කෝලි ඇඬවූ බැංගලෝර් ජය

ජිමුත් ඉඳුසර රත්නායක

ඉන්දීය ප්‍රිමියර් ලීග් 20 – 20 ක්‍රිකට් තරගාවලියේ නිමාව සනිටුහන් කරමින් අවසාන මහා තරගය ඊයේ ( 04 ) උත්කර්ෂවත් අන්දමින් අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. පන්ජාබ් කින්ග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාන්ජාබ් කින්ග්ස් කණ්ඩායමේ නායක ශ්‍රේයාස් අයියර් ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පිටියට පිවිසි අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 190 ක් රැස් කරගනු ලැබුවා. එහි දී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි පන්දු 35 ක දී ලකුණු 47 ක් රැස් කළේ හතරේ පහර තුනක් ද සමඟින්.

පිළිතුරු ඉනිම ලෙස ලකුණු 191 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 184 ක් පමණයි. Shashank Singh ගේ පිත්ත බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු රැස් කිරීමේ නිරත වුවත් නිලකුණු පන්දු යවමින් ලකුණු 191 ක ඉලක්කය ආරක්ෂා කරගැනීමේ කාර්යය බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් කුර්නාල් පාණ්ඩ්‍යා පන්දුවාර හතරකදී ලකුණු 17 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්ජාබ් ඉනිම සුනුවිසුණු කළ අතර ශක්තිමත් ආරම්භක සබඳතාවය හේතුවෙන් ජයග්‍රහණය පිළිබඳ දෑස දල්වා බලා සිටි පන්ජාබ් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් 18 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. ඒ වසර 18 ක ඉතිහාසයේ පළමු වරටයි.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැංගලෝර් කණ්ඩායමේ හිටපු නායක, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝළි

“මේ ජයග්‍රහණය මගේ කණ්ඩායමට වගේ ම අපේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මග බලා සිටි ප්‍රේක්ෂකයන්ටත් එක හා සමානවම වටිනවා. ඒ ජයග්‍රහණය සඳහා අපිට වසර 18ක් දිගු කාලයක් ගත වුණා. 2008 දී ඉන්දීය ප්‍රිමියර් ලීග් සමාරම්භක වසරේ සිට සිට බැංගලෝර් කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටින මම මගේ තරුණ කාලය, මගේ ජීවිතේ හොඳම කාලය සහ මා සතු සියල්ල කණ්ඩායම වෙනුවෙන් කැපකළා. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දවසක් එයි කියලා. අවසාන පන්දුව යොමු කිරීමෙන් පස්සෙ මගේ හැඟීම් උතුරා ගලාගෙන ගියා”

යනුවෙන් කළ මෙකී සංවේදී ප්‍රකාශය සමාජ මාධ්‍යය ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර, එය තරගයේ උණුසුම වඩාත් තීව්‍ර කරමින් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය වඩ වඩාත් ඔප්නැංවීමට සමත් වුණා.

TOPSHOT – Royal Challengers Bengaluru’s Virat Kohli reacts while sitting beside the trophy after winning the Indian Premier League (IPL) Twenty20 final cricket match against Punjab Kings at the Narendra Modi Stadium in Ahmedabad on June 4, 2025. (Photo by Arun SANKAR / AFP) / — IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE —

තරගයේ වීරයා සම්මානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කුර්ණාල් පාණ්ඩ්‍යා හිමි කරගත් අතර, තරගාවලියේ වීරයා හෙවත් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූරියකුමාර් යාදෙව් සමත් වුණා. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සඳහා ලබාදෙන Orange Cap පැළඳුම මෙවර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ Sai Sudharsan හිමිකරගත් අතර වැඩිම කඩුලුලාභියා සඳහා ලබාදෙන Purple Cap පැළඳුම එම කණ්ඩායමේ ම Prasidh Krishna විසින් දිනාගනු ලැබුවා.

මෙසේ උත්සවාකාරයෙන් අවසන් වුවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය හා ජීව ගුණය කෙළෙසමින් තණතීරු තමාට අවශ්‍ය ආකාරයට ප්‍රමිතියෙන් තොරව සකසමින් හුදු සංදර්ශනයක් බවට පත් වී ඇති අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම යැයි ඇතැමුන් හඳුන්වනු ලබන්නේ ද ඒ නිසා ම යි. මුදලට තරග පාවාදීම්, ක්‍රීඩා තරග සඳහා ඔට්ටු දැමීම් ආදී දේ සමඟ සූදු පිටියක් බවට පත්වෙන මෙම තරගාවලිය ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් මුදල් හා සංදර්ශන මනෝභාවය හේතුවෙන් රඳවා තබාගෙන හිඳින ආකාරය ඉතාමත් ශෝකජනක යි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading