අපයෝජනය වූ දරුවන් මාධ්‍ය විසින් යළි අපයෝජනය කරනවා ද ?

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ

හිංසනයට හා අපයෝජනයට ලක් වූ ළමයින් පිළිබඳ පුවත් වාර්තා කිරීමේ දී ඔවුන් ජනමාධ්‍ය තුළ ආත්මීය වශයෙන් යළිත් වරක් හිංසනයටත් අපයෝජනයටත් ලක්වන්නේ යැයි කියැවෙන අදහසක් සමාජය තුළ පවතී. වාර්තාකරණයේ දී උපයුක්ත ජනමාධ්‍ය නීති සහ ආචාරධර්මවලට ගරු කරන්නන් වශයෙන් අප සැම ඉහත අදහස නිර්මාණය වීමට බලපාන ලද පසුබිම විමර්ශනය කළ යුතු ය. මෙහි දී මෙවැනි අදහස් අහේතුකව නිර්මාණය වන බව පෙනී යන්නේ නම් එමඟින් ජනමාධ්‍යයට එල්ල වන චෝදනා බැහැර කරමින් අපට සුපුරුදු ලෙස කටයුතු කළ හැකිය. නමුත් ඉහත අදහස ඔස්සේ එල්ල වන චෝදනාවන්හි යම් සත්‍යතාවක් පවතින බව පෙනී යන්නේ නම් අප වහ වහා එකී චෝදනාවලින් මිදීමට කටයුතු කළ යුතුය. එනම් සමාජය තුළ හිංසනයට ලක් වූවන් නැවත වරක් ජනමාධ්‍ය තුළ ද හිංසනයට ලක් වන්නේ යැයි පවතින චෝදනාව නිවැරදි කිරීම උදෙසා කැපවිය යුතු ය.

ළමයින් සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් ළමයින්ට අනර්ථයක් සිදු නො කිරීමේ මූලධර්මය මත පිහිටා ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් ය. ළමයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ලිංගික හිංසනය, පැහැරගෙන යෑම, ළමා ලිංගික අපයෝජන සහ දැඩි අසභ්‍යත්වය, සූරා කෑම, ළමා හිංසනය, ළමයා කෙරෙහි එල්ල වන දිගු කාලීන මානසික හිංසනය හා පීඩා යනාදිය ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේ දී වින්දිතභාවය ට පත් ළමයින්ට අනර්ථයක් සිදු නොවන ආකාරයටත් ඔවුන්ට වාර්තාකරණය මඟින් නැවත වතාවක් හිංසනයක් සිදු නොවන ආකාරයටත් වාර්තා කිරීමට මාධ්‍යවේදීන් වග බලා ගත යුතු බව ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සහ වෙනයම් නෛතික සංග්‍රහයන්වල සඳහන් ව ඇත.

ඒ අනුව මාධ්‍යවේදීන් ළමයින් පිළිබඳ තොරතුරු හා සිදුවීම් වාර්තා කිරීමේ දී ළමයින්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බව කියැවෙන නෛතික ලියවිලි කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

  • ළමා අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (1991)
  • ශ්‍රී ලංකා ළමා ප්‍රඥප්තිය (2003)
  • දණ්ඩ නීති සංග්‍රහය (ලිංගික අපයෝජන සූරාකෑම්)
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාර්ගෝපදේශ  
  • 2015 අංක 04 අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත
  • පුවත්පත් කලාවේ දී ආචාරධර්ම – ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත 1973 අංක 05
  • ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ආචාරධර්ම

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් 1994 දී සම්පාදිත වෙළෙඳ සේවයේ ව්‍යාපාර මෙහෙයුම් නීතිරීති සංග්‍රහයේ ළමා වැඩසටහන් නිෂ්පාදනයේ දී අනුගමනය කළ යුතු ආචාරධර්මීය පිළිවෙත් සම්බන්ධයෙන් දක්වා ඇත. එමෙන්ම ළමයින් සඳහා ගුවන් විදුලි වැඩසටහන් පිටපත් රචනා කිරීමේ දී අනුගමනය කළ යුතු නියමයන් රාශියක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ. මීට අමතරව ළමයින් වෙළෙද දැන්වීම් සඳහා යොදා ගැනීමේ දී බලපානු ලබන නියමයන් රාශියක් පිළිබඳව ද ව්‍යාපාර මෙහෙයුම් නීතිරීති සංග්‍රහය මඟින් අවධානය යොමු කර ඇත. එමෙන්ම ජාතික රූපවාහිනිය මගින් සම්පාදනය කර ඇති වෙළෙඳ දැන්වීම සම්බන්ධ ප්‍රමිති සංග්‍රහයේ ද ළමයින් රූපවාහිනි දැන්වීම්වලට යොදා ගැනීමේ ආචාරධර්මීය පසුබිම විස්තර කර ඇති ආකාරය දැක ගත හැකිය.

වර්ෂ 2001- 2004 කාලපරිච්ඡේදයේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය විසින් මෙරට ජනමාධ්‍ය සඳහා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනු ලැබීය. එහි එක් වගන්තියකින් ළමා අයිතීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

ළමා අයිතීන් සුරක්ෂිත කිරීමට හා ළමා පෞරුෂය මනා ලෙස සංවර්ධනය වීමට තුඩු දෙන උත්තම ගණයේ මාධ්‍ය භාවිතයක් කරා මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට මග පෙන්වීම යනුවෙන් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියෙහි සඳහන් කර ඇත්තේ මාධ්‍ය වාර්තාකරණයේ දී ළමයින්ගේ යහපත උපරිම ආකාරයෙන් සුරැකෙන පරිදි ළමයින්ට කිසිදු ආකාරයක හානියක් නොවන පරිදි වාර්තා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි.

ඉහතින් දක්වන ලද කරුණු මඟින් පැහැදිලි වන්නේ ළමයින් සම්බන්ධ තොරතුරු වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ගැන සඳහන් නීතිරීති සහ ආචාරධර්ම කොතෙකුත් ඇති බවයි. නමුත් ළමයින් පිළිබඳ සිදුවීම් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන අත්තනෝමතිකව ක්‍රියා කරන්නේ පවත්නා නීති හා ආචාරධර්ම ප්‍රමාණවත් නොවන නිසා බව ඇතැම් පාර්ශ්ව චෝදනා කරති. ඔවුන්ගේ අදහස වන්නේ වාර්තාකරණය සම්බන්ධයෙන් තව තවත් නව නීති අවශ්‍ය වන බවයි.

නමුත් ළමයින් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් පවත්නා නීතිරීති හා ආචාරධර්ම ප්‍රමාණවත් බව මාගේ හැඟීමයි. එහෙත් මේවා පිළිබඳ ව මාධ්‍යවේදීන් කෙතරම් දුරට දැනුවත් ද යන්න විමසා බැලිය යුතු ය. නෛතික දැනුවත්භාවය වාර්තාකරණයේ දී අත්‍යවශ්‍ය වූවකි. එබැවින් අප පළමුව කළ යුතු වන්නේ මාධ්‍ය නීති හා ආචාරධර්ම පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුම්වත් කරමින් සවිබල ගැන්වීමයි.

ළමයින් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ දී මාධ්‍යවේදියාගේ වගකීම හා සැලකිල්ලෙන් වාර්තා කිරීම පිළිබඳව ඔවුන් දැනුම්වත් කළ යුතුය. වාර්තාකරණයේ දී අනෙකාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමන් කැපවිය යුත්තේ කෙසේ ද යන හැඟීම මාධ්‍යවේදීන් තුළ රෝපණය කිරීම කාලීන අවශ්‍යතාවකි. එසේම එය අප සැමගේ ද වගකීමකි. සදාචාරාත්මක සංවේදී බවක් සහිත ව වාර්තාකරණයට යොමු වීමේ අවශ්‍යතාව මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කිරීම ද කාලීන අවශ්‍යතාවක් වශයෙන් පැන නැඟුණකි.

නූතන මාධ්‍ය අන්තර්ගතයන් පිරික්සීමේ දී ළමයින්, කාන්තාවන් මෙන්ම අපරාධ ම ය සිදුවීම් වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් අතින් සිදු වන අනෛතික සහ ආචාරධර්ම විරෝධී ක්‍රියාවන් කිහිපයක් හඳුනාගත හැකිය.

  • වින්දිතභාවයට පත් වූවන්ගේ පසුබිම් විස්තර සහ අනන්‍යතාව හෙළි කිරීම.
  • වින්දිතභාවයට පත් වූවන්ගේ මෘත ශරීර සහ වින්දිතභාවයට පත්වූවන්ගේ ලේ වැගිරෙන, ඔවුන් අඬා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට, ඡායාරූප වැනි දෑ භාවිත කිරීම.
  • වින්දිතභාවයට පත් වූවන්ගේ ඥාතීන් සහ සමීපතමයන්ගේ නිදහස, අභිමානය, අනන්‍යතාව විනාශ වන අයුරින් තොරතුරු වාර්තා කිරීම.
  • නිවැරැදි තොරතුරු මුලාශ්‍රවලින් නො විමසා ඒක පාර්ශ්වීයව අත්තනෝමතික අයුරින් වාර්තා කිරීම.
  • මාධ්‍යවේදීන් විනිශ්චයකරුවන් සේ කටයුතු කරමින් සිදුවීමට අදාළ තීන්දු ලබා දෙමින් තොරතුරු වාර්තා කිරීම.
  • සිදුවීමට අදාළව සිදුවන පොලිස් පරීක්‍ෂණ වලට බාධා වන අයුරින් සහ සාක්ෂි විනාශ වන අයුරින් තොරතුරු වාර්තා කිරීම.
  • උද්වේගකර ආකාරයෙන් සිදුවීම වාර්තා කිරීම.
  • පොලිස් සහ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණවලට පෙර අනුමාන ගොඩනැගෙමින් සිදුවීම පිළිබඳ වාර්තා කිරීම්.  ලිංගික හිංසනය, ස්ත්‍රී දූෂණය, මරණය ආදී ක්‍රියාවන් උත්කර්ෂයට නංවමින් වාර්තා කිරීම.
  • අපරාධකරුවන්ට වීරත්වයක් ලැබෙන පරිදි ඔවුන් මොළ කරුවන්, රජුන්, සැලසුම්කරුවන් ලෙස ඉස්මතු කර දක්වමින් වාර්තා කිරීම.

මාධ්‍යවේදියා සිය වාර්තාකරණ කාර්යයේ දී කිසිවකුට අනර්ථයක් සිදු නො කිරීමේ මූලධර්මය මත පිහිටා කටයුතු කරන්නේ නම් තමන් අතින් අනෛතික හෝ ආචාරධර්ම විරෝධී කිසිවක් නො ලියැවෙනු ඇත. එබැවින් දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ මාධ්‍යවේදියා සිය වාර්තාකරණය තුළින් කිසිවකුට අනර්ථයක් සිදු නො කරන පෞරුෂයක් හෙබි මාධ්‍යවේදියකු බවට පත් කර ගැනීමේ කාර්යයයි. මේ සඳහා වෘත්තීමය මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩ නැංවීම කාලීන අවශ්‍යතාවකි.

වාර්තාකරණයේ දී ළමා සහ කාන්තා ආරක්ෂණය තහවුරු කෙරෙන මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැංවිය හැක්කේ කෙසේ ද යන්න පුළුල් ව සහ ගැඹුරින් විමර්ශනයක් කර බැලිය යුතු තත්ත්වයකි. එවැනි මාධ්‍ය සංස්කෘතියක්, මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩ නැංවීම මාධ්‍ය කර්මාන්තයට සම්බන්ධ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන්, අනුග්‍රාහකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍ය පර්යේෂකයන් සහ විද්වතුන් යනාදී සියලු පාර්ශ්ව කරුවන්ගේ එකතුවෙන් පමණක් සිදු කළ හැකි දෙයකි.

වෘත්තීය මාධ්‍යවේදියෙක් නිර්මාණය වන පරිදි මාධ්‍ය වෘත්තිකත්වය දියුණු කිරීම, ප්‍රජා ආරක්ෂණය පිණිස අනර්ථකාරී හැඟීමෙන් තොරව තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදියෙක් බිහි කිරීමේ එක් පියවරකි.

ළමා හිංසනයට අදාළ සිදුවීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවත්නා නීති හා ආචාරධර්ම සමාලෝචනය කරමින් මාධ්‍යවේදීන් දැනුමෙන් සර්ව බල ගැන්වීම අනර්ථකාරී නොවන වාර්තාකරණයක් ඇති කිරීම උදෙසා ඉවහල් විය හැකි තවත් පියවරකි. මේ සඳහා මාධ්‍යවේදියාගේ අධ්‍යාපනය හා පුහුණු අවස්ථා පුළුල් කළ යුතු ය. මාධ්‍යවේදීන් අධ්‍යාපනයෙන් හා පුහුණුවෙන් යුතු පිරිසක් බවට පත් කිරීම මාධ්‍ය වෘත්තිකත්වයේ ප්‍රධාන අංගයකි.

වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් තුළ සදාචාරාත්මක සංවේදී බවක් ඇති කිරීම අනර්ථකාරී හැඟීමකින් තොර වාර්තාකරණයක් පිණිස ඉවහල් කර ගත හැකි ය. නොයෙක් අපරාධ හා හිංසන ක්‍රියාකාරකම්වල වින්දිතයන් අලෙවි භාණ්ඩයක් නොව ඔවුන් ද අපගේ සමීපතමයන් ය යන මනෝභාවයෙන් ඔවුන් දෙස බැලීමට මාධ්‍යවේදියා යොමු කිරීම මඟින් ඔහුගේ වාර්තාකරණයෙන් සිදු වන විනාශකාරී අගතිය වළක්වා ගැනීමට හැකි වනු ඇත. වින්දිතයන් අපගේ ඥාතීන් වැනිය. අපගේ මිතුරන් වැනිය. වින්දිත බවට පත් වීම යනු සියල්ල අහිමි වී ගිය අසරණ තත්ත්වයකි යන මනෝභාවයෙන් වින්දිතයා වෙත ප්‍රවේශ වීම මාධ්‍යවේදියා අනර්ථකාරී හැඟීමෙන් යුතු වාර්තාකරණයෙන් බැහැරවීම පිණිස හේතු වනු ඇත.

මාධ්‍ය නීති, ආචාරධර්ම තිබූ පමණින් අනර්ථකාරී නොවන සමාජ යහපත ආරක්ෂා වන වාර්තාකරණයක් බිහි නොවේ. මේ සඳහා අවශ්‍ය වන්නේ වෘත්තීය හැකියාවන් හා මානුෂීය ගුණධර්මවලින් හෙබි මාධ්‍යවේදියෙකි. මාධ්‍ය කර්මාන්තයකි. ළමා හිමිකම්, කාන්තා හිමිකම් පමණක් නොව සමස්ත මානව වර්ගයාගේම පරම යහපත සැලසෙන්නේ මාධ්‍ය වෘත්තිකත්වය සහ මනුෂ්‍යත්වය සමබර ව පවත්වාගෙන යා හැකි මාධ්‍යවේදීන්ගේ, මාධ්‍ය හිමිකරුවන්ගේ දායකත්වයෙන් පමණි.

අද ‘මව්බිම’ පුවත්පත වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ ලියූ ලිපියකි.

Author

Related Posts