2025 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාව තුළ සිදු වූ සෘජු විදේශ ආයෝජන ගලා ඒම් 2024 වසරට සාපේක්ෂව 101% ක කැපී පෙනෙන වැඩිවීමක් වාර්තා කර ඇති අතර, එය ඩොලර් මිලියන 507 ඉක්මවන බවයි ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව වාර්තා වන්නේ.
2024 වර්ෂයේ එම කාලය තුළ ඩොලර් මිලියන 252 ක් ලෙස සටහන් වූ මෙම සෘජ්‍ර විදේශ ආයෝජන ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉකුත් වර්ෂ කිහිපය හා සාපේක්ෂව මෙම වසර තුළ ශක්තිමත් හා ස්ථාවර ලෙස පිබිදීම හරහා පෙනී යන්නේ, ශ්‍රී ලංකාව මෑත කාලීන ව සිදුකරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හා ආයෝජන සඳහා සකසා ඇති හිතකර වටපිටාව ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා උපකාර වී ඇති බවයි.
කෙසේ නමුත්, 2025 වර්ෂයේ මෙම කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ඩොලර් මිලියන 569 ක ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකමක් සහිත නව ව්‍යාපෘති 57 ක් අනුමත කර ඇති අතර, එයින් ඩොලර් මිලියන 320 ක් පමණ විදේශ ආයෝජන වන බවයි ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ.
මෙම ව්‍යාපෘති අතර, greenfield ventures ව්‍යාපෘති (නව පහසුකම් සහ යටිතල පහසුකම් ඉදිකිරීම් ආශ්‍රිත ව්‍යාපෘති) 31 ක් හා පවතින ව්‍යවසායකත්ව ව්‍යාපාර පුළුල් කිරීම සඳහා වන ව්‍යාපෘති 26 ක් ද ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත්, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීම හරහා රැකියා අවස්ථා 14,000 කට වඩා නිර්මාණය වනු ඇති බවට අපේත්ෂා කරන අතර, එය ඍජුව ම මෙරට ආර්ථික වර්ධනයට බලපානු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලබනවා.
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසන්නේ, ගෝලීය ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීම හා දේශීය වශයෙන් ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම් යන කරුණු ද්විත්වය සඳහා ම සෘජු විදේශ ආයෝජන ගලා ඒම්වල කැපී පෙනෙන වර්ධනීය ක්‍රියාකාරිත්වය හේතු වූ බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “සෘජු විදේශ ආයෝජනයන් හි අඛණ්ඩ වැඩිවීම හරහා පෙන්නුම් කරන්නේ ගෝලීය ආයෝජක ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය පිළිබඳ ව විශ්වාසය වර්ධනය වීම බවත්, නව ප්‍රතිපත්ති රාමු සකස් කිරීම්, විධිමත් පහසුකම් සැපයීමේ ක්‍රියාවලීන් සහ යහපාලනය හරහා වැඩිදියුණු කළ ආයෝජක විශ්වාසය තවදුරටත් රඳවා පවත්වා ගනිමින්, ආයෝජක අවශ්‍යතා සක්‍රීයව සපුරාලමින් ශ්‍රී ලංකාව තිරසාර ආයෝජන සඳහා ආකර්ශනීය මධ්‍යස්ථානයක් ලෙස පවතින බව සහතික කරන බවත් ය.”
වරාය සංවර්ධනය, නිෂ්පාදන, සංචාරක සහ ආගන්තුක සත්කාර සහ කලාපීය මධ්‍යස්ථාන මෙහෙයුම් වැනි සේවා ආශ්‍රිත අංශවල කැපී පෙනෙන පරිදි මෙම විදෙස් ආයෝජනවල වර්ධනය දැකගත හැකි අතර, මෑත කාලීන ව වඩාත් බලපෑම් සහගත ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සංවිධානය කර ඇති බව ද අපට දැකගත හැකි වනවා.
කෙසේ නමුත් මෙම තත්ත්වය දකුණු ආසියාවේ තරගකාරී ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව සතු ආකර්ෂණීය බව නැවත නැවතත් තහවුරු කරන අතර, මෙරට මෑත කාලීන ව මුහුණ දුන් ආර්ථික බංකොලොත් භාවයෙන් නැවත අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම සඳහා මෙසේ රජය විසින් ගනු ලබන ඉලක්ක ගත ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ ආයෝජක පහසුකම් සහ ශක්තිමත් පාලන යාන්ත්‍රණයන් ප්‍රමුඛ ලෙස ම බලපෑම් සිදු කරනු ලබනවා.
කෙසේ නමුත් ඍජු විදේශ ආයෝජන හා සමගාමීව ම දේශීය ආයෝජක ක්‍රියාකාරකම් ද ශක්තිමත් වෙමින් පවතින අතර, 2025 වසරේ මුල් මාස හය තුළ දේශීය ආයෝජන ඩොලර් මිලියන 285 ක් ලෙස සනිටුහන් වූ බවයි සඳහන් වන්නේ. එය 2024 වසරට සාපේක්ෂව 13% ක වැඩිවීමක් ලෙස දැක්විය හැකි අතර, මෙම වැඩි වීම හරහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ ව්‍යාපාර අතර මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වන විශ්වාසය ද පිළිබිඹු වන බවයි සැලකෙන්නේ.
ආයෝජන මණ්ඩලයේ ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය හා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ සභාපතිත්වයෙන් යුත් ආයෝජක පහසුකම් සම්බන්ධීකරණ කමිටුව නැවත සක්‍රීය කිරීම හරහා ආයෝජන ක්‍රියා පටිපාටි විධිමත් කර ඇති අතර, ආයෝජක ගැටළු විසඳීම සඳහා වේගවත් විසඳුම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. .
කෙසේ නමුත්, ආයෝජක සේවා සැපයීම සඳහා ඩිජිටල් වේදිකා නිර්මාණය කිරීම ද මේ සඳහා හේතු වී ඇති අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම, ආයතන අතර අන්තර් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය මෙන්ම අපනයන විවිධාංගීකරණය වැනි ජාතික සංවර්ධන ඉලක්ක සමඟ ආයෝජන ප්‍රමුඛතා පෙළගැස්වීමෙන් මෙම තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම ආයෝජන මණ්ඩලයේ අරමුණ බවයි සඳහන් වන්නේ.
