ජිමුත් ඉඳුසර රත්නායක
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක දී චීන – තායිපේ කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය තහවුරු කළ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් සඳහා රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයක මුදලක් බෝනස් දීමනාවක් ලෙස ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
චීන තායිපේ හා බෲනායි තරග දෙක ම පිට පිට ජය ලැබීම වෙනුවෙන් මේ මූල්‍ය ප්‍රතිපාදන කණ්ඩායම වෙනුවෙන් වෙන් කළ බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ පිලට එරෙහිව මෙසේ ගෝල් 3-1 ක විශිෂ්ට ජයක් ලැබීමත් සමඟ ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ස්ථාන කිහිපයක් එනම් 196 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙසේ අවසාන වරට ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 196 වැනි ස්ථානයට පත් ව ඇත්තේ මීට වසර 8කට පමණ පෙර 2017 වසරේ ජනවාරි මාසයේ දී වීම විශේෂත්වයක්.
පසුගිය වසරේ ජුනි මාසය වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ සිටි අතර වසරක් තුළ දී එය ස්ථාන 9 කින් ඉදිරියට පැමිණීමත්, චීන – තායිපේ කණ්ඩායම ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 166 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 34 ක් ඉදිරියෙන් සිටිය දී පරාජයට පත් කිරීමත් කැපී පෙනෙන ප්‍රවණතාවයන් වනවා.
තුරඟ තරග පිටියේ දී පෙරේදා (10) පැවති මෙම තරගය නැරඹීමට ඇමෙරිකානු තානාපතීනි ජුලි චංග් මහත්මිය පැමිණ සිටි අතර, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දක්ෂතා ඇය එහි දී බෙහෙවින් අගය කරමින් පවසා සිටියේ ඇය මෙරට පාපන්දු කණ්ඩායමේ මෙම දක්ෂතා මීට පෙර දැක තිබුණේ නම් කණ්ඩායම දියුණු කර ගැනීම වෙනුවෙන් ඇගේ සහයෝගය එකල සිට ම අනිවාර්යයෙන් ම ලබා දෙන බවයි.
එදින තරගය නැරඹීමට පැමිණි කැනඩා තානාපති එරික් වොෂ් මහතා ද ඒ හා සමාන අදහසකින් සුබ පැතුම් එක් කළ බව මෙරට පාපන්දු සභාපතිවරයා තවදුරටත් පවසා සිටියා.
මේ අතර ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී දකුණු ආසියාවේ සියලු රටවල් තම ප්‍රතිවාදීන් අතින් පරාජයට පත්වෙමින් පවතින කාලපරිච්ඡේදයක ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ විශාල අවධානයක් යොමුව පවතින අතර, ඉන්දියාව ගෝල් 1-0 ක් ලෙස හොංකොං හමුවේ ද, පාකිස්තානය ගෝල් 1-0 ක් ලෙස මියන්මාරය හමුවේ ද, බංග්ලාදේශය ගෝල් 2-1 ක් ලෙස සිංගප්පූරුව හමුවේ ද, නේපාලය ගෝල් 2 – 1 ක් ලෙස ලාඕසය හමුවේ ද, මාලදිවයින ගෝල් 2-1 ක් ලෙස තිමෝරය හමුවේ මෙන් ම භූතානය ගෝල් 2-1 ක් ලෙස බෲනායි හමුවේ මෙසේ මින් පෙර පැවති තරගවල දී පරාජය වී තිබුණා.
ජාතික කණ්ඩායමට නව වෘත්තීය පුහුණුකරුවකු හඳුන්වා දී කණ්ඩායම වෙනුවෙන් සම්පූර්ණයෙන් ම කැප වූ වෘත්තීය ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කීරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවේ ලබන සාර්ථකත්වයට හේතුව බව පාපන්දු සභාපතිවරයාගේ අදහස වී තිබෙනවා.
මූලාශ්‍ර – දිණමිණ ක්‍රීඩා පිටුව වෙනුවෙන් ප්‍රින්ස් ගුණසේකර ලියූ ලිපියකිනි
