්‍රාමා ශානරයේ නාට්‍යයක් සඳහා භාවිතා කරන්නෙ චිත්තවේගීය ගැටුම් සහිත අවස්ථා බහුල සහ අන්තර්පුද්ගල ගැටුම් සහිත නාට්‍යමය බව සහ සංවේදී කතාවස්තුවක් සහිත තේමාවක්. ඒ වගේ ම පවුල මූලික කරගත් ආදරය, පවුල් ගැටුම් වගේ කරුණු ඉලිප්පෙන කතා කීම මෙලොඩ්‍රාමාවල ස්වභාවය. විශේෂයෙන් සංකීර්ණ සහ විකෘති ( සදාචාරය තුළ ) ආදර හා අනෙකුත් සම්බන්ධතා, දරු දෙමාපිය ගැටුම්, ආදරවන්තයන් අතර ගැටුම්, චිත්තවේගීමය උච්ච අවස්ථා මෙලොඩ්‍රාමා තුළ සාමාන්‍යයෙන් භාවිතා වෙනවා. රහසිගත ලිපිගොනු නාට්‍යයේ තේමාව 100 % අදාළ රාමුව තුළමයි ලියවිලා තියෙන්නෙ. ඒ කියන්නෙ මම මේ කිව්ව ලක්ෂණ සියල්ල ඒ විදිහටම නාට්‍ය තුළ අන්තර්ගතයි. පවුල, ආදරය, අහිමිය ආදී තේමා එක්ක සම්බන්ධතාවල සංකීර්ණතාව වගේ කාරණා එක්ක මේ තේමාව ඔස්සේ අපිව ඉතාම හොඳ ඩ්‍රැමටික් ට්‍රිප් එකක් අරගෙන යනවා. මම හිතන්නෙ මේක හොඳ මෙලොඩ්‍රැමටික් වැඩක් වෙන්නෙ ඒ කරුණු මත. මේක සම්පූර්ණයෙන් ම බොහෝදුරට අර කියල මෙලොඩ්‍රාමා කියන Stucture එකේ තදින් ස්ථානගත වෙලා තියෙනවා. සෞම්‍ය සහ දරුවෝ, සෞම්‍ය සහ බිරිඳ, සෞම්‍ය සහ අසල්වැසියන් මේ කියන සම්බන්ධතා වියරුවේ කොටස්කරුවන් වෙනවා.

ඊළඟ විශේෂ දේ තමයි මේ කියන මෙලොඩ්‍රැමටික් ස්ට්‍රක්චර් එක ලංකාවට මුසු කිරීම. මේක ඉතා ම සියුම් වැඩක්. නමුත් ඒක ඉතාම සාර්ථකව නාට්‍යය තුළ සිද්ධ වෙනවා. විශේෂයෙන් ම ආගම, කලාව වගේ කරුණුවලදි බුද්ධාගම නම් ප්‍රමුඛ ආගම සහ පූජනීයත්වයට පත් කර තිබෙන ලිවීම කියන සන්දර්භවලට එළඹෙන විදිහ මරු. සහ විශේෂයෙන් ම රූපවාහිනිය සහ රියැලිටිය තුළටත් හෙමින් එළැඹීමත්, මේ සමස්ත නාට්‍යය තුළ ලංකාවෙ දකින්න ලැබෙන විශ්වාස පාවිච්චි කරමින් විශේෂයෙන් මරණය සහ ආත්මය සම්බන්ධව අපි දක්වන මතය වගේ දේවල් තුළින් මේ නාට්‍යය ශ්‍රී ලාංකේය ග්‍රැමර් එකක් සහිතව සහ අර මෙලොඩ්‍රාමා ස්ට්‍රක්ස්චර් එක බිඳින්නෙ නැතුව අරගෙන එන විදිහ ඉතා ම සාර්ථකයි.

මම මේ නාට්‍යය Musical Melodrama නැත්නම් සංගීතමය අතිනාටකයක් කියලා ශානරගත කරන එකට විරුද්ධයි. හේතුව මේක Domestic Melodrama, Gothic Melodrama, Social and Political Melodrama කියන ශානර ඔස්සේ උඩ පහළ යමින් ගමන් කරන නිසා. ඒ නිසා මේක Melodrama කියලා නම් කරත්, Musical Melodramaවක් නොවන බවයි මගේ මතය.

• රහසිගත ලිපිගොනු මට වැඩ කළේ ඇයි ?

රහසිගත ලිපිගොනු තුළින් එළැඹෙන මනුෂ්‍යයා සහ මනුෂ්‍ය සම්බන්ධතාවල විකෘතිය, කැත, දුගඳ ගහන කුණු කාලකණ්ණිකම සහ කවදාවත් විවෘත නොකළ දොරටු විවර වීමෙන් ඇතිවන කම්පනය කියන කොටස් එක්ක ඉතාම අඳුරු කලාපයක් දක්වා මේ නාට්‍යය අපිව අරගෙන යනවා. විශේෂයෙන් ම සම්බන්ධාවල තියෙන ඒ අඳුර මතු කිරීම වඩාත් සාර්ථක ලෙස නිර්මාණකරුවන් කරන්නෙ නෑ. ඒකට හේතුව තමන් තුළ සැඟවුණු දේවල් ඒ තුළ අන්තර්ගත වෙයි කියල තියෙන බව සහ අවිශ්වාසය. මම හිතන්නෙ ඉන්දික බය නැතුව එතනට පිවිසෙනවා. විශේෂයෙන් ම මේකෙන් ප්‍රධාන වශයෙන් ම ඇඟිල්ල දික්වෙන්නෙ අධ්‍යක්ෂවරයා නියෝජනය කරන සමාජ පන්තියටමයි. ඒ නිසා ඒ වගේ එළැඹුමක් සාර්ථකව කරන්න ගොඩක් වෙලාවට රචකයා පෙළඹෙන්නෙ නෑ. හේතුව තමන් නිරුවත් වෙන්න දක්වන අකමැත්ත සහ බය. නමුත් මේ කියන කාරණයෙන් මිදෙන්න සහ ඒ නිරුවත් කිරීම සාර්ථවක කරන්න අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.

මේ අඳුර පෙන්නීම එක්ක බොහෝවෙලාවට ප්‍රේක්ෂකයා අර්බුදයට යෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නෙ අර නාට්‍යයක් බලන්න ආව ප්‍රේක්ෂකයා ගොඩක් වෙලාවෙට එන්නෙ හිනාවෙලා ගෙදර යන්න වුණාට මේක ඒ විදිහෙ ප්‍රේක්ෂකාගාරය උස්සලා.පොළොවෙ ගහනව. විශේෂයෙන් නාට්‍යයට එළැඹෙන්න ගන්න විනාඩි පහෙන් පස්සෙ ( මම ඒ විනාඩි 05 ට අකමැතියි ) දිගින් දිගටම නාට්‍ය කරුවා අපිව අරගෙන යන්නෙ අඳුරට. ඒ අඳුර විසින් අපිව තූෂ්ණීම්භූත කරනවා. ඒක වඩාත් හොඳින් නාට්‍යයේ අරගෙන ඇවිත් තිබුණා සහ ඒ අඳුරට මම කැමතියි. මොකද එහෙම බය නැතිව නිරුවත් වෙන නාට්‍යයක්, චිත්‍රපටියක් තියා පොතක්වත් ලංකාවෙ දකින්න ලැබෙන්නෙ කලාතුරකින් නිසා.

ඊළඟ කාරණය මේ නාට්‍යය ඉදිරිපත් කරලා තිබුණෙ ස්ත්‍රීමය දෘෂ්ටිකෝණයකින්. ඒක ආරම්භයේදි ඒ තරම් පේන්නෙ නැති වුණත් අර නාට්‍යකරුවා ඒකට එළැඹීම සහ අපිව අරන් යන ට්‍රිප් එක ඇතුළෙදි එයා ස්ත්‍රීමය එළැඹුමකට අරගෙන යනවා. ලංකාවෙ ගොඩක් නිර්මාණ එළිපිට ස්ත්‍රීවාදී බව පෙන්නුවාට ඒවා ඇතුළෙ හැංගිලා කැකෑරෙන්නෙ පිරිමිකම. හැබැයි මේකෙදි නාට්‍යය සම්පූර්ණයෙන් ම ගමන් කරන්නෙ ස්ත්‍රීමය පර්යාවලෝකනයකින්. ලංකාව වගේ රටක ඒ එළැඹුම දුර්ලභයි.

විශේෂයෙන් ම Park chan wook ගේ චිත්‍රපටියක තියෙන Painting වගේ රාමු කිහිපයක් මේකෙදි දෘෂ්‍ය ප්‍රයෝග, Lights වැනි දේවල් උපයෝගී කරගෙන අරගෙන එන විදිහට සහ නාට්‍යයේ අවසානයට මම ඉතාම කැමතියි.

• මතුපිට කොමඩිය සහ ගුළු අඳුර.

කෞශල්‍යා ප්‍රනාන්දු සහ ඇයගේ සැමියාගේ භූමිකාව මේකෙදි අරගෙන එන විදිහ සහ ඒ එළැඹුම ප්‍රශ්නයක් නැති වුණත් එයාලා තුළින් දිගින් දිගටම ගේන්න උත්සාහ කරන මතුපිට කොමඩිය නාට්‍යයේ සමස්ත බර හෑල්ලු කරනවා කියලයි මට හිතෙන්නෙ. ඒක අර වගේ ඉතා ම තදබල අඳුරක ප්‍රේක්ෂකයා පවත්වාගැනීමට හෝ මෙලොඩ්‍රාමාමය සංලක්ෂණ පවත්වාගැනීමට කරපු දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රේක්ෂකාගාරයෙන් ඒ චරිත දෙකට නැගෙන අත්පුඩිය සාර්ථක බවට ඉඟියකුත් වේවි. නමුත් ඒ විදිහෙ මතුපිට ඇවිදයාම තුළින් ඒ නාට්‍යයට යම් හානියක් වෙනවා කියලයි මම හිතන්නෙ.

• සමාජ දේශපාලනය සහ සාරාංශය

මේ තුළින් අරගෙන එන්නෙ ග්‍රාමීය ධනවත් සන්දර්භයක සිට පැමිණ ඉහළ ධනවතුන් බවට පත් වන සිංහල භාෂිත පවුලක්. ඔවුන් ග්‍රාමීය බව සඳහන් කළේ නැතත් ඔවුන් ඒ ඉදිරිපත් කරන සමාජය නියෝජනය කරන්නෙ ඒ ලක්ෂණ. මේ සම්පූර්ණ සන්දර්භය ගැන ම විවේචනාත්මක දෘෂ්ටියක් නාට්‍යකරුවා විසින් අරගෙන එනවා. පවුල, ආගම, සංස්කෘතිය, සම්බන්ධතා, දේශපාලනය සහ සමස්ත ජීවිතයෙම තියෙන උත්ප්‍රාසයයි මේ නාට්‍යයේ කේන්ද්‍රය බවට පත් වෙන්නෙ. මීට අමතරව රූපවාහිනිය සහ මාධ්‍යය ගැනත්, සාහිත්‍යමය වන්දනාව ගැන දරුණු ප්‍රවේශයකුත් එක්ක ඇති – නැති පරතරය සම්බන්ධ කතිකාවතක් යටි පෙළ ඔස්සේ අරගෙන එන්න සමත් වෙලා තියෙනවා. ඊළඟට මේකෙ ප්‍රධාන Key point එක සහ උඩු පෙළ තුළින් අවධානය එල්ල කරන්නෙ මනුෂ්‍යයා සහ ඔහු ජීවත්වෙන පරිසරය විසින් සකස්කරන දෘෂ්‍ටිවාද, සංස්කෘතිය, සභ්‍යත්වය තුළින් ගැලවී වෙන්වීමට නොහැකියාව සහ එසේ කිරීමට උත්සාහ කිරීම තුළ ඇති වන වියරුව. මේ සම්බන්ධ කතිකාව ප්‍රධාන වශයෙන් ම පේන්න තියෙන නිසා ඒ තුළින් ඇතිවෙන ආත්මානුකම්පාව තමයි බොහෝදුරට ප්‍රේක්ෂකයට ආපහු ඇවිත් කිණිස්සක් වගේ වදින්නෙ කියලයි මගේ විශ්වාසය.

සමස්තයක් වශයෙන් රහසිගත ලිපිගොනු කියන්නෙ ඉතාම හොඳ නාට්‍යමය අත්දැකීමක්. සහ ලංකාවෙ සිංහල නාට්‍ය ඇතුළෙ වෙනස් සහ කලාතුරකින් හමුවන නාට්‍යයක් කියල මම හඳුන්වන්න කැමතියි. මම සෞම්‍ය ලියනගේගෙ රංගනයට ඉතා ම කැමතියි. ඒ රංගනය අනිත් රඟපෑම් සියල්ල යටපත් කරන තරම් ප්‍රබලයි කියලයි මම විශ්වාස කරන්නෙ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading