මුදල තරග පාවාදීමේ සචිත්‍රගේ ඉරණම

ජිමුත් ඉඳුසර රත්නායක

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුලු තවත් චෝදනා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය බවත්, තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු විසින් සඳහන් කළා.

2020 නොවැම්බර් 21 සහ 22 වන දා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීම හා ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් මෙකී චෝදනා එල්ල කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මින් පෙර දී ද අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබෙනවා.

එම අවස්ථාවේ දී සචිත්‍ර සේනානායක විසින් ඔට්ටුකරුවකු බව සඳහන් වන “ෂහීඩි” නැමැති පුද්ගලයෙකු සමග කටයුතු කර ඇති බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එවා ඇති වාර්තාවට අනුව එම ෂහීඩි නැමැත්තා ඉන්දියාවේ නවදිල්ලි නුවර ව්‍යාපාරිකයකු වන හෂිත් සේදි නමැත්තෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත්, එම ව්‍යාපාරිකයා ඔට්ටුකරුවකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වී සිටින බවත් ඔහුට ඩුබායි රාජ්‍ය සමග සම්බන්ධකම් තිබෙන බවත් ක්‍රීඩා විමර්ශන ඒකකය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර තිබුණා.

2020 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇලෙක්ස් මාෂල් නැමැති නිලධාරියෙකු එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණු අතර, පැමිණිල්ලට අනුව 2020 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට තමන් ක්‍රීඩාකරන ශෛලිය වෙනස් කර ක්‍රීඩා කිරීමට හෝ පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස සචිත්‍ර විසින් පෙළඹවීම් සිදු කර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබුණා.

සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර බුකීකරුවන්ගේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කර ඇතැයි යන සැකය එහි දී ප්‍රමුඛව ඉදිරිපත් කළ අතර මේ ජාලය පිටුපස ප්‍රබල පුද්ගලයින් සිටින බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා.

සචිත්‍ර සේනානායක ඒ අවස්ථාවේ දී පදිංචිය මගහැර විමර්ශනවලට සහය නොදී සිටි බව අධිකරණයේ දී කරුණු වශයෙන් ඉදිරිපත් කර තිබුණා. විමර්ශනවලට අවශ්‍ය දුරකථනයක් ඉල්ලා සිටිය දී ඔහු ඒ සඳහා අවශ්‍ය දුරකථනය ඔරු පදින අවස්ථාවක ජලයට වැටී එය විනාශ වූ බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ හෝ මෙවැනි චෝදනා එල්ල වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර නැවත ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරි අතර මාස තුනක විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා. කෙසේ හෝ එකී නඩුවෙන් අනතුරුවයි හම්බන්තොට මහාධිකරණය ඉදිරියේ මෙලෙස අධිචෝදනවා ගොනු කරනු ලබන්නෙ.

ක්‍රිකට් ක්‍රීඩාවට මෙවැනි මුදලට තරග පාවාදීම් සම්බන්ධ කාරණා අලුත් අත්දැකීමක් නොවන අතර 2000 වර්ෂයේ දී සිදු වූ හැන්සි ක්‍රොන්ජ් සම්බන්ධ සිදුවීම ඒ සඳහා උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

2000 අප්‍රේල් මාසයේදී, දිල්ලි පොලිසිය විසින් එවක දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක හැන්සි ක්‍රොන්ජ් සහ ඉන්දීය බුකීකරුවෙකු වන සංජේ චව්ලා අතර ඉන්දියාවට එරෙහි තරගාවලියක දී තරඟ පාවාදීම පිළිබඳව සාකච්ඡා කළ සංවාද පටිගත කිරීම් එළිදැක්වූ අතර ක්‍රොන්ජ් විසින් මුලින් චෝදනා ප්‍රතික්ෂේප කළත් පසුව තරග තොරතුරු සැපයීමටත්, ක්‍රීඩා ප්‍රතිඵලවලට බලපෑම් කිරීමටත් ආසන්න වශයෙන් ඩොලර් 140,000 ක අල්ලස් ලබා ගත් බව පිළිගත්තා.

ඒ අවස්ථාවේ දී දකුණු අප්‍රිකානු රජය විසින් පිහිටුවන ලද කිං කොමිසම මේ කාරණය විමර්ශනය කරමින් ක්‍රොන්ජ් ගේ කණ්ඩායමේ සාමාජිකයින් වන හර්ෂල් ගිබ්ස් සහ හෙන්රි විලියම්ස් වෙත මුදල් සඳහා තමන්ගේ හැකියාවට හා වෙනත් තරගවලදී දැක්වූ දක්ෂතාවලට වඩා අඩු දස්කම් දැක්වීමට යෝජනා ඉදිරිපත් කළ බව හෙළි වුණා 2000 ඔක්තෝබර් මාසයේ දී ක්‍රොන්ජ්ට මේ හේතුවෙන් ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවුණත්, ඉතා ම ඛේදජනක විදිහට ඔහු 2002 ජුනි මාසයේදී ගුවන් අනතුරකින් මිය ගියා.

ධනවාදය සමග ඇතිවන ගෝලීය තරගය සමග මුදල් හරහා පාලනය වන මෙවැනි ක්‍රීඩා මුදල්වලට විකිණීම වර්තමානය වන විට අරුමයක් නොවන්නේ එය සුලභ වශයෙන් ම සිදුවන නිසා ම යි. වර්තමාන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජේ ශා ට වුව එවැනි චෝදනා ඇති බව දූෂමාන ආරංචි විසින් හෙළි කරන අතර තරගාවසානයේ සාම්ප්‍රදානුකූලව ඔහු හා අතට අත දීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් හා කණ්ඩායම් හරහා ඒ සම්බන්ධව අපට ඉඟි සැපයෙනවා. ක්‍රීඩාව ගෝලීය ආර්ථිකය හමුවේ විනාශයට හා පරිහානියට පත් වීම සාමාන්‍ය වුවත් මෙවන් සිද්ධි හරහා රාජ්‍යයට හා ක්‍රීඩාවේ ජීවගුණයට සිද්ධවන කැළල සුළුපටු නොවන බව ඉතා ම පැහදිලියි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading