සටන් කරන ව්‍යාපාරයක නම්බු පිස්සුව සහ හරි පුදුම පාලනය

ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය මුහුණ දෙන සමකාලීන අභියෝග සහ ඉදිරි මග පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා කොළඹ ජානකී හෝටලයේදී පැවැතිවිණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය නියෝජනය කරන පුද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින් රැසක් සහභාගී විය. මේ සාකච්ඡාව ඉතා වැදගත් සහ වර්තමානයේ වෘත්තීය සමිති විසින් මුහුණ දෙන ගැටළු ‘ටිකක්’ අමුවෙන්ම කතා කළ එකක් යැයි කිව හැකිය. ‘ගොඩක්’ කතා කිරීමට අපහසු වන්නේ එලෙස කතා කළ විට කම්කරු ව්‍යාපාරය තුළ සාමූහිකත්වය ශක්තිමත් කිරීම සහ ගැටළු වලට විසඳුම් සෙවීම වෙනුවට පෞද්ගලික හිත් අමනාපකම් හදාගෙන තියෙන සාමූහිකත්වයද අහිමි වී තවත් ගැටළු ඇති වීමේ අවදානම නිසාය. නමුත් අප තේරුම් ගත යුත්තක් ඇත. එනම් වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරයේ අභියෝග යනු, හාම්පුතුන් හෝ රජය විසින් ඇති කළ ඒවා යයි කීමට වඩා වෘත්තීය සමිති තිබියදී සහ මේ නායකයින්ද සිටියදී ඇති වූ ඒවා බැවිණි. ඒ අනුව මේ වර්තමානයේ අර්බුධයන්ට ඇති වගකීමෙන් වත්මන් නායකත්වයට ගැලවිය නොහැකි අතර අනාගත වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිශ්චිත කඩා වැටීම සහ අභාවයට යාම පිළිබඳව ද වගකිව යුතුව ඇත.

ලංකා වතු සේවා සංගමය වෘත්තීය සමිති ව්‍යාපාරයේ සටන්කාමී බලවේගයක් ලෙස ශතවර්ෂයක් ගෙවා අවසන්ය. ඒ ගෙවුණු දිගු කාලය තුළ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනික පසුබිම කණපිට පෙරලූ යුගයන් පසු කරගෙන පැමිණ ඇත. එවැනි ඉතිහාසයක් සහිතව පැමිණි වතු සේවා සංගමයේ වත්මන් ප්‍රධාන ලේකම් සහ හිටපු සභාපති චතුර සමරසිංහ උක්ත සාකච්ඡාවේදී මතු කළ කාරණා කිහිපයක් මෙහිදී ගෙන හැර දැක්වීමට අපේක්ෂා කෙරේ.

අවධානෙ ඉල්ලන වෘත්තීය සමිති නායකයෝ

චතුර සමරසිංහ සඳහන් කරන ආකාරයට වර්තමානයේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ තමන්ට වෙනම ආධිපත්‍යක්, වෙනම ගරුත්වයක් අවශ්‍ය බව සිතන නායකයින් පිරිසක් සිටී. මෙය සාමූහිකත්වයට ඇති ප්‍රබල බාධාවකි. නමුත් වෘත්තීය සමිති මූලධර්ම වල එවැන්නක් නොමැති අතර තව දුරටත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ “සර්” ලා සිටිය නොහැකිය. මෙය සමහර වෘත්තීය සමිති වලට සෘජුවම අදාළ බැවින් සමහර නායකයින් අමනාපකම් ඇති කර ගැනීමට ඉඩ ඇති මුත් එසේ නොවී මෙහි ඇති යථාර්තය තේරුම් ගැනීම වැදගත් වේ. එසේ නොවුණහොත් වෘත්තීය සමිති ව්‍යාපාරයට මුහුණ දීමට සිදුවන අනිවාර්යය අභියෝග වලට මුහුණ දීමට ඇති හැකියාව නැති වී යනු ඇත.

වෘත්තීය සමිති අතර දක්නට ඇති තවත් ප්‍රධාන භේදයක් වන්නේ දේශපාලනික වෘත්තීය සමිති සහ එසේ නොවන වෘත්තීය සමිති යන්නය. නමුත් එලෙස අදේශපාලනික වෘත්තීය සමිති කොහෙවත් නොමැති අතර ලෝකයේ කොහේ තිබුණද වෘත්තීය සමිති සියල්ල දේශපාලනිකය. මෙහිදී අප සිතිය යුත්තේ වෘත්තීය සමිතියක් දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වීම හෝ නොවීමට වඩා එම වෘත්තීය සමිතියට යම් ප්‍රතිපත්තියක් තිබේද යන්නයි. වෘත්තීය සමිති වල මතවාදය ඒ මොහොතේ සිටින තැන අනුව දෝලනය වන ආකාරයක් දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, දේශපාලනික පක්ෂයක් හා අනුබද්ධ වෘත්තීය සමිතියක් තමන්ට බලය නොමැති විට මෑන් පවර් (Manpower) ක්‍රමයට විරුද්ධ වුණත්, යම් හෙයකින් බලය ලැබුණහොත් ඒ මොහොතේ පක්ෂයේ අදහස මෑන් පවර් ක්‍රමය පවත්වාගෙන යාම නම් වෘත්තීය සමිතියේ ප්‍රතිපත්තියද ඒ හා සමපාත කරයි.  ඒ මොහොතේ එම ගැටළුවට එරෙහිව සටන් කරන පිරිස් කඩාකප්පල් කාරීන්, ආර්ථික ඝාතකයින් ලෙස නාමකරණයට ලක් කරයි. මීට හේතුව වෘත්තීය සමිති සහ ව්‍යාපාරය ප්‍රතිපත්ති ගරුක නොවීමයි.  එසේම පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති වලට, වෘත්තීය සමිතිය තුළ සාපේක්ෂ ස්වාධීනත්වයක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

වෘත්තීය සමිතිය විශ්වාස කරන ප්‍රතිපත්තිය පක්ෂය ලවා ක්‍රියාත්මක කර ගැනීමට අපොහොසත් වීම පක්ෂ දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිති වලට ඇති පොදු ගැටලුවකි. එසේම එය එම වෘත්තීය සමිති වලට පමණක් නොව සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයටම බලපායි.

Pro-labour government සහ තනි කම්කරු නීතිය

NPP ආණ්ඩුව කම්කරුවන්ට පක්ෂපාතී රජයක්, කම්කරු ආණ්ඩුවක් යන්න සමාජය තුළ කතා බහක් තිබුණ ද එවැන්නක් ප්‍රයෝගිකව දක්නට නොමැති වීම කණගාටුවට කරුණකි. ආණ්ඩුව ගන්න පෙර එහි සිටි ඇතැමුන් නියෝජනය කළ ප්‍රතිපත්තිමය තලයට කුමක් වූයේද යන්න සොයා බැලිය යුතුය.

එසේම මෙහිදී අප තනි කම්කරු නීතිය පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවක් නිර්මාණය කළ යුතුව ඇත. මක් නිසාද යත් එය පැමිණියහොත් වෘත්තීය සමිති ව්‍යාපාරය සහ කම්කරුවා අර්බුධයට රැගෙන යන අතර සේවායෝජකයින්ට කම්කරුවන් පිළිබඳව තීරණ ගැනීමේ තනි අත්තනෝමතික බලයක් හිමි විය හැකි බැවිනි. සේවකයාට තම රැකියා කොන්දේසි හෝ අයිතිවාසිකම් සම්බන්ධව ගැටළුවක් පැන නැගුණ විටදී ඒ පිළිබඳව කිසි සේත්ම ප්‍රශ්න කළ නොහැකි, වෘත්තීය සමිති අඩපණ කරන තනි බලයක් මේ හරහා ගොඩ නැගෙනු ඇත. මෙම පනත සම්මත වුවහොත් සේවක අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමම විහිළු සහගත කාරණයක් වනු ඇත. 

වෘත්තීය සමිති ව්‍යාපාරය නිතරම තමා නියෝජනය කරන සාමාජිකයාට, පන්තියට ස්වාධීන විය යුතු අතර අපගේ පක්ෂපාතිත්වය අප නියෝජනය කරන සේවකයාට විය යුතුය. වෘත්තීය සමිති විසින් වෘත්තීය සමිති මූලධර්ම කඩකරමින් එකම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පවා දැඩි අසමගියකින් කටයුතු කරමින් සිටී.

වෘත්තීය සමිති ව්යාපාරයට එරෙහි දෘෂ්ටිවාදය

වෘත්තීය සමිති විසින් එලෙස වෘත්තීය සමිතිවාදයේ මූලධර්ම කඩ කරමින් කටයුතු කළද සේවායෝජකයින් එසේ නොකරයි. වෘත්තීය සමිති ආඥා පනත සමග ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ලියාපදිංචි වෘත්තීය සමිතිය හාම්පුතුන්ගේ සංගමයයි. නමුත් ඔවුන් කම්කරුවන්ට වෘත්තීය සමිති ගත වීමට ඇති අයිතිය සහ හැකියාව අඩපණ කරමින් සිටිනු දැකිය හැකිය. රජය සහ හාම්පුතුන් එක්ව වෘත්තීය සමිති ව්‍යාපාරය ට එරෙහි පිළිබඳව දෘෂ්ටිවාදයක් නිර්මාණය කර ඇත. එනම් වෘත්තීය සමිති යනු රටේ සංවර්ධනය සඳහා එරෙහි වන, වැඩ පොළවල් කඩාකප්පල්කාරී ලෙස විනාශ කර දමන, ආර්ථිකය පසු බස්සවන  පිරිසක් යනුවෙන් ජනමනස තුළට කාවද්දවා ඇත. මේ මෙවැනි ප්‍රතිරූපයක් සමාජ ගත කිරීම තුළ සමාජයේ වෘත්තීය සමිති කෙරෙහි වන ආකල්පය ඉතා හොඳ එකක් නොවේ. ඒ පැතලි මාදිලි අදහස නිසා වෘත්තීය සමිති විසින් සිදුකරන සෑම ක්‍රියාකාරකමක්ම කඩාකප්පල් කාරී වැඩ ලෙස දකින තත්ත්වයක් ඇති වී ඇත. මෙම දෘෂ්ටිවාදය රජයන් සහ හාම්පුතුන් විසින් නිරන්තරයෙන් පෝෂණය කරනු ලබන අතර සමාජය තුළ එය සාමාන්‍යකරණයට ලක් කරයි. යථාර්තය එය යයි සිතීම තවදුරත් තහවුරු කරයි. වෘත්තීය සමිතිද එම දෘෂ්ටිවාදය පරාජය කිරීමට සහ ඛණ්ඩනය කිරීම සඳහා අසමත් වී ඇති අතර සාධනීය මැදිහත් වීමක් සිදු කරන ආකාරයක්ද දක්නට නැත. විශේෂයෙන්ම මේ සඳහා උපකරණයක් (Tool) ලෙස මාධ්‍ය භාවිතා කරන අතර එම දෘෂ්ටිවාදය පෝෂණය කිරීමට අවශ්‍ය දේ ප්‍රචාරණය සඳහා විශාල ප්‍රාග්ධනයක් යොදවයි.

මේ ලෝකයේ සෑම තැනකම අපට දක්නට ඇති දේ ශ්‍රමයේ නිෂ්පාදන වේ. නමුත් එය කම්කරුවන්ගේ සිතීමෙන් සහ විශ්වාසයෙන් පවා ඈත්ව ගොස් ඔවුන්ද එතරම් තැකීමක් නොකරන බැවින්, වැඩ බිම ශ්‍රමයේ වැඩබිමෙන් ප්‍රාග්ධනයේ වැඩබිම කරා ගමන් කර ඇත. නමුත් යථාර්තය නම් වැඩබිම ශ්‍රමය මත තවමත් සියල්ල රඳා පැවැත්මයි. 

මේ අතර ආණ්ඩුවට හිසරදයක්ව ඇති සමහර වෘත්තීය සමිති නායකයන් ඉලක්ක කරගනිමින් පීඩිතයන්ගේත් පීඩිතයන් හදමින් සිටී. ඒ වෘත්තීය සමිති නායකයන් හට මඩ ගැසීමට සහ අවලාද නැගීමට තෝරා ගන්නේ කම්කරු පන්තියේ මිනිසුන්මය. එය සමාජය තුළ සත්‍යක් කිරීම වෘත්තීය සමිති හරහාම සිදු වන ආකාරයකුත් ඇත. එය පසුවට සාකච්ඡා කල හැකි කාරණයකි.

ශ්‍රමය මගින් ගොඩනගන ආර්ථික සංවර්ධනයෙන් කිසි විටෙකත් ශ්‍රමය ව්‍යුක්ත කළ නොහැකි අතර මේ දෙකෙහි පවතින අන්‍යොන්‍ය පැවැත්ම හාම්පුතුන් ඉතා හොඳින් දන්නා නමුත් වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරයේ සාමාජිකයා දන්නේද යන්න ගැටලුවකි. නමුත් ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් පවතින්නේ විවිධ අංශ වල ශ්‍රමිකයන් විසින් ආර්ථිකයට සිදු කරන අඛණ්ඩ දායකත්වය නිසා මිස, රටේ සමස්ත ධනය තමන්ගේ සහ අම්ම අප්පගේ බූදලය යයි සිතා කටයුතු කළ පාලකයන්ගේ දායකත්වයක් නිසා නොවේ. ඔවුන්ගෙන් මේ රටට සිදු වූ විශාලතම සහ අප අමතක නොකළ යුතු දායකත්වය නම් හොරා කෑමයි.  

අතීත කාමයේ අසනීපය

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වලට සහ සමහර නායකයන්ට ඇති සුව කළ නොහැකි රෝගයක් වන්නේ අතීත කාමයයි. සමහර නායකයන් කියන කතා ඇසූ විට මතක් වෙන්නේ ටී.ජි.ඩබ්ලිව් ද සිල්වාගේ කෙටිකතාවක් වන නම්බු පිස්සුවයි. තවත් සමහර නායකයින් 1935 හෝ 1978 නිසා ඇති වූ සමාජ පරිවර්තනය නිසා සියල්ල වෙනස් වූ බව කියයි. මේ සමාජය ස්ථිතික නොවන අතර මෙය අනවරතව ඉදිරියට ගලා යයි. ප්‍රවාහයක් ලෙස ඉදිරියට ඇදෙයි. මෙහිදී අප සිතිය යුත්තේ අලුත් තත්ත්වය හඳුනාගෙන අපේක්ෂාවන් ළඟා කර ගන්නේ කෙසේද යන්නයි. තවත් සමහර අය 1935 තිබූ වෘත්තීය සමිති ආකෘතිය හිසමුදුනේ තබාගෙන එය පූජනියත්වයේ ලා සලකාගෙන යන ආකාරයක් දැකිය හැකිය.   ඔවුන් වර්තමානයේ කම්කරු ව්‍යාපාරයට ගැලපෙන ලෙස, නව පරපුරේ කම්කරුවන් ආකර්ෂණය කර ගනිමින්, සමකාලීන ගැටළු පිළිබඳව පුළුල් අවබෝධයක් සහිතව යාවත්කාලීන වූ ගමනක් ගැන සිතනු දක්නට නොමැත.

එසේ යාවත්කාලීන නොවූ තවත් කොට්ටාශයක් ඉතිහාසයට සාප කරන ආකාරයක්ද දක්නට ලැබෙන අතර මේ සියලු දෙනා දෙස බැලූ විට වෘත්තීය සමිති නායකත්ව චින්තනයේ ශානරයන් ගැන වෙනම තීසිසයක් ලිවිය හැකිය.

දුන්නයි තලයයි කෙටේරිය ගෙනල්ලා

පරණ දුන්නයි, ඊ තලයයි අරගෙන සටන් බිමට බහින, මාන බලන වෘත්තීය සමිති ව්‍යාපාරයක නටඹුන් අප අතර සැරි සරයි. නවලිබරල් ධනේශ්වර සමාජයක වෘත්තීය සමිති ව්‍යාපාරයකට කම්කරුවන්ගේ අපේක්ෂා ඉටු කර ගැනීමට ඇති නොහැකියාවේ යථාර්තය ඔවුන්ට නොවැටහෙන්නේද? පරණ උපක්‍රම පුනරුච්චාරකයින්ගෙන් මිදුණු නමුත් ඓතිහාසික අත්හදා බැලීම් වල සාරයන් උකහාගෙන යන ව්‍යාපාරක් වෙනුවෙන් අප සාමූහික විය යුතුව ඇත.

විදේශ ආයෝජන සරණං

විදේශ ආයෝජන මත පදනම් වූ සංවර්ධනයක් පිළිබඳව අදහස දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ සජ්ජායනා වන ආකාරය දැකිය හැකිය. ආර්ථිකය ගොඩගැනීම සඳහා විදේශ ආයෝජන වල අවශ්‍යතාවය පිළිබඳව සමාජ තුළ ඇති කතිකාවේ දේශපාලනික හරය වෙනම සාකච්ඡා කළ යුතුව ඇත. නමුත් අප බැරෑරුම්ව සිතිය යුතු කාරණයක් වේ. එනම් මේ පැමිණෙන ආයෝජකයන් සමග රටට ඇතුල් වන ආර්ථික හා දේශපාලනික මාදිළි ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති හා සමපාත වන ආකාරයයි. විවිධ ආකාරයෙන් රටට පැමිණෙන ආයෝජකයන් රට තුළ ඔවුන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරද්දී ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රතිපත්ති වලට සිදු වන හිතකර හෝ අහිතකර බලපෑම් පිළබඳව තක්සේරුවක් රජය විසින්  කරන්නේද? එසේම ඔවුන්ට අපගේ ප්‍රත්පත්ති සම්බන්ධව පැහැදිළි කර එම ප්‍රත්පත්ති සමග ගමන් කළ හැකි ආයෝජන පිළිබඳව සිතීමට සහ සැලසුම් කිරීමට කිසිදු රජයකට හැකි වී තිබෙන්නේද යන්න ගැටළු සහගතය. 

උදාහරණයක් ලෙස, අප රටේ කම්කරු නීති පිළිබඳව ආයෝජකයන් සමග සාකච්ඡා කර එම කම්කරු නීති වල හරයන් ආරක්ෂා කරගනිමින් සිදු කරන ආයෝජන තිබේද? නොඑසේනම් ආයෝජකයන්ගේ සුරා කෑමේ ආශාව උදෙසා ලංකාවේ කම්කරු නීති අනපනත් වෙනස් කරන්නේද? මෙය අප පසුගිය දශකය තුළ වෘත්තීය සමිති ව්‍යාපාරය මුහුණ දුන් සහ රජයන් සමග ගැටුණු කාරණයකි. රටේ ශ්‍රම ප්‍රමිතීන් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කර එම ශ්‍රම ප්‍රමිතීන් ආරක්ෂා කරන ආයෝජන රට තුළට ගෙන ඒමට සමත් රජයන් අප දැක නැත. 

එසේ නොමැති විදේශ ආයෝජන රට තුළට ගෙන ආ විට ඇති වන අනිවාර්යය ගැටුම් සමනය කිරීමට අසමත් වන රජයන් සිදු කරන්නේ මහජන පිහිට පැතීමයි. එසේම අසමත් පාලකයන්ගේ එකම විසඳුම වන මර්දනය කැඳවීමයි. විදේශ ආයෝජන පිළිබඳව ආකර්ශනීය කතා කියමින්, වෘත්තීය සමිති වල කඩාකප්පල්කාරී ක්‍රියා නිසා ආයෝජකයින් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව සහ ඒ හේතුවෙන් රට අස්ථාවර වන බව පවසමින් වෘත්තීය සමිති හා මහ ජනතාව අතර විශාල වෛරයක් ඇති කරයි. යටකී දෘෂ්ටිවාදයේ නිර්මාපකයන් බවට රජය පත් වේ.

හරි වෙනස් පාලනයක්

වර්තමානයේ ඉතා වෙනස් පාලනයක් උදෙසා ජනතාව තීරණයක් ගන්නා ලදී. ඒ අනුව නව පාලන බලයක් රට තුළ පිහිටුවා ඇත. ඒ පාලනය කම්කරු හිතවාදී එකක් ලෙසද තැන් තැන් වල කතා වන අතර බලයට පැමිනීමට පෙර කම්කරුවන් තුළ ඇති වූ අපේක්ෂාව එයයි. එනම් කම්කරුවන් සඳහා මෙතෙක් අත්නොවිඳි මිට වඩා යහපත් ජිවිතයක් උදෙසා කම්කරු නායකයන්ද පාලනය කරන ආණ්ඩුවක් යනුවෙනි. ඒ පාලනය පැමිණ මාස 6ක් ගත වුවද පාලනය කිසිදු ලෙසකට කම්කරුවන් ගැන හිතන ආකාරයක් පෙනෙන්නට නැත. එය තවත් සැක සහිත වන්නේ එදා කම්කරුවන් සූරා කෑම සඳහා ගෙන ආ තනි කම්කරු නීති සංශෝධනය නැවතත් ආණ්ඩුව මේසය මතට ගැනීමයි.

කම්කරු හිතවාදී ආණ්ඩුවේ ශ්‍රම ප්‍රත්පත්තිය කුමක්ද යන්න ආණ්ඩුව කම්කරුවන්ට පැහැදිලි කළ යුතුය. 1994න් පස්සේ කම්කරු ප්‍රඥප්ති පැමිණිය ද ඒවා නීති ගත නොවීය. අප කාලයක් තිස්සේ දකින්නේ මොන ආණ්ඩුව මාරු වුණත් හාම්පුතුන්ගේ අශ්ලීල ආශාව උදෙසා සුරා කෑමේ ප්‍රතිපත්ති රට තුළ ව්‍යවස්ථාපිත කිරීමට උත්සාහ දැරීමයි. අලුතෙන් පත් වූ හරි වෙනස් පාලනයද එසේ කරන්නේ නම් ඒ ආණ්ඩුව ගැනද ජනතාව තීරණය කිරීම යන්න ඓතිහාසික නියතියකි.

නමුත් අප බැරෑරුම්ව සිතිය යුත්තේ, වෘත්තීය සමිති සාමූහිකත්වය වෘත්තීය සමිති ව්‍යාපාරයේ අපේක්ෂාවන් ළඟා කර ගැනීම උදෙසා වන ව්‍යාපාරක් කරගන්නේ කෙසේද යන්නයි. එනම් අපගේ සහෝදර කම්කරුවන්ට ඔවුන්ගේ අපේක්ෂාවන් ළඟා කර ගත හැකි මීට  වඩා යහපත් සමාජයක්, ජීවිතයක් වෙනුවෙන් වන ව්‍යාපාරයක් බවට පත් කර ගත හැක්කේ කෙසේද යන්නයි. ඒ උදෙසා සටන් කළ හැකි සංවිධාන ශක්තියක් සහිත ජව සම්පන්න ව්‍යාපාරයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නයි. 

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading