ආයෝජකයන් ගෙන්වා ගැනීමට යැයි පවසමින් හාම්පුතුන් සතුටු කිරීමට මනුෂ නානායක්කාර විසින් අත්තනෝමතික ලෙස ගෙන ආ තනි කම්කරු නීතිය පිළිබඳ සංවාදය නැවත කරලියට පැමිණ තිබේ. ඊට හේතුව නම් NPP ආණ්ඩුව විසින්ද එම පනත් කෙටුම්පත පිළිබඳව මහත් ඕනෑ කමකින් කටයුතු කරන බවක් පෙනී යන බැවිණි.
2025-06-02 දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී තනි කම්කරු නීතිය පිළිබඳව එළඹුණු තීරණයක් නිසාවෙන් නැවත වතාවක් වෘත්තීය සමිති තුළ නොසන්සුන් තාවයක් ඇති කරමින් පවතී. සේවා නියුක්ති පනත් කෙටුම්පත සමාලෝචනය සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජුනි 02 වැනිදා කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. දැනට ක්‍රියාත්මක පනත් 13ක් අධ්‍යනය කර තනි සේවා නියුක්ති පනතක් සකස් කිරීම සදහා දළ පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එකී පනත් කෙටුම්පත නව රජයේ ප්‍රතිපත්තිය අනුව, තවදුරටත් සලකා බැලීම සූදානම් බවද එහිදී සඳහන් විය. ඒ සදහා සේව්‍ය- සේවක වෘත්තිය සංගම්වල අදහස් ලබාගෙන තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හදුනාගැනීමට යෝජනා සම්මත වී ඇත. මෙය ඉදිරියේදී කම්කරු අමාත්‍යංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කිරීමට නියමිත අතර එම කමිටුවේ සාමාජිකයන් කවුද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වනු ඇත.
2019 වසරේදීත් එවකට ආණ්ඩුව මේ තනි කම්කරු නීතිය ගෙන ඒමට දැඩි ලෙස උත්සාහ කළ නමුත් ඒ මොහොතේද මේ රටේ වෘත්තීය සමිති සිදු කළ ප්‍රබල විරෝධතා හමුවේ හකුළා ගන්නා ලදී. 2023 දී නව කම්කරු නීති සංශෝධනය පිළිබඳව සාකච්ඡා වට 7 ක් පමණ කම්කරු අමාත්‍යංශයේ මුලිකත්වයෙන් අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී විශාල ප්‍රචාරණයන් සහිතව පැවැත්විණි. සමහර වෘත්තීය සමිති මනූෂගේ මෙම රැස්වීම ප්‍රතික්ෂේප කළේ ජාතික කම්කරු උපදේශන සභාව රැස් නොකර වෙනත් රැස්වීම් පැවැත්වීම කපටි නරුම වැඩක් යයි පවසමිනි. සහභාගී වූ වෘත්තීය සමිති නව කම්කරු නීති පිළිබඳව තම සිතීම INFLUX නම් වේදිකාවේ දිග හරින ලද්දේ කම්කරුවන්ට තිබෙනවාටත් වඩා සුභවාදී කොන්දේසි පිළිබඳ අපේක්ෂාවන් පෙරදැරි කරගෙනය. නමුත් එලෙස අපේක්ෂා කළ යහපත් රැකියා කොන්දේසි නව සේවා නියුක්ති පනත් කෙටුම්පතේ තිබුණේ නැත. නූතන ලෝකයකට (Modern world) අදාළ කම්කරු නීති ගැන මනුෂ නානායක්කාර කතා පැවැත්වුවද එළියට ආ කෙටුම්පතේ ඒ ආකාරයේ නූතන ලෝකයට ගැලපෙන නීති තිබුණේ නැත.
කම්කරු නීති ප්‍රතිසංස්කරණය පනත් කෙටුම්පත පරිච්ඡේද 21 කින් සමන්විත වේ. ඒ අනුව පහත සඳහන් ප්‍රධාන පනත් 13 එකට එකතු කර තනි පනතකින් කම්කරු නීති මාලාවක් හඳුන්වා දී ඇත.
1.1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත
21941 අංක27 දරන පඩිපාලක සභා ආඥා පනත
3.1939 අංක 32 දරන මාතෘ ප්‍රතිලාභ ආඥා පනත
4.1956 අංක 47 දරන ළමයින්, කාන්තාවන් හා තරුණයින් පිළිබඳ පනත
5.1950 අංක 43 දරන කාර්මික හා ආරවුල් පනත
6.1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත
7.1935 අංක14 දරන වෘත්තිය සමිති ආඥා පනත
8.1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත
9.1983 අංක12 දරන පාරිතෝෂික ගෙවීම් පනත
10.2005 අංක 36 36 දරණ අයවැය සහන දීමනා පනත
11.2016 අංක04 දරන අයවැය සහන දීමනා පනත
12.2016 අංක 03 දරන ජාතික අවම වේතන පනත
13.2021 අංක 28 දරන විශ්‍රාම ගැනීමේ අවම වයස පනත
පවතින කම්කරු නීති යල්පැන ගිය ඒවා සහ නූතන ලෝකයේ වැඩබිමට ඒවා නොගැළපෙන බවට සමාජ මතය හදන්නට හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාර ලොකු වෙහසක් ගත්තේය. ඔහු ඒ සඳහා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය හෝ වෙනත් පුද්ගලික ආයතනයක් ලවා කිසිදු තර්කයක් නැති විහිළු සහගත දැන්වීම් පවා නිර්මාණය කර ප්‍රචාරය කළේය.
පවතින කම්කරු නීති වල වෙනස් විය යුතු තැන් තිබෙන බව කම්කරුවන් සහ වෘත්තීය සමිති පවා පිළිගන්නා කරුණකි. නමුත් පිළිගත නොහැකි කාරණය වන්නේ එලෙස නීති සංශෝධනය “නව සේවා නියුක්ති පනත් කෙටුම්පත” ලෙස පැමිණි ආකාරයයි.
කම්කරුවන් සූරා කෑම සඳහා හාම්පුතුන්ගේ අවශ්‍යතාවය මත හදන තනි කම්කරු නීතියට ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති බොහෝ ප්‍රමාණයක් එවකට විරුද්ධ විය. එම කෙටුම්පත මගින් සේවකයින් දැනට භුක්ති විඳින මූලික රැකියා අයිතිවාසිකම් අහෝසි කරමින් දේශීය සහ විදේශික ආයෝජකයන් හට තම සූරා කෑම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නව කම්කරු නීති සංශෝධන මගින් පූර්ණ අයිතිය හා නීතිමය බලය ලබා දෙන ආකාරයේ එකක් විය.
එය ඒ මොහොතේ සම්මත වූයේ නම් මනුෂ සඳහන් කළ නූතන ලෝකයට වඩා යාමට ඉඩ තිබුණේ වහල් යුගයටය. ඒ මොහොතේ මේ සඳහා වෘත්තීය සමිති විරුද්ධත්වය පල කළ අතර දැනට ආණ්ඩුවේ ඇමතිකම් දරණ වසන්ත සමරසිංහ ඇතුළු අන්තර් සමාගම් සේවක සංගමයද ඒ අතර විය. එම විරෝධතා මධ්‍යයේ පනත් කෙටුම්පත පසු පසට ගැනීමට ආණ්ඩුවට සිදු විය. ගෘහ සේවකයන්ට කම්කරු නීති ආවරණය ලබා දීම, ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිංසනය තහනම් කිරීමේ විධිවිධාන වැනි නීති ඇතුළත් කිරීම වැනි යහපත් සංශෝධන ඇතුළත්ව තිබුණද මෙම නිතිය ලස්සන දවටනයකින් වසා ඇති විෂ සීනි බෝලයක් බව සමහර වෘත්තීය සමිති පවසයි.
පැය 8ක වැඩ දිනය අහෝසි කර පැය 8 ඉක්මවා සේවය කරන සෑම විටම අතිකාල ගෙවීම් ලබාගැනීමට ඇති නෛතික අයිතිය අහෝසි කිරීම, මෑන් පවර් වහල් සේවයට නෛතික පිළිගැනීම ලබාදීම, පාරිතෝෂික හිමිකර ගැනීම සඳහා වසරකට දින 180 ක් සේවයට වාර්තා කර තිබීම අනිවාර්ය කොන්දේසියක් බවට නියම කිරීම, අර්ධ කාලීනව සේවා සැපයීමට ගිවිසගෙන සිටින සේවකයින්ගේ නිවාඩු පිළිබඳ ගැටළු සහගත වීම, දින එකහමාරක පඩි සහිත සති නිවාඩුව, දින භාගයක් දක්වා අඩු කිරීම සහ සති නිවාඩුවේ ඉතිරි දිනයට හිමි පඩිය අහිමි කිරීම, ටාගට් සැපිරීමට අසමත්වීම වැන්නක් හුවා දක්වමින් සේවායෝජකගේ වෙනත් ආයතනවලට හෝ වෙනත් අංශ වලට සේවකයාගේ කැමැත්ත නොමැතිව මාරු කර හැරීමේ බලය හාම්පුතා වෙත පැවරීම,අයුක්තියට එරෙහිව සේවකයින්ට කටයුතු කිරීමට ඇති හැකියාව මොට කර, හාම්පුතාට හීලෑ වී කටයුතු කිරීමේ වැඩබිම සංස්කෘතියක් නිර්මාණය කිරීම, කොන්ත්‍රාත් (Fixed Term) සේවකයින් හට දින 14 ක කෙටි දැනුම් දීමක් හරහා ඒකපාර්ශ්විකව සේවය අවසන් කිරීමේ පූර්ණ බලය හාම්පුතාට ලැබීම, මසකට දින 10කට සීමාවී පැවති, රාත්‍රී කාලයේ ස්ත්‍රීන් සේවයේ යෙදවිය හැකි සීමාව දින 15 දක්වා වැඩි කිරීම, වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා සේවකයන් 7 දෙනෙකු පමණක් ප්‍රමාණවත් නිතීය සේවකයින් 100 දෙනෙක් දක්වා වැඩි කිරීම, කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරයක් නොමැතිව සාප්පු හා කාර්යාල සේවිකාවන්ට හාම්පුතාගේ අභිමතය අනුව ප්‍රවාහන දීමනාවක් මත රාත්‍රී 10 න් පසුව ඕනෑම වෙලාවක් සේවයේ යෙදවීමට අවසර දීම යනාදිය ඇතුළුව තවත් සංශෝධන ගණනාවක් මගින් සේවයෝජකට තමන්ගෙ සේවකයෙකුගේ ශ්‍රමය නිදහසේ සූරා කෑමට ඉඩ හදන සහ මර්දනය නීතිගත කරන නව නීති සංශෝධන සඳහා වෘත්තීය සමිති දැඩි ලෙස විරුද්ධ විය. උක්ත සඳහන් ආකාරයේ නීති සංශෝධන මනාව ගැළපෙන්නේ වහල් යුගයට මිස Decent work ගැන හිතන සහ කතා කරන යුගයකට නොවේ.
කෙසේ වුවද නැවත වතාවක් මාලිමා ආණ්ඩුව යටතේත් නව සේවා නියුක්ති පනත පිළිබඳව අවධානය යොමු කර ඇත. එදා මනූෂ මෙම පනත ගෙනෙද්දී වත්මන් අගමැතිනිය හරිනි අමරසුරිය කෙටුම්පතට විරුද්ධව අදහස් දක්වමන් ප්‍රකාශ කළේ මෙම කම්කරු නීති සංශෝධනය IMF ව්‍යපෘතියට අනුව සිදු වන බවයි. එදා එය IMF අවශ්‍යතාව අනුව සිදු කළේ නම් වර්මානයේ ආණ්ඩුව එය සිදු කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යන්න ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුය.
මනූෂගේ වහල් නීතියෙන් කම්කරුවාට ලස්සන ජීවිතයක් ඇති කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුව ඇත. මනූෂ ගෙනා ශ්‍රමය සූරා කෑමේ පනතම නව දවටනයකින් ගෙන ඒමට අනිල් ජයන්ත කටයුතු නොකරනු ඇත. අනිල් ජයන්තද එම වහල් නීති පනතම ගෙන ආවොත් නැවත වටයකින් වෘත්තීය සිය අරගල ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට දෙවරක් නොසිතනු ඇත. එවැනි ක්‍රියාමාර්ග යනු NPP ආණ්ඩුවට ප්‍රභල අභියෝගයක් සහ තීරණාත්මක වනු ඇති අතර කම්කරු ආණ්ඩුවක්ය යන හැඳින්වීමම විහිළු සහගත වනු ඇත.
මතු සම්බන්ධයි.
