“අතිපූජනීය පිප්රාවා ස්ථූප වහන්සේගේ ධාතූන් වහන්සේලා වසර 127කට පසු නැවත ඉන්දියාවට වැඩමවීම සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයක් වනු ඇත. මෙම පූජනීය ධාතූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ උතුම් ඉගැන්වීම් සමඟ ඉන්දියාවට ඇති සමීප සබඳතාව ඉස්මතු කරයි. එය අපගේ විශිෂ්ට සංස්කෘතියේ විවිධ අංශ ආරක්ෂා කිරීමට සහ රැක ගැනීමට අපගේ කැපවීම ද විදහා දක්වයි.
පිප්රාවා ධාතූන් වහන්සේලා 1898 දී සොයා ගත්තද, යටත් විජිත සමයේදී ඒවා ඉන්දියාවෙන් ඉවත් කරන ලද බව සිහිපත් කළ යුතුයි. මේ වසර මුලදී ඒවා ජාත්‍යන්තර වෙන්දේසියක ඇතැයි දකින්නට ලැබුණු පසු, අපි ඒවා නැවත නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කළෙමු. මෙම ප්‍රයත්නයට සම්බන්ධ වූ සැමට මම ස්තූතිවන්ත වෙමි.‘
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජුලි 30 වැනිදා ට්විටර්/එක්ස් පණිවිඩයකින් එසේ කියා තිබුණා. මෙසේ ඔහු විස්තර කර තිබුණේ ඉන්දීය රජය විසින් වසර 127කට පසුව තමන්ගේ රටට ගෙන්වාගත් බෞද්ධ ස්ථූපයකට අයත් පුරාණ මැණික් ධාතු තොගයක් පිළිබඳයි.
ඉන්දියාව සාර්ථකව නැවත මෙරටට ගෙන්වා ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම මැණික් ධාතූන් වහන්සේලා ලෙස විශ්වාස කරන අතර ඒවා සහ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු අතර සම්බන්ධයක් ඇති බවත් විශ්වාස කෙරෙනවා.
මේ ධාතූන් වහන්සේලා ඉන්දියාවට ගෙන්වාගැනීමේදී ඉන්දීය රජය හොංකොංහි පැවති මැණික් වෙන්දේසියක් නතර කිරීමට කටයුතු කර තිබුණා. වෙන්දේසිය නතර කර මාස දෙකකට පසු මේව නැවත ඉන්දියාවට ගෙන්වාගැනීමට සමත් වුණා.

මැයි මාසයේදී ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය විසින් හොංකොං හි Sotheby’s වෙන්දේසි ආයතනයට එරෙහිව “සංස්කෘතික උරුම නීති උල්ලංඝනය කිරීම්” සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. ඒ මෙම ධාතු වෙන්දේසි කිරීමට උත්සාහ කළ නිසායි. එයට එරෙහිව ඉන්දීය සහ හොංකොං අධිකරණවල සහ ජාත්‍යන්තර ආයතන හරහා නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කිරීමෙන් පසුව, Sotheby’s විසින් මෙම මැණික් විකිණීම කල් දැමුවා.
ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය කියා තිබෙන්නේ මෙම වටිනා කෞතුක වස්තු විශේෂ උත්සවයකදී විධිමත් ලෙස එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි. පසුව මහජන ප්‍රදර්ශනය සඳහා තබන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
මෙම මැණික් හොංකොංවලින් මැණික් මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය සහ ගෝඩ්රෙජ් ඉන්ඩස්ට්‍රීස් සමූහය (Godrej Industries Group) එක්ව කටයුතු කර තිබුණා. ඒ අනුව මෙය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වයකිනුයි සිදු කර තිබුණේ.
වඩාත් ආකර්ෂණීය කතාව වනුයේ මෙම මැණික් ඉන්දියාවේ සිට විදේශගත වුණේ කෙලෙසද යන්නයි. මෙය
බ්‍රිතාන්‍ය යටත් විජිත ඉඩම් හිමියෙකු වූ විලියම් ක්ලැක්ස්ටන් පෙප්පේ (William Claxton Peppé) ගේ පරම්පරාවෙන් පැවත එන තිදෙනෙකු විසින් අලෙවි කර තිබුණා. පේප්පේ 1898 දී උතුරු ඉන්දියාවේ පිහිටි තමන්ගේ වතුයායෙන් මෙම මැණික් සොයාගෙන තිබුණා. වඩාත් නිවැරදිව කීවොත් යටත්විජිත ඉඩම් හිමියෙකු ලෙස තමන් අල්ලාගත් වතුයායේ තිබුණු ස්ථූපයක නටඹුන් විනාශ කර මේ මැණික් ලබාගෙන තිබුණා. ඒ අනුව මෙය අවුරුදු 127ක් පැරණි කොල්ලයකින් ගත් දේපළක් යළි ගෙන්වාගැනීමක් ලෙස හැඳින්විය හැකියි. එහෙත් එකල එවැනි මංකොල්ල නිත්‍යානුකූල කර තිබුණා. ඉන්දීය නිධන් පනත නම් 1878 සම්මත වූ පනත අනුව තැන්පත් කිරීම නිත්‍යානුකූල වුණා.
මේ මැණික් වෙන්දේසිය ගැන ඉන්දියාවේ සහ ලෝකයේ බෞද්ධ නායකයනගෙන් සහ බැතිමතුන්ගෙන් විශාල විරෝධයක් එල්ල වුණා.
හොංකොං ඩොලර් මිලියන 100කට (බ්‍රිතාන්‍ය පවුම් මිලියන 9.7ක්) පමණ මුදලකට වෙන්දේසියේදී අලෙවි වනු ඇතැයි අපේකෂා කළ වටිනා මැණික් ගල් 334 ක් ඒ අතර තිබුණා. ඊට අමතරව ඇමතීස්ට්, කොරල්, ගානට්, මුතු, පාෂාණ ස්ඵටික, කවච සහ රන් ඇතුළත් වන අතර ඒවා පෙන්ඩන්ට්, පබළු යනාදී අමුද්‍රව්‍ය යොදාගත් ආභරණද ඒ අතර පැවතුණා.
මෙහි අතීත කතාව ක්‍රිස්තු පූර්ව 240-200 කාලය දක්වා දිවෙනවා. එකල පිප්රාවාහි ස්ථූපයක මෙම මැණික් තැන්පත් කර තිබුණා. බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සමඟ මිශ්‍ර කරමින් මෙම ධාතු තැන්පත් කර තිබුණු බව පුරාවෘත්ත අනුව සලකනවා. බෞද්ධ රජෙකු වූ චූලාලොංකෝන් රජුට මෙම ස්ථූපයෙන් හමු වූ අස්ථිමය සහ අළු වශයෙන් පැවති ධාතු කොටස් ලබා දී තිබුණා. මැණික්වලින් කොටසක් කල්කටාවේ ඉන්දීය කෞතුකාගාරයට ලබා දුන්නා. උඩින් කී නිධන් පනතේ නීතිරීති අනුව ඉඩමේ අයිතිකාරයා ලෙස පෙප්පේ මැණික්වලින් පහෙන් එකක් අත්පත් කරගෙන තිබුණා.
Sotheby’s ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වූයේ ඉන්දියාවට මැණික් ඓතිහාසික ලෙස නැවත භාරදීම පහසු කිරීම පිළිබඳව ඔවුන් සතුටු වන බව. “මැණික් සඳහා හොඳම භාරකරු හඳුනා ගැනීමට පසුගිය මාස දෙක තුළ අප කළ සක්‍රීය සෙවීම මෙයින් සම්පූර්ණ වේ. මෙම මැණික් මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරි වසර ගණනාව පුරාම ඉන්දියාවේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීම, මෙම විකිණීම අවසන් කිරීම සඳහා පෙප්පේ පවුල, ගැනුම්කරු සහ ඉන්දීය රජය සමඟ අපගේ සමීප සහයෝගීතාවයේ කූටප්‍රාප්තියයි” යනුවෙන් ඔවුන් නිවේදනය කළා.
ගෝද්‍රෙජ් ඉන්ඩස්ට්‍රීස් සමූහයේ විධායක උප සභාපති පිරෝෂා ගෝද්‍රෙජ් (Pirojsha Godrej) කීවේ, මෙම මැණික් හුදෙක් කෞතුක භාණ්ඩ නොවන බව. ඒවා සාමය, දයාව සහ මනුෂ්‍යත්වයේ පොදු උරුමයෙහි සදාකාලික සංකේත බව.
මේ කතාව එක් පැත්තකින් යටත් විජිතවාදය ගැන යළි සිහිපත් කරවීමක්. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ බෞද්ධ උරුමය ගැන සිහිගැන්වීමක්. බෞද්ධ ධර්මය සහ බුදුන් වහන්සේගේ උරුමය යනු කිසිවිටෙක වෛරය හෝ ක්‍රෝධය අවුළුවන්නේ නැති ඉගැන්වීම් ලෙස ලොව හැමතැනම පිළිගැනෙනවා. ඇත්තෙන්ම සියල්ලන්ගේ ගෞරවයට ලක් වෙනවා. බෞද්ධයන් බහුතරයක් සිටින රටක් ලෙස ආගම් භේදයක් නැතිව ලොවපුරා සිටින සියල්ලන්ගේ ගරු බුහුමන් අදටත් ලබන දෙවියෙකු නොවන මනුෂ්‍යයෙකුගෙන් එන දහමක බර අපේ කර මත රැඳී තිබෙනවා. ඒ ධර්මය රකිනවායැයි මිනීමැරීම හෝ වෛරය පැතිරවීම වෙනුවට ඒ ධර්මයෙහි සැබෑ උරුමය රැකීමේ වැදගත්කම මෙවැනි සිදුවීම්වලින් හෙළි වෙනවා.
