ජිමුත් ඉඳුසර රත්නායක
සිකුරාදා මැදියම් ගෙවෙමින් පැවති මොහොතේ, මිසූරි හි වයිට්මන් ගුවන් හමුදා කඳවුරෙන් B-2 වර්ගයේ ඇමෙරිකානු බෝම්බ හෙලන යානා අටක් ගුවන් ගත වී බටහිර පැසිෆික් දෙසට හැරී ගමන් කිරීම ආරම්භ කරනවා. කළු පැහැයෙන් යුක්ත පියාපත් සහිත මෙම යුධ ගුවන් යානා ඉන්ධන පිරවුම් ටැංකි ද සමඟ මැද පෙරදිග අහස වෙත ළඟා වන්නේ නො සිතූ තරම් වේගයෙන්.
පසුගිය බ්‍රහස්පතින් දා තවත් සති දෙකක කාලයක් ඉරානයට සාම ක්‍රියාවලිය වෙත ලබා දෙන බව පවසා සිටි ට්‍රම්ප් පැය 24 කට ආසන්න කාලයක් ගෙවී යන මොහොතේ එනම් සිකුරාදා මැදියම් රාත්‍රියේ මෙසේ තම යුධ යානා ඉරානය වෙත ගමන් කරවන්නේ තමන්ගේ ප්‍රකාශ පිළිබඳව තමාට ද විශ්වාසයක් නැති බව ලෝකයට ම හඬ ගා කියමින්.
ජාත්‍යන්තර යුධ නීතිය ද තම රටේ ව්‍යවස්ථානුකූල නීතිය ද උල්ලංඝනය කරමින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් ලෝක දේශපාලනය කැලඹූ අත්තනෝමතික මිලේච්ඡ හා උම්මත්තක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම මැද පෙරදිග සහචරයා වන ඊශ්‍රායලය විසින් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි කියමින් හා ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘති අඩපණ කරනවායැයි කියමින් ගෙනගිය සංහාරයට දායක වීමට ඇඟිලි ගණිමින් බලා සිටියේ නිරන්තරයෙන් ම යුද්ධයෙන් තම රාජ්‍යයට හැකි අයුරින් වාසි ලබා ගැනීම න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරගත් ලොව පිරිසිඳු ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය (යැයි තමන් ව ම හඳුන්වා ගන්නා) ඇමෙරිකාව මෙම මිලේච්ඡත්වයේ කොටස්කරුවෙක් කිරීමින් දේශපාලනික වාසි ලබාගැනීමේ ලේ පිරුණු බලාපොරොත්තුවත් සමඟින්.

පැසිෆික් සාගරයට ඉහළින් B-2 ගුවන් යානා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමයේම කොටසක් වීමට ඉඩ ඇති බව සිතූ ඉරානය එම ගුවන් යානා තම රාජ්‍යයෙන් බැහැරට වෙනත් දිශාවක් වෙත ගමන් කරන බව නිරීක්ෂණය කළ අතර මෙම රැවටිල්ල සිතා මතා සැලසුම් කරන ලද්දක් බව පසුව පෙන්ටගනය විසින් සනාථ කළේ මේ පිළිබඳව දැන සිටියේ වොෂින්ටනයේ සහ ෆ්ලොරිඩාවේ ටැම්පා හි මධ්‍යම අණදෙන මූලස්ථානයේ ඉතා සුළු පිරිසක් පමණක් මේ පිළිබඳ ව දැනසිටි බව පවසා සිටිමින්.
ඉරානය සහ අනෙක් බටහිර රාජ්‍යයන් පැසිෆික් සාගරය හරහා ගමන් කරන මෙම ගුවන් යානා 8 පිළිබඳ ව අවධානය යොමු කරන විට, තවත් B-2 යානා හතක් වයිට්මන් කඳවුරෙන් පිටත් වී හොර රහසේ ම පෙර යානා ගමන් කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට එනම් නැගෙනහිර දෙසට ගමන් කිරීම ආරම්භ කරනවා. එසේ මෙම ගුවන් යානා හත ඇමරිකාවට ඉහළ අහසේ ගමන් කර කර අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කළේ, එම යානා අතර හෝ භූමිය සමඟ කිසිදු සන්නිවේදනයක් නොමැතිවයි. කෙසේ හෝ මෙම ගුවන් යානා සහ ඒවායේ නියමු කාර්ය මණ්ඩලය සෙනසුරාදා රාත්‍රිය දක්වා මෙසේ පියාසර කළ අතර, පසුගිය සතිය පුරා යුරෝපයට යොදවා තිබූ ටැංකි මගින් මැද ගුවනේදී ඉන්ධන පිරවීමක් ද සිදු කරනු ලැබුවා.
මින් පෙර මෙම ක්‍රියාන්විතය සඳහා භාවිතා කළ යානා වර්ගය කැත හා රහසිගත ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට හැකි බව විශ්වාස නොකරන බව ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබූ බව ලෝක මාධ්‍ය විසින් හෙළි කර තිබුණේ සෝපහාසී ස්වරයකින් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් නැගෙනහිර දෙසට ගමන් කළ ට්‍රම්ප් ගේ මෙම “කැත ගුවන් යානා” හත, මධ්‍යධරණී මුහුද ඔස්සේ නැගෙනහිර කෙළවරෙන් මැද පෙරදිගට පැමිණෙන විට, සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය පමණ වූ අතර, මිඩ්නයිට් හැමර් යන නාමය සහිත ව ඔවුන්ට පවරා තිබූ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා මෙම බෝම්බකරුවන් සමඟ එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා, නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ ගුවන් යානා සහිත පරිවාර කණ්ඩායමක් ද එක් වී සිටියා. ඒ වනවිටත් ගුවන් යානා 125 ක් පෙර මීට පෙර සිට මෙම කලාපයේ යොදවා තිබුණා.
මෙම යුධ ගුවන් යානා ලෙබනන් වෙරළට ළඟා වන විට, අරාබි මුහුදේ සැරිසරමින් සිටි ඇමෙරිකානු සබ්මැරීනයක් “ටොමාහෝක් කෲස්” නම් මිසයිල සූදානම් කරන ලද අතර, ගුවනින් පැමිණි බෝම්බකරුවන් එම කලාපය වෙත ළඟා වූ අවස්ථාවේ දී ම සම්බැරීනය ද ඉරානයේ ඔවුන්ට ලබා දී තිබූ ඉලක්ක කරා ළඟා වූ බව සඳහන් වනවා.
මෙම ටොමාහෝක් යානාව ඕමාන් බොක්ක හරහා ගිනිකොන දිග ඉරානයට ගමන් කළ අතර, ඒ අතරතුර B-2 යානා හත සහ ඔවුන් සමඟ පැමිණි ප්‍රහාරකයින් ලෙබනනය, සිරියාව සහ ඉරාකය තරණය කර අලුයම 1.30 ට පමණ වයඹ දෙසින් ඉරානයට ඇතුළු වුණා.

ඇමෙරිකාවේ ඉලක්ක බවට පත් වූ ෆෝඩෝව් හි භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානය, නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය හා ඊශ්‍රාල – ඉරාන ගැටුමෙන් අර්ධ වශයෙන් හානි වී තිබූ පුරාණ ඉස්ෆහාන් නගරයේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත බෝම්බකරුවන් පැමිණීමට පෙර, ඔවුන්ගේ ප්‍රහාරක කණ්ඩායම සමඟ පැමිණි පරිවාර කණ්ඩායම ඉරාන යුධ ගුවන් යානා පිළිබඳ තොරතුරු සොයමින්, එම ප්‍රදේශය පිළිබඳ අවධානයෙන් පසුවෙමින් මෙන් ම ගුවන් ආරක්ෂක ස්ථාන වෙත වෙඩි තබමින් මාර්ගය ශුද්ධ පවිත්‍ර කළ අතර ඉරානයේ ආරක්ෂක පලිහ ඊශ්‍රායල ප්‍රහාර මගින් සමතලා කර තිබීම මෙම ප්‍රහාර මාලාව සඳහා සහයක් වූ බවත් සඳහන් වනවා.
බෝම්බකරුවන් විසින් ඉරාන වේලාවෙන් අලුයම 2.10 ත් 2.35 ත් අතර ප්‍රහාර මාලාව එල්ල කළ බව පෙන්ටගනය පවසා සිටියා. ෆෝඩෝව් ඇතුළු “ඉලක්ක ස්ථාන කිහිපයකට” පහර දුන් ඇමෙරිකාව තම මෙහෙයුමක දී දැවැන්ත GBU-57 බංකර් බිඳ දැමීමේ බෝම්බය භාවිතා කළ පළමු අවස්ථාව ද මෙය බව සඳහන් වනවා. නටාන්ස් හෝ ඉස්ෆහාන් වෙත හෙළන ලද මුළු බෝම්බ 14 න් කීයක් එම ස්ථානය වෙත ළඟා වූයේ ද යන්න පැහැදිලි නැතත්, නාවික හමුදාව විසින් එල්ල කරන ලද ටොමාහෝක් මිසයිල සියල්ලම ඉස්ෆහාන් වෙත ඉලක්ක කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කළා.
ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකානු යුධ ගුවන් යානා ආපසු හැරී ඔවුන් පැමිණි මාර්ගයට ම ආපසු පිවිසි අතර, අලුයම 3 ට ඉරාන ගුවන් සීමාවෙන් මුළුමනින් ම ඉවත් ව ගිය බවත් සඳහන් වනවා. ඒ වන විටත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන කලාපයේ සිදු වූ මෙම පිපිරීම් පිළිබඳ ව ඉරාන මාධ්‍යවල වාර්තා පළ වී තිබූ අතර, පසුව ට්‍රම්ප් විසින් කළ නිවේදන බොහොමයක් මෙම මෙහෙයුම සිදු කළ ආකාරය තහවුරු කළා. විශේෂයෙන් ම ඔහු තම පුද්ගලික Truth Social සමාජ මාධ්‍ය අවකාශයේ දක්වා තිබූ සටහන් මේ ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු තහවුරු කළා.
බෝම්බවලින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ වූලික ම ඉලක්කය වූ ෆෝඩෝව් වෙත හෙළන ලද බවත් සියලුම ගුවන් යානා ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් බලා යමින් සිටීන අතර, අපගේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු රණශූරයන්ට සුබ පැතුම් එක්කරන බවත් ට්‍රම්ප් පවසා තිබුණා. ඔහු තවදුරටත් උදම් අනමින් මෙය කළ හැකි වෙනත් හමුදාවක් ලෝකයේ නැහැ. දැන් සාමය සඳහා කාලයයි! යනුවෙන් ප්‍රකාශ කිරීම ලෝකය පුරා දැඩි අවධානයට හා සමච්චලයට ලක්වුණා.
කෙසේ වෙතත් රූපවාහිනිය හරහා ජාතිය අමතමින් ට්‍රම්ප් පළමුව ඉලක්ක සම්පූර්ණයෙන් ම විනාශ කර ඇති බව පැවසුවත්, නැවත ඉරිදා එනම් ඊයේ දින ප්‍රකාශ කළේ “දැඩි ලෙස හානි” පමණක් සිදු වී ඇති බවයි.
