යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට දැඩි ලෙස අවවාද කර ඇප මත මුදාහරී

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකු රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කර තිබේ.

එසේම අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදෙමින් කාලය නාස්ති නොකරන ලෙසත්, නඩුව විභාගයට ගන්නා සෑම දිනකම අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා අදාළ සාක්ෂිකරුට දැඩි ලෙස අවවාද කර තිබේ.

දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකු බව කියන පාලිත ගමගේ නැමැත්තෙක් මෙලෙස මුදා හැර ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකරු විසින් විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබූ ප්‍රකාශවලට පරස්පර කරුණු දැක්වීම හේතුවෙන්, ඔහු පැමිණිල්ලට අහිතකර සාක්ෂිකරුවකු ලෙස නම් කර හරස් ප්‍රශ්න ඇසීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අවසර ඉල්ලා සිටි අතර අධිකරණය ඊට අවසර ලබා දී ඇත.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු ප්‍රකාශ කර ඇත්තේ, තමා ඉඩම් මිලදී ගෙන විකිණීම් ව්‍යාපාරයක් සිදු කරන බවත් මෙම නඩුව සම්බන්ධයෙන් කටඋත්තර දෙකක් ලබා දුන් බවත්ය. එසේම ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ සිටියදී එහි සේවය කළ තරිඳු නැමැත්තෙකුට රජයේ ටෙන්ඩර් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 142 ක් දුන් බවට මුලින් ප්‍රකාශ කළද, පසුව ලබාදුන් තෙවන කටඋත්තරයෙන් එම පූර්ව ප්‍රකාශ අසත්‍ය බව සඳහන් කළ බවයි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, සාක්ෂිකරුගේ මෙම ප්‍රකාශ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි අතර මෙවැනි ක්‍රියාවන්ට ඉඩදීමෙන් අධිකරණ ක්‍රියාවලිය විහිළුවක් වන බවයි. අධිකරණයේ කාලය නාස්ති නොකර නිසි පරිදි සාක්ෂි ලබාදෙන ලෙස විනිසුරුවරයා එහිදී සාක්ෂිකරුට දැඩි ලෙස අවවාද කර තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 02 වන දා දක්වා කල් තබන ලදී.

Author

Related Posts