අනුරංග ජයසිංහ
රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් ලෙස ක්‍රියාත්මක වන පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වධය, වැඩවර්ජන සහ විරෝධතා නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
ඔහු එලෙස ප්‍රකාශ කරන්නේ, රජයේ විශ්වවිද්‍යාලයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන අතර වීම විශේෂත්වයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනයක් සතු ගෞරවය සහ එහි ඉගැන්වීමෙන් ලැබෙන වටිනාකම රටේ කිසිදු පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් ඔහුට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත්, පෞද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් බව ඔහු කල්පනා කරන්නේ නම් ඔහුට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් වීමේ හැකියා පවතිනවා.
කෙසේ වෙතත් දැන් පවතින අවාසනාවන්ත තත්ත්වය නිසා සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කරමින් ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන සිසුන් පවා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත පැමිණීමට අකමැත්තක් දක්වන බවත් ඔහු ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, සාමාන්‍ය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පාවිච්චි කළ නොහැකි අන්දමේ කෝටි තුනක පමණ වාහනයක් පාවිච්චි කරන ඔහු වැන්නෙකුට වඩා අතිබහුතරයක් පවුල්වල දරුවන්ට අදටත් ප්‍රධාන තෝරාගැනීම වන්නේ රජයේ විශ්වවිද්‍යාල.
ගැටලුව වන්නේ, නවක වධය වැනි පසුගාමී සංස්කෘතික ලක්ෂණ වෙනස් නොකිරීමෙන් එලෙස පැමිණෙන සිසුන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඔහු වැනි මහාචාර්යවරුනුත්, ශිෂ්‍යයනුත් අනෙක් අයත් අසමත් වන නිසයි.
එහෙත්, එයින් කියැවෙන්නේ නැහැ පුද්ගලික විශ්වවිද්‍යාල ඉතා විධිමත් බව. සාර්ථක බව. එය අංක එකේ තෝරාගැනීම වන බව. මහාචාර්ය වසන්ත අතුකෝරලට මෙන්ම තව බොහෝ දෙනෙකුට අදටත් ප්‍රමුඛ තෝරාගැනීම වන්නේ රජයේ විශ්වවිද්‍යාල.
මේ වෙද්දී මෙරට පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඉතා ඉහළ මිලකට උපාධි සහතික ලබා දුන්නද, විද්‍යාර්ථියෙකු ලෙස සිසුන්ගේ චින්තනය පුළුල් කිරීමට හෝ උසස් අධ්‍යාපන පසුබිමක් තැනීමට සමර්ථකමක් දක්වන්නේ නැහැ. බොහෝ ආයතන ඉතා කුඩා ඉඩකඩක පිහිටවූ, දේශනවලට පමණක් සිසුන් සහභාගී කරවාගන්නා වෙළඳ ආයතන ලෙස ක්‍රියාත්මක වනවා. මෙරට පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක ඉතා බරපතල ප්‍රමිති ගැටලුවක් පවතින අතර, පුද්ගලික විශ්වවිද්‍යාලවලින් බිහිවෙන උපාධිධාරීන්ගේ දැනුම මට්ටම පිළිබඳ ගැටලුද පවතිනවා.
කෙසේ වෙතත්, ඔහු සිය අදහස් දැක්වීමට පදනම් කරගෙන තිබුණේ රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති සැබෑ අර්බුදයක් වන නවක වධය. කෙසේ වෙතත්, ඔහු කී පරිදි ශිෂ්‍ය වර්ජන රජයේ විශ්වවිද්‍යාවල මෑත කාලයේ බරපතල ලෙස ක්‍රියාත්මක වී නැහැ. ඔහුගේ විශ්වවිද්‍යාලයේ හෝ ඔහුගේ පීඨයේ ශිෂ්‍ය වර්ජනයක් මෑත ඉතිහාසයේ නොතිබුණු බව අප සමඟ අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු පැවසුවා.
දරුවෙකුට විශ්වවිද්‍යාලයට පැමිණ නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැස ඇති නවකවධය ඇතුළු ගැටලු 100%ක් නිරාකරණය කළ යුතු බව වසන්ත අතුකෝරාළ කියා තිබෙනවා. එම අදහස් දැක්වීමට එකග විය හැකි නමුත්, විශ්වවිද්‍යාල සිසුන් සහ ඔහුත් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් නවක වධය ඇතුළු රජයේ විශ්වවිද්‍යාලවල ඇති අගතිගාමී තත්වයන්ට වගකිව යුතුයි.
ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිටින ප්‍රජාව කළ යුත්තේ මේ අර්බුදය මැද පුද්ගලික විශ්වවිද්‍යාල ගැන අනවශ්‍ය වර්ණනා කරමින් සිටීම නොව, රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු නිවැරදි කරගෙන උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමයි. නවක වධය වැනි අගතිගාමී ලක්ෂණවලට අනිවාර්යයෙන්ම මූලිකව වගකිව යුත්තේ සිසුන්. එහෙත්, රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ දැන් පවතින අඩුපාඩුවලට මහාචාර්ය අතුකෝරල වැනි ආචාර්යවරුන්ගේ ආකල්ප කෙතරම් බලපා ඇතිදැයි වෙනම සිතා බැලිය යුතුයි.
