ජිමුත් ඉඳුසර රත්නායක
අගමැති බෙන්ජමින් නෙතන්යාහු යටතේ, ඊශ්‍රායල හමුදා විසින් මෙන් ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යටතේ ඇමෙරිකානු හමුදා විසින් ඉරානයේ ටෙල් අවිව් වෙත ප්‍රහාර එල්ල කර ඇත්තේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ හෝ ගෝලීය මතය පිළිබඳ ව අබ මල් රේණුවක තරමේ තැකීමකින් තොරව යි.
ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියට එරෙහිව යැයි කියමින් ඊශ්‍රායල රජය හා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දියත් කරනු ලබන මෙම ප්‍රහාර මාලාව 2003 වසරේ දී ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීමට වොෂින්ටනය එ කල භාවිතා කළ හේතු දැක්වීම් නැවත නැවතත් මතකයට නගනවා.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙහෙයවනු ලබන ඉරානයට එරෙහි මෙම ප්‍රහාර මාලාව චීනය විසින් දකිනු යේ ලෝකය පුරා ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති, එනම් බොහෝ දුරට ලෝක යුද්ධයත් වෙත ගමන් කළ හැකි පුළුල් මිලිටරි ගැටුමකට අඩිතාලම දැමිය හැකි භයානක යුද්ධයක් ලෙස ය.
මෙම යුධ ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර පිළිබඳ චීනය පැහැදිලි සහ ස්ථිර සාර ස්ථාවරයක් ගෙන ඇති අතර, ඇමෙරිකාව විසින් අනපේක්ෂිත ලෙස ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට පෙර මේ පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් පැහැදිලි ලෙස ම ඉරානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නැවත නැවතත් උල්ලංඝනය කිරීම මෙන් ම කලාපයේ සාමකාමීත් වය අවුළුවන ක්‍රියාමාර්ග හෙළා දකින බව චීන බලධාරීන් ප්‍රකාශ කර සිටියා. ඒ පිළිබඳ ව වැඩිදුරටත් පැහැදිලි කරමින් ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් ඇති වූ ප්‍රතිඵල පිළිබඳ ව තමන් දැඩි ලෙස කනස්සල්ල පළ කරන බවත්, ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලනික විසඳුම් ඉල්ලා සිටින බවත් පවසා සිටියා.
කෙසේ නමුත් මෙම යුධ තත්ත්වය උත්සන්න වීම සඳහා බලපානු ලබන කිසිවකට හෝ කිසිදු පක්ෂයකට තමන් සේවය නො කරන බව ඔවුන් ප්‍රකාශ කර සිටි අතර, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා උපකාර කිරීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක දී චීනය තානාපති ෆු කොං මෙම ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ, ඊශ්‍රායලය “මිලිටරි වික්‍රමාන්විතය” ලෙස හඳුන්වමින් සිදු කළ මෙම ප්‍රහාර මාලාව හෙළා දකින බවත් ඉරානයට පමණක් නොව පලස්තීනයට ඔවුන් විසින් සිදු කරන මෙම අමානුෂික සංහාරයන් “මානුෂීය ව්‍යසනයක්” ලෙස විස්තර කළ යුතු අර්බුදයක් වන බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ ඒ මෙහොතේ දී කෙළින්ම ප්‍රකාශ නො කළ ද, ෆුගේ ප්‍රකාශය තවදුරටත් පාලනයෙන් තොර වීමට පෙර ඊශ්‍රායල ආක්‍රමණ පාලනය කරන ලෙස වොෂින්ටනයට බල කළ බව සියල්ලන්ට ම වැටහුණා.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින තම දේශපාලන සගයන් සමඟ දුරකථනයෙන් කතා සාකච්ඡා කරමින් සිදුකළ මෙම සංවාද දෙකෙහි සාරාංශය ද පෙර සඳහන් කළ ස්ථාවරයට වඩා වෙනස් නො වුණු අතර, ඉරානයේ සෙයිඩ් අබ්බාස් අරග්චි සමඟ කළ සාකච්ඡාවල දී ඔහු ඊශ්‍රායලයේ “නොසැලකිලිමත් ප්‍රහාර” ලෙස හඳුන්වන ලද මෙම ප්‍රහාර හෙළා දකිමින් පවසා සිටියේ ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාවලිය වෙත එල්ල කරන ප්‍රහාර භයානක සහ වැරදි පූර්වාදර්ශයක් සපයන බවයි. තවදුරටත් මෙම ක්‍රියා එක්සත් ජාතීන් ගේ ප්රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම දෙක ම උල්ලංඝනය කරන බව ඔහු අවධාරණය කර සිටියා.
කෙසේ නමුත් ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් සමඟ සිදු කළ ඇමතුමක දී වැන්ග් වඩාත් සංයමයෙන් නමුත් විවේචනාත්මක ලෙස සඳහන් කර සිටියේ ඊශ්‍රායලයට හමුදා විසඳුම් අතහැර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව පෙනී ගියේ
මෙම අර්බුදයේ දී, චීනය සිය ස්ථාවරය ලෙස ඉරානයේ ස්ථාවරයට සහාය දීම තෝරා ගෙන ඇති බවත්, මෙම න්‍යෂ්ටික ගැටලුව විසඳීම සඳහා මිලිටරි මාර්ග වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයක් සඳහා ගමන් කිරීමට යෝජනා කරන බවත් ය. මෙම ස්ථාවරය බීජිං හි දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය සමඟ ද සමපාත වන අතර, ඒ අනුව න්‍යෂ්ටික අවි ව්‍යාප්ති ගිවිසුම (NPT) යටතේ සාමකාමී න්‍යෂ්ටික ශක්තිය සඳහා ඉරානයට පවතින අයිතිය හඳුනා ගැනීමට උත්සුක වීමට හා ජාත්‍යන්තර නීතිවල පිළිගත් සම්මතය උල්ලංඝනය කරන හා චීනයේ දැක්මට පටහැණි වන න්‍යෂ්ටික අවි සඳහා වන ඕනෑම පියවරකට දැඩි ලෙස විරුද්ධ වීමට චීනය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉරානය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ තමන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නො කරන බවයි. ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත වතාවක් පැමිණීමත් සමඟ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඒක පාර්ශ්විකව ඉවත් වීමට ගත් තීරණයෙන් අනතුරුව බිඳ වැටුණු 2015 ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්මේ දී (JCPOA) ඔහු මතු කළ ඉරාන න්‍යෂ්ටික ප්රශ්නය නැවත මතු කරනු ඇති බවට බිය හා සැකය වර්ධනය වෙමින් පැවති අතර, ඇමෙරිකාව විසින් ටෙහෙරානය තම ඉල්ලීම්වලට අනුකූල නො වන්නේ නම් මිලිටරි ක්‍රියාමාර්ගයක් වෙත යන බව පවසා සිටීම එයට හේතු වුණා. චීනය සහ රුසියාව එවැනි ඒකපාර්ශ්වික නියෝගයකට විරුද්ධ වූ අතර, මාර්තු මාසයේ දී බීජිං හි චීන, ඉරාන සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛ පාර්ශ්වික රැස්වීමක් පැවැත් වූ බවත් එය බහු පාර්ශවීය JCPOA-පාදක යෝජනාවකට නැවත සහය පළ කළ බව තහවුරු කිරීමට සහ ඉරානයට එරෙහි නීති විරෝධී සම්බාධක හෙළා දැකීමට හේතු වූ බවත් අප අමතක කළ යුතු නැහැ.
2021 දී චීනය හා ඉරානය අතර, දෙරට අතර වෙළඳාම, යටිතල පහසුකම්, බලශක්තිය, තාක්ෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය සහ තවත් බොහෝ දේ ආවරණය වන පරිදි වසර 25 ක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළ අතර, ස්ථාවර තෙල් සැපයුමක් සඳහා අවශ්‍ය වන දිගු කාලීන ආර්ථික සහයෝගිතාවකට ද එළඹ තිබුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ සම්බාධක නො තකා, චීනය ඉරානයේ ඉහළ ම වෙළඳ හවුල්කරුවා සහ විශාලතම බොර තෙල් ගැනුම්කරු ලෙස වර්තමානය වන විටත් පවතින අතර, ඉරානයේ අපනයනවලින් 90% ක පමණ ගැනුම්කරු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.
චීනය සහ රුසියාව සමඟ පවතින සබඳතා පිළිබඳ අවධානය යොමු කරන ලද ඒකාබද්ධ මුලපිරීම් සඳහා මෙන් ම 2023 දී ෂැංහයි සහයෝගිතා සංවිධානයට (SCO) ඉරානය ඇතුළත් වීම ආදී හේතු චීනයේ මෙම ප්‍රතිපත්තියට හේතු වන බව ලෝක මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. එහෙත් ඉරානය හා චීනය අතර පවතින සම්බන්ධතාවය ද ඉතා හොඳ තත්ත්වයේ සම්බන්ධයක් ම නොවන බවත්, ඉටු නොවූ ආයෝජන පොරොන්දු, සම්බාධක ආශ්රිත ව පවතින අභියෝග සහ එකිනෙකාට නොගැලපෙන අරමුණු විසින් එම සම්බන්ධය සඳහා බාධා පමුණුවන බවයි සඳහන් වන්නේ.
නමුත් තවමත් චීනය විසින් ඉරානයට දක්වන සීමා රහිත සහයෝගය සඳහා හේතු ලෙස ගෝලීය ඉන්ධන ධාරිතාවෙන් 25% කට වඩා සහ LNG නැව්ගත කිරීම්වලින් තුනෙන් එකක සැපයුම් මර්මස්ථානය වන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කළහොත්, චීනයේ ආර්ථික අවශ්‍යතා සෘජුවම තර්ජනයට ලක් වීමත්, ඒ හා සමානව, NPT වෙතින් ඉවත් වීම හරහා බහු පාර්ශ්විකත්වයට සහ ජාත්‍යන්තර නීති පිළිවෙළට චීනයේ ඇති කැපවීම අභියෝගයක් වීමත් පවතින බව සඳහන් වනවා.
