පාසල් බෑග්, ළදරු ඇටසැකිලි හරහා හෙළිවන මානුෂීය හමුදාවේ යුද අපරාධ පරිච්ඡේදය

ජිමුත් ඉඳුසර රත්නායක  

බෝනික්කෙක්, උස අඩි තුනක පමණ ළමා ඇටසැකිල්ලක් හා නිල් පැහැ UNICEF පොත් බෑගයක් මුහුණු පොත හරහා ශෙයා කරමින් “මේවාට වගකිවයුතු අය කවු ද ?” “මේ ත්‍රස්තවාදීන්ට අයත් ආයුධ”  යනුවෙන් දහස් ගණනක් අය පළකර තිබුණේ කුමක් පිළිබඳව ද ? ඒ පෝස්ට් සියල්ල යටින් “මේවා ලංකාවේ හමුදා කරා කියලා කියන්නේ කොහොම ද ? දැක්ක ද ?” යනුවෙන් මිලේච්ඡ ලෙස අසමින් ඔවුන් ආරක්ෂා කරන්නට සැරසෙන ඉතිහාසය විසින් බදා වැළඳගත් ඒ රහස කුමක් විය හැකි ද ?  

මේ සටහන ඒ පිළිබඳවයි.

කිසිදිනක වාර්තා නොවූ,  කිසිදා කිසිවෙකු විසින් නොකියන ලද, කුමන ආකාරයකින් හෝ යුක්තිය ඉටු නොවුණු ජීවිතවල දෝංකාරයන් සමූහ වශයෙන් වළලා දමන ලද මෙම ස්ථානය අනෙකක් නොව චෙම්මනි සමූහ මිනී වළයි. ජාතියක් විසින් සඟවන ලද රහස්වලින් පිරීගිය මෙම චෙම්මනි සමූහ මිනී වළ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජනතාවට සම්පත් බෙදාදීමේ දී දකුණ විසින් සිදු කරන විෂමතාවයන් හුවා දක්වමින් වෙනම නිජබිමක් වෙනුවෙන් අරගල කළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර පැවති තිස් වසරක සිවිල් යුද්ධයෙන් දරුණු ලෙස පීඩා විඳි  ශ්‍රී ලාංකේය දමිළ ප්‍රජාව විසින් සඟවා ගැනීමට වෙරදරමින් සිටින පැරණි එහෙත් වේදනා සහිත තුවාලය නැවත නැවතත් පාරවමින් තිබෙනවා.

උසස් පෙළ විභාගයට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටිය දී කොන්ඩාවිල්හි හමුදා  මුරපොළක දී පරීක්ෂා කිරීම සඳහා නවත්වාගත්, 18 හැවිරිදි දෙමළ පාසල් සිසුවියක් වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි නැවත කිසිදා එම හමුදා මුරපොළෙන් එළියට පැමිණ තිබුණේ නැහැ.  1996 දී සිදු වූ ක්‍රිෂාන්තිගේ අති කෲර දූෂණය කිරීම සහ ඝාතනයෙන් කාලයකට පසුව ඇගේ විකෘති වූ මළ සිරුර සොයාගත් අතර,  ඇයගේ ඉරණම පිළිබඳ විස්සෝපයෙන් ඒ පිළිබඳ සොයා ගිය ඇගේ මව, ඇගේ සහෝදරයා සහ ඇගේ අසල්වැසියෙකුගේ මළ සිරුරු ද ඒ සමඟ ම හමු වූ බව සඳහන් වනවා. ‍

මේ සම්බන්ධයෙන් 1998 දී පැවති නඩු විභාගයේ දී ක්‍රිශාන්තිගේ දූෂණය සහ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ අධිකරණය ඉදිරියේ දිවුරා ප්‍රකාශ කර සිටියේ, 1995-1996 දී හමුදාව යාපනය නැවත අත්පත් කර ගැනීමෙන් පසු අතුරුදහන් වූ දෙමළ සිවිල් වැසියන් සිය ගණනක් මරා දමා චෙම්මනි ගම්මානය අසල සමූහ මිනීවළවල්වල වළලනු ලැබූ බවත්,  චෙන්මනි හි සමූහ මිනීවලවල්වල පුද්ගලයින් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් වළලනු ලැබ ඇති බවත් ය.

ඒසේ හමුදා කෝප්‍රල්වරයා ලබා දුන් තොරතුරු මත පදනම් ව හා ජාත්‍යන්තර වශයෙන් රජයට එල්ල වූ පීඩාව හේතුවෙන් 1999 වර්ෂයේ දී රජය අධිකරණ අධීක්ෂණය යටතේ චෙම්මනි හි කැණීම් කිරීමට අවසර දුන් අතර, ඒ සඳහා ලෝක අවධානය යොමුවීමත්, මානව හිමිකම් කණ්ඩායම් එම කැණීම් නිරීක්ෂණය කිරීමත් නිසා එහි ප්‍රතිඵල යටපත් කිරීමට රජයට හැකිවුණේ නැහැ. ඒ අනුව චෙම්මනි හි කැණීම් හරහා මළ සිරුරු පහළොවක් සොයා ගන්නා ලද අතර, ඉන් මළසිරුරු දෙකක් 1996 දී හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරුරු බව හඳුනාගනු ලැබෙනවා.

මෙම මළසිරුරු හමුවීමත් සමඟ හමුදා නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන ලද නමුත් ඒවා නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. විමර්ශනය ඇණහිටිමින් විමර්ශන ලිපිගොනු දූවිල්ලට යට වෙමින් යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ කතිකාව මහපොළොව තුළ ම ගිලී ගිය අතර, කැණීම් ද ඇණහිට ගොස් 2006 පමණ වන විට චෙම්මනි පිළිබඳ මතකය සම්පූර්ණයෙන්ම පාහේ සියල්ලන් වෙතින් ම පලා ගියේ තම සමීපතමයන්ගේ මරණය වෙනුවෙන් හඬ නගනා අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන්, ඥාතීන් හා හිතවතුන් තවදුරටත් අඳුරෙහි ම ගිල්වමින්.

එසේ සියල්ල අමතකව ගිය කාලයකින් පසු, එනම් පළමු කැණීමෙන් දශක දෙකකට ආසන්න කාලයකට පසුව නැවත 2025 ජුනි මාසයේ දී අධිකරණ නියෝගයක් මත චෙම්මනි හි කැණීම් කටයුතු ආරම්භ කරන්නේ අධිකරණ නියෝගයක් හේතුවෙනුයි. ඒ පසුගිය පෙබරවාරි මාසයේ දී,   චෙන්මනි හි ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටිය දී නැවත අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියක් වාර්තා වීම සමඟයි.

ඒ අනුව මෙම කැණීම් කටයුතු ඔස්සේ අද වන විට මිනිස් ඇටසැකිලි 33 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 22 ක් දැනටමත් ගොඩගෙන ඇති අතර, ඒ අතරට “අලුතෙන් ම උපත ලද ළදරුවන්ගේ” ඇටසැකිලි හා මාස 10 ට අඩු ළදරුවන්ගේ ඇටසැකිලි ද ඇතුළත් වන බව සඳහන් වනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් කැණීම් කටයුතු මෙහෙයවන පුරා විද්‍යාඥ රාජ් සෝමදේව අල් ජසීරා පුවත් සේවය වෙත පවසා තිබුණේ,  මෙම ළදරුවන්ගේ මරණයට හේතුව තීරණය කිරීමට වෛද්‍යවරුන් විසින් තවමත් මෙම සිරුරු විශ්ලේෂණය කරන බවත්,  භූමදානය කරන ලද කාලය නිර්ණය කිරීමට සෙලෝපේන් වැනි කෞතුක වස්තු භාවිතා කරන බවත්, කෞතුක වස්තු නොමැති නම්,  විකිරණශීලී කාල නිර්ණය විකල්පයක් ලෙස භාවිතා කළ හැකි බවත් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, මේ දක්වා සුසාන භූමියෙන් “සියයට 40 කටත් වඩා අඩු ප්‍රමාණයක” පමණක් කැණීම් කටයුතු සිදු කර ඇති බවත්,  චන්ද්‍රිකා ඡායාරූප සහ ඩ්‍රෝන යානා භාවිතයෙන් ඉහළ සිට ගනු ලැබූ ඡායාරූප හරහා සුසාන භූමිය තුළ තවත් දෙවන  සුසාන භූමියක් දැනටමත් හඳුනා ගෙන ඇති බවත් ය.  තමා විසින් ඒ පිළිබඳ ව  අධිකරණයට අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව හා  එය සමූහ මිනී වළක් ලෙස හඳුනා ගත හැකි බව මෙන්ම ඒ හේතුවෙන් එම සිද්ධිය පිළිබඳ ව වැඩිදුර විමර්ශන අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ  පසුගිය ඉරිදා කැණීම් නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව,  පාසල් බෑගයක් සමඟ සොයාගත් කුඩා දරුවෙකුගේ යැයි සැලකෙන අස්ථි කොටස් සොයාගැනීමට හැකිව තිබූ අතර, ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ මෙන්ම සමාජය තුළ ද දැඩි කතාබහක් ඇති වී තිබුණා.

පාසල් ගොස් එන යුද්ධයක් පිළිබඳ හංකවිසියක්වත් නොදන්නා අහිංසක කුඩා දරුවන් යුද්ධයේ නාමයෙන් ඝාතනය කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද ? ඔවුන් දමිළ වීම නිසා ද ? ඔහු රාජ්‍ය විරෝධියෙක් වන්නේ කෙසේ ද ? මේවා තනිකර ම යුධ අපරාද ලෙස අපට දැක්විය හැකි වන්නේ ඒ නිසයි. ලාංකීය හමුදා ලොව මානුෂීය ම හමුදාවන් ලෙස හංවඩු ගසන මිනිසුන් මෙම දරුවාගේ මරණය මානුෂීය ලෙස දකිනුයේ කෙසේ දැ යි යන ප්‍රශ්නය අපට මතුවන්නේ එම හේතුව මතයි.

කෙසේ නමුත් දින 15 ක් මුළුල්ලේ අදියරයන් ගණනාවක් යටතේ සිදු කෙරෙන මෙම කැණීම් කටයුතු සඳහා රුපියල් මිලියන 12 ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර ඇතත්, තවමත් අරමුදල්වලින් කොටසක් පමණක් නිදහස් කර ඇති බව වාර්තා වනවා. මෙම කුරිරු හා මිලේච්ඡ මරණ සඳහා යුක්තිය ඉටු කිරීම සහතික වීමට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට තවමත් කැමැත්තක් හෝ කැක්කුමක් නොමැති නම්, මෙකී අහිංසක සිවිල් ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු කිසි විටෙකත් යුක්තිය ඉටු නොවනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අවස්ථාවේ දී මෙම ක්‍රියාවලියේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ නීති නියෝජිතයින් හමුවී විමර්ශනයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටි අතර, දැනට සිදුවෙමින් පවතින කැණීම් ක්‍රියාවලිය ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සිදු කරන බව සහතික කරන ලෙස එම නියෝජිතයන් ටර්ක්ගෙන් ඉල්ලා සිටි බව සඳහන් වනවා.

මහකොමසාරිස්වරයා චෙම්මනි සුසාන භූමිය වෙත යමින්, අතුරුදහන් වූවන්ගේ පවුල් විසින් මෙහෙයවන ලද විරෝධතාවයකට ද සහභාගි වූ අතර, එහි දී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දහස් ගණනකට උපහාර දැක්වීම සඳහා සංකේතාත්මකව ගිනිදැල්ල ඉදිරිපිට මල් තැබීමේ ක්‍රියාවක ද නිරත වුණා.

මහ කොමසාරිස්වරයා යාපනයට පැමිණෙන විට, දෙමළ ජනතාවට එරෙහිව දශක ගණනාවක් තිස්සේ මහා සමාජය විසින් සිදු කරන ලද කුරිරුකම් සඳහා ජාත්‍යන්තර යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමින්, විරෝධතාකරුවන් පෙළ ගැසී සිටි අතර, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ජාත්‍යන්තර යුක්තිය සඳහා වන හදිසි ඉල්ලීම් මාලාවක් ද භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, අතුරුදහන් වූවන්ගේ පවුල් නියෝජනය කරන නීතිඥවරියක් වන රනිතා ඥාන රාජා විසින් අල් ජසීරා පුවත් සේවය වෙත පැවසා තිබුණේ, තම අතුරුදහන් වූ ආදරණීයන් සොයමින් සිටින යාපනය ප්‍රදේශයේ 600 කට අධික පිරිසක් සමඟ තමන් කටයුතු කරන බව යි.  ඔවුන්ගෙන් බහුතරයක් 1995 සහ 2008 අතර කාලපරිච්ඡේදයේ දී අතුරුදහන් වූවන් වන අතර,  මෙරට දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන උතුරු පළාතේ අගනුවර වන යාපනයෙන් 1995 දී බොහෝ දෙමළ ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වූ බව ඇය වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම කැණීම් ක්‍රියාවලියට එම අතුරුදන් වූවන්ගේ පවුල් සම්පූර්ණයෙන්ම සහභාගී වන බවත්, පෙර කැණීම් කටයුතු හරහා ඔවුනට අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වූ හෙයින් මෙවර හඳුනා ගැනීමේ උත්සාහයන් නිසි ලෙස සිදු කිරීමට අවශ්‍ය බවත් පවසා සිටි ඇය අවසාන වශයෙන් සඳහන් කළේ,  අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් ද මෙම ස්ථානයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිසියට සහාය වෙමින් සිටින බවයි.

Author

1 Comment

  • අහිංසක සිංහල සිවිල් වැසියන්,ළමුන් පමණක් නොව බල්ලන් පවා කපා කොටා දමන ලද මිණි මම අම්පාරේ සිටි කාලේ ගොනා ලොල්ල ගම්මානයම සමුල

Comments are closed.

Related Posts