ජිමුත් ඉඳුසර රත්නායක
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වුණා .
මෙම තරගය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සඳහා අමතක නොවන තරගයක් බවට පත්වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය ද මෙම තරගය වීම හේතුවෙන්.
මැතිවුස් ටෙස්ට් සමු ගැනීම වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සූදානම් කර ඇති අතර අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා තිබෙනවා.
2009 වර්ෂයේ දී පකිස්ථානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ මැතිවුස්ගේ පිත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිශය තීරණාත්මක තරග හමුවේ නො සැලී ක්‍රියාත්මක වූ ආකාරය අපට අමතක වන්නේ නැත.
2009 සිට අද තරගය දක්වා (අදින් ආරම්භ වන තරගයේ දක්ෂතා නො සලකා ) තරග 119 ක දී ඉනිම් 210 ක් ක්‍රීඩා කළ මැතිවුස්ගේ පිත්ත ලියමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල දී වැඩි ම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානය ඔහුට වෙන් කරමින් ලකුණු 8167 ක් ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් කිරීමට සමත් වුණා. ඒ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනට පමණක් දෙවෙනි වෙමින්. නමුත් ඔවුන් තිදෙනා හැර කිසිවෙකුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 8000 සීමාව පසු කර යෑමට සමත් වූයේ නැහැ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ටෙස්ට් තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය වෙන් කර ගන්නා මැතිව්ස්, ශ්‍රී ලංකාව තුළ පැවති තරගවල දී ලකුණු 4323 ක් ලබා ඇති අතර, මෙරටින් පිටත පැවති තරගවල දී ලකුණු 3844 ක් ලබා ගනිමින් එම දක්ෂතා ලැයිස්තු ද්විත්වයේ ම තෙවන ස්ථානයට පත්වීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත දී ලකුණු 1000 ට වඩා රැස් කළ ක්‍රීඩක ලැයිස්තුවේ පිති කරණ සාමාන්‍යය 40 කට වඩා වැඩි ශ්‍රී ලංකා පිති කරුවන් තිදෙනා අතර ද තම ස්ථානය වෙන් කර ගන්නා මැතිව්ස් තම ටෙස්ට් ශතක 16 න් නවයක් ම ශ්‍රී ලංකාවෙන් පිටත දී ලබා ගත් ඒවා වීම විශේෂත්වයක්.
මැතිව්ස් අවම වශයෙන් ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කළ රටවල් අට අතර, බංග්ලාදේශය (55.38), නවසීලන්තය (51.21) සහ පකිස්තානය (50.03) යන රටවල් තුනකට එරෙහිව ලකුණු 50 කට වැඩි සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වූ අතර, 2013-15 වසර තුන තුළ, මැතිව්ස් ලෝක ටෙස්ට් පිටියේ වඩාත් සාර්ථක අංක 5 සහ 6 පිති කරුවා වූ අතර, ඔහු පිති කරණ සාමාන්‍යය 57.92 ක් පවත්වා ගනිමින් ලකුණු 2201 ක් ලබා ගැනීමට එම කාල වකවානුවේ දී සමත් වුණා.
පිති කරණයට අමතරව ඉඳහිට ටෙස්ට් පිටියේ පන්දු යවන්නෙකු ලෙස ද කටයුතු කළ මැතිව්ස් ඉනිම් 83 ක දී කඩුලු 33 ක් දවා ගැනීමට සමත් ව ඇති අතර ඒ අතරින් 10 ක් ම පකිස්ථානයට එරෙහිව වීම කැපී පෙනෙනවා.
අද ආරම්භ වන ඔහුගේ අවසාන ඉනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ හා පරිණත තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ නො මැකෙන හිඩැසක් ඇති වන අතර එය මෙරට ජාතික කණ්ඩායම වෙත දරා ගත නො හැකි පාඩුවක් බවට පත් වන බව නො අනුමානයි.
කෙසේ වෙතත් අද පැවැත්වෙන තරගය 2025 – 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත් වන අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 26 දී තරග 20 ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී බංග්ලාදේශය එක් තරගයක් පමණක් ජය ගෙන තිබීමත් තරග 5ක් ජය පරාජයෙන් තොර ව අවසන් වී තිබීමත් මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී බලාපොරොත්තු දල්වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහගෙදර ලෙස හැඳින්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද මෙරට කණ්ඩායම සඳහා සුබ නිමිත්තක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහභාගි වන 49 වැනි ටෙස්ට් තරගය ද මෙය වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා එම ක්‍රීඩාංගණයේ සහභාගි වූ ටෙස්ට් තරග 48න් තරග 27ක් ජය ගැනීමට සමත් ව තිබෙන බව අප අමතක කළ යුතු නැහැ.
