අනුරංග ජයසිංහ
ඇමෙරිකන් රෙස්ලින් තරුවක වූ සබූ මැයි 11 වැනිදා හදිසියේ ජීවිතයෙන් සමුගත්තා. ඔහුගේ සැබෑ නම ටෙරී බ්‍රන්ක්. හැට එක් හැවිරිදි සබූ මරණයට පත් වෙන්නට සති දෙකකට පමණ කලින් ජීසීඩබ්ලිව් වළල්ලේදී ඉතා බිහිසුණු තරගයකට මුහුණදුන්නා. ඒ ඔහුගේ සමුගැනීමේ තරගය ලෙස නිවේදනය කර තිබුණා. සබූ ඒ තරගයේදී ඉතා බිහිසුණු අනතුරකට මුහුණ දන්නා. ඔහු මරණයට පත් වුණේ, සිය අවසන් තරගයේදී මුහුණදුන් අනතුරකින්ද? එය සංවාදයට ලක්ව තිබෙනවා. ඒ සියල්ලට වඩා, රෙස්ලින් ඉතිහාසයේ බිහිසුණුම දේවල් කරන ලද සබූ, රෙස්ලින් පිටියෙන් සමුගත් තරගය අවසන් වූ පසු ජීවිතයෙනුත් සමුගැනීම විශාල පිරිසක් කතා කරන්න හේතු වී තිබුණා. වළල්ලෙන් පිට ඔහුට තිබුණේ කුමක්ද?
සබූ කියන්නේ පුරාවෘත්තයක්. සබූ කියන්නේ ජෝන් සීනා, ද රොක් හෝ රෝමන් රේන්ස් වැනි ලෝකප්‍රකටම තරුවක් නෙවෙයි. එහෙත්, ඔහු පෙර කී තුන්දෙනාටම වඩා රෙස්ලින් ලෝකය වෙනස් කළ කෙනෙක් ලෙස සලකන්නත් පුළුවන්. ඔහුට රෙස්ලින්වලින් ඩොලර් මිලියන ගණන් උපයන්න ලැබුණේ නෑ. රෙස්ලින් ඔහුගේ ජීවිතයත්, ශරීරයත් විනාස කළා පමණයි. එහෙත් අවුරුදු හැට එකේදී ඔහු වේදනාකාරීම තරගයකට මුහුණදුන්නා. සාපේක්ෂව කුඩා ප්‍රේක්ෂකාගරයක් ඉදිරිපිට වේදනාකාරීම තරගයකට මුහුණදුන්නා.
ඒ තරගය ‘ඩෙත් මැච්‘ එකක්. රෙස්ලින් වළල්ලේ රෝප්ස් හෙවත් කඹ වෙනුවට තිබුණේ කටුකම්බි. වළල්ල වටේට කටුකම්බි යොදා තැනූ ඇඳවල්, මේස යනාදී වේදනා දෙන උපාංග ගොඩක් තිබුණා. සබූගේ ප්‍රතිවාදියා වුණේ ජෝයි ජැනෙලා. තරගයේ අවසන් අඩියේදී සබූ කටුකම්බියක් සහ මේස පලුවක් කඩාගෙන ගොස්, වළල්ලෙන් එළියට විසි වී කොන්ක්‍රීට් පොළොව මත හිස වද්දවාගත්තා. එය දුටු විට මේ මිනිසා පණපිටින් සිටින්නේ කෙලෙසදැයි කෙනෙකුට හැඟේවි. එහෙත්, මේ මිනිසා ජීවිත කාලයක් පුරාවට- වයස අවුරුදු හැටඑකේදී සමුගන්න තීන්දු කරන මොහොත දක්වා ඒක කළා.

ඉතින්, මේ සටහන සබූගේ මරණය ගැන.
මීට දශක කිහිපයකට පෙර ලංකවේත් පැතිරුණු උමතුවක්, ඊටත් වඩා දරුණු විදියට ඇමෙරිකාවේ තිබුණා. රාත්‍රී කේබල් රූපවාහිනියෙන් වාගේම සමහර වෙලාවට පාසැලේදී හෝ වෙනත් තැන්වලදී තරුණ පරපුර අතර හුවමාරු වූ වීඩියෝ ටේප්වලින් උමතුවෙන් වාගේ නැරඹූ වීඩියෝ විශේෂයක් තිබුණා. ඒ වැඩිහිටි වීඩියෝ නෙවෙයි. ඒ රෙස්ලින්. ඇමෙරිකන් රෙස්ලින්.
රෙස්ලින් බැලූ කෙනෙකුට 2006 වන් නයිට් ස්ටෑන්ඩ් සමහරමිට මතක ඇති. ඒ වෙද්දී ඩබ්ලිව්ඩබ්ලිව්ඊ විසින් මිලට ගෙන වසා දමා තිබුණු ඊසීඩබ්ලිව් නම් වූ බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි කරමින් පේ පර් වීව් එකක් කළේ, එතැන් පටන් සයිෆයි නම් වූ කේබල් නාළිකාවේ ඊසීඩබ්ලිව් නමින් සතිපතා නව ෂෝ එකකුත් කරන්න හිතාගෙනයි. වන් නයිට් ස්ටෑන්ඩ් එකේ මේන් ඉවෙන්ට් එක වුණේ ජෝන් සීනා සහ රොබ් වෑන් ඩෑම් අතර තරගය. මතක ඇති, තරගය වෑණ් ඩෑම් දින්නා. ජෝන් සීනා පරදා ලෝක ශූරතා බෙල්ට් එක වෑන් ඩෑම් ගත්තා.
එහෙත්, වන් නයිට් ස්ටෑන්ඩ් එකේදී රේ මිස්ටීරියෝ සහ සබූ අතර තරගයක් තිබුණා. ඒ ලෝක හෙවිවේට් ශූරතාව වෙනුවෙන්. මේ තරගයේදී සබූ පරාද වුණොත් ඊසීඩබ්ලිව් ප්‍රේක්ෂකාගාරය එතැනින් එහාට ෂෝ එක කරන්න ඉඩ තියන්නේ නෑ. මොකද, ඊසීඩබ්ලිව් ඇරීනා එක තුළ, ඒ ප්‍රේක්ෂකාගාරය තරහා ගස්වන්නට කොන්දක් කාටවත් තිබුණේ නෑ. ඒ නිසා, තරගය ඉවර වුණේ මේසයක් මත සිට මිස්ටීරියෝගේ උඩට සබූ කඩාපාත්වීමෙන්. දෙන්නාම දැඩිව ආබාධයට ලක් වූ බව කියමින් ජයග්‍රහණයක් නැතිව තරගය ඉවර කළා. එයින් පසු 2006 වෙන්ජන්ස් එකේදී ජෝන් සීනා සහ සබූ අතර තරගයක් තිබුණා. මෙන්න මේ දිනවල තමයි අප පුංචි දරුවන් ලෙස සබූව දැක්කේ. හත්දෙයියනේ ඒ මිනිහා අ ජීවිතේ දැක ඇති බිහිසුණුම මිනිහෙක් කියා පුංචි අපි හිතුවා.
ප්‍රතිවාදියාගේ මුහුණට පුටු ප්‍රහාර එල්ල කිරීම, මේස මතට ඇදවැටීම වගේ බොහෝ දේවල් ඔහු කරපු විදියට රෙස්ලින්වල කිසි දෙනෙක්ට කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ ඉතා අවදානම් පෙනුමැති ඇදවැටීම්, පැනීම් වෙන කිසිවෙක්ට ඒ විදියට කරන්න බෑ.

අද ඒ පරණ තරග බලද්දී ස්ලින්ග්ෂොට් මූන්සල්ට්, ත්‍රිපල් ජම්ප් මූන්සල්ට් යනාදී ඔහු ඇතැම්විට පුටු, මේස පාවිච්චි කරමින් ප්‍රේක්ෂකයන් ඉදිරියේ මවා පෑ විස්මිත දර්ශන නැවත නරඹද්දී හැඟෙන්නේ, තවකෙකුට විනෝදාස්වාදයට සැපයීමට කෙතරම් දේවල් කළ හැකිද කියායි.
එහෙත්, ඇත්තටම සබූ වැදගත් වෙන්නේ ඔය කියන 2006 කාලයේ අප දුටු තරග නිසා නෙවෙයි. සබූට ඒ කාලයේදී හරියට ඉස්මතු වෙන්නට ඉඩ දුන්නේත් නෑ. සබූව තරුවක් විදියට උඩට ගෙනාවේත් නෑ. එහෙත්, රෙස්ලින්වල රසිකයන්ව තව බොහෝ දේ හොයන කෙනෙකුට ඇත්ත සබූ හමුවෙනවා. රෙස්ලින් වෙනස් කළ සබූ මුණගැනෙවා. ඒ අනූ ගණන්වල මැද සිටි සබූ. ඉතිහාසයේ යට ගිය, හරි අසීරුවෙන් සොයාගෙන නැරඹිය යුතු අනූ ගණන්වල ඊසීඩබ්ලිව් ටේප්වල සිටි සබූ.
ඒ සබූ තමයි රෙස්ලින් වෙනස් කළ සබූ.
රෙස්ලින් ඉතිහාසයේ කාටවත් කිසිදා අනුකරණය කරන්නට බැරි රෙස්ලර්ස්ලා ඉන්නවා. සුළුතරයක්. අන්ඩර්ටේකර් වෙන්න වෙන කිසි කෙනෙක්ට බෑ. ඒ ඔහු සිය චරිතය ඉදිරිපත් කළ විදිය අනුකරණය කරන්න බැරි නිසා. ස්ටීව් ඔස්ටින් වෙන්න කාටවත් බෑ. මොකද ඔහු සිටි මොහොත යළි උදා නොවෙන හින්දා. රේ මිස්ටීරියෝ අනුකරණය කරන්න කාටවත් බෑ. මොකද ඔහුගේ ශරීර හැඩය, ඔහු කළ දේවල් කිසි කෙනෙක්ට කරන්න බැරි හින්දා. මෑන්කයින්ඩ් (මික් ෆෝලි) වෙන්න කාටවත් බෑ.
ඉන්නවා එහෙම කිහිපදෙනෙක්. එවැන්නෙකුගේ මරණයත් එක්ක ඔහුගේ ශෙලිය මරණයට පත් වෙනවා. සාබූ එවැන්නෙක්. ඔහු විසින් රෙස්ලින් වළල්ලේදී පෙන්වූ හිංසනය, බිහිසුණුකම ඔහුගේ ශෛලියෙහි තිබුණු අවදානම් සහගත බව කිසිවෙකුට අනුකරණය කරන්නට බැහැ. ඒ වාගේම ඔහුගේ රෙස්ලින් ශෛලිය නිසාම ඔහු වයස අවුරුදු හැට දක්වා ජීවත් වීම පමණක් නොවෙයි, මරණයට සති දෙකකට පෙරත් ඔබේ ජීවිතේ ඔබට දකින්නට ලැබෙන බිහිසුණුම රෙස්ලින් දර්ශන ඇතුළත් ඩෙත් මැච් එකක ක්‍රීඩා කළ බවත් හිතාගන්නට බැහැ.
කටුකම්බි, පුටු, ලේ යනාදී බොහෝ දේ රෙස්ලින් නම් වූ විකෘති සහගත බිහිසුණු ක්‍රීඩාමය කලාවට මිශ්‍ර කරන්නට සබූ සමත් වුණා. රෙස්ලින් තිරය මත සබූ සිටියදී කිසිසේත්ම ඇස් එළියට ගන්නට බැහැ. ඔය අතරේ අපූරු ප්‍රශ්නයක් අපි අපෙන් අසන්නට ඕනෑ. ඇත්තටම සබූ පෙන්වූ ඒ බිහිසුණු දර්ශනවල තිබුණු විනෝදාස්වාදය මොකක්ද? රසය මොකක්ද? මිනිස්සු ඒ තරම් ඒකට ආශක්ත වුණේ ඇයි? රෙස්ලින් බාල රසාස්වාදයක්ද? නැත්නම් එහි අපට නොපෙනෙන ආකර්ෂණීය යමක් තිබුණාද?
රෙස්ලින් බොරු කියා කියන ඕනෑ කෙනෙකුට සබූගේ සිරුරේ ඇති කැළැල් තොගය පෙන්වන්නැයි වතාවක් කෙනෙකු කියනු ඇසුණා. ඔහු ඇමෙරිකාවේත්, ජපානයේත්, යුරෝපයේත්, මෙක්සිකෝවේත් තව බොහෝ තැන්වලත් ගොස් තිස්පහස්දෙනෙක් ඉදිරියේ වුණත් දස දහස් ගණන් සෙනඟ ඉදිරියේත් බිහිසුණුම ප්‍රකාශනයන් තමන්ගේ ශරීරය පාවිච්චි කරමින් කරන්නට සබූ දෙවරක් හිතුවේ නෑ. ඒ ඇයි?
ඔහුගේ පාඨය වුණේ හොමිසයිඩල්, සුයිසයිඩල්, ජෙනොසයිඩල්, මේනියැක් කියලයි. මිනීමරු, සියදිවි නොතකන, සමූලඝාතක වියරු කෙනෙක් ලෙසයි ඔහු තමන්ව හඳුන්වාගත්තේ. ඇත්තටම මනුෂ්‍ය ශරීරය එතරම් බිහිසුණු හැසිරීම් තුළින් දකින්නට මිනිසුන්ගේ සියුම් ආශාවක් නැතිද? සබූ ඒ කාලේ තරග පටන් ගත්තේ ඉතා පහත්ව, සතෙකු සපන්නට පනින ආකාරයෙන් ප්‍රතිවාදියාගේ කකුලට කඩා පනිමින්. එයින් පසු ප්‍රතිවාදියාව බාහු බලයෙන් යට කර ගැනීමට ක්ලෝස්ලයින් හෙවත් ශරීරයෙන් අනෙකා බිම හෙළීම යනාදිය කරනවා. එයින් පසු ඔහු වළල්ල මතට ගියා. ඔහු ඉතා අනායාසයෙන් දිවගෙන විත්, පුටුවකට කකුල තියා ඉලප්පී වළල්ල මතට යනවා. වළල්ලේ අනායාසයෙන් තමන්ගේ සමබරතාව රැකගෙන වළල්ලෙන් එළියේ සිටින ප්‍රතිවාදියා මතට මූන්සල්ට් එකක් (කරණමකින් පැනීමක්) දෙනවා. ඔහුගේ මේ අර්ධ තිරිසන් හැඩතල මෙන්ම වළල්ල මත ජිම්නාස්ටික් පන්නයේ හැකියාවන් පෙන්වීම ඇත්තෙන්ම ආකර්ෂණීය වුණා.
සබූගේ අවසාන තරගය සති දෙකකට පෙර තිබුණේ ජීසීඩබ්ලිව් ආයතනයේයි. එහෙත් ඔහු 1993 පමණ සිට 2000 දක්වා නිව් ජැපෑන් ප්‍රෝ රෙස්ලින් සහ ඊසීඩබ්ලිව් ආයතන දෙකේ තමයි සිය හපන්කම් පෙන්වුවේ. වින්ස් මික්මෑන් විසින් මිලට ගත් පසු ඊසීඩබ්ලිව්හි තිබුණු බිහිසුණු ලක්ෂණ අවසාන වුණා.
ඔය කාලයේ ලෝකයේ ලොකුම රෙස්ලින් ෂෝ දෙක වුණේ මන්ඩේ නයිට් රෝ සහ මන්ඩේ නයිට්‍රෝ යන දෙක. ඉතා දැවැන්ත මිලියන ගණන් මුදල් තිබුනු සමාගම් දෙකක් මේ දෙක මෙහෙයවූවා. එහෙත්, ඒ දෙකේම රෙස්ලින් මඳක් ඒකාකාර වෙමින් තිබුණේ. ඔය අතරේයි, විකල්පයක් සෙවූ ප්‍රේක්ෂකයන්ට වීඩියෝ ටේප් හරහා ඊසීඩබ්ලිව් මුණගැසුණේ. පසුව ඩබ්ලිව්ඩබ්ලිව්ඊ සමාගම සම්පූර්ණයෙන්ම ඊසීඩබලිව් අනුකරණය කරන්න ගත්තා. ඔවුන් ඇටිටියුඩ් යුගය ආරම්භ කළේ ඒ අනුකරණයේ දිගුවක් විදියට.
ඊසීඩබ්ලිව් අවසන් වූ පසු සීඉසෙඩ්ඩබ්ලිව් සමාගම මාරාන්තික රෙස්ලින්වල තිඹිරිගෙය වුණා. සබූ අවසන් තරගයට ආවේ එතැනට. තරගය ඉතා බිහිසුණු ලෙස ගියත්, නොසිතූ ලෙස පෙර කී පරිදි සබූ දරුණු අනතුරකට මුහුණදුන්නා.
සබූ වැටී සිටියදී, තරගයට බාධා කරමින් වෙනත් කිහිපදෙනෙකු කඩාවැදීමට පෙර කර තිබුණු සැලසුමක්, නියමිත වෙලාවට වඩා ඉක්මන් කරන්නට සිදුව තිබුණා. සබූ හා ඊසීඩබ්ලිව් යුගයේ සිට ප්‍රතිවාදී සහ මිතුරු සම්බන්ධයක් තිබෙන සෑන්ඩ්මෑන්ද තරගයට කඩා වැදුණා. කෙසේ වෙතත්, අවසානයේ නැගී සිට තරගය සබූ ජයගත්තා. ප්‍රේක්ෂකයන්ගෙන් සමුගත්තා. එහෙත්, සබූ දැවැන්ත ලෙස රුධිරය වහනය වීම් සහ තුවාලවලට ලක් වුණා. ඔහුගේ අවසාන තරගයත් දරුණු ඩෙත් මැච් එකක් වීම විශේෂත්වයක්.
ඇත්තෙන්ම සබූගේ බලපෑම් සහගත බව විස්තර කළේ මීට වසර කිහිපයකට පෙර පෝල් හේමන්. ඊසීඩබ්ලිව් ආයතනයේ වැඩසටහන් ප්‍රධානියා වූ ඔහු, දැන් රෙස්ලින්වල ප්‍රකටම චරිතයක්. ඔහුගෙන් වරක් විමසුවා, ලැබූ ජනප්‍රියත්වයට වඩා විශාල ජනප්‍රියත්වයක් ලැබිය යුතුව තිබුණු රෙස්ලින් තරුව කවුද කියා. ඔහු නොපැකිලව දුන්නේ සරල උත්තරයක්.
සබූ!
එයින් පසු ඔහු මෙසේ කීවා.
‘තමන්වම විනාශ කරගත්ත පැත්තට සබූ බරයි. එහෙත්, සබූට ඊසීඩබ්ලිව් එකෙන් ලැබුණ ප්‍රේක්ෂකාගාරයට වඩා විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ තමන්ගේ හැකියා පෙන්වන්න සබූට අවස්ථාව ලැබෙන වෙලාව වෙද්දී සබූගේ ශරීරය බිඳී ගිහින් තිබුණා. වළල්ලේදී කරපු දේවල් වගෙම වළල්ලෙන් පිට කරපු දේවල් නිසා. ලෝකයට අවස්ථාවක් ලැබුණේ සැබූගේ ඉහළම හැකියාව දකින්න. එක්කෝ ඔට 1993- 94 කාලයේ වීඩියෝ ටේප් තියෙනවා නම් මිස ඔහුගේ හැකියාවන් ඔබ දැක නැහැ. ඒ කාලයේ සජීවිව දැක්කා නම් සබූව දකින්න පුළුවන්. යූටියුබ් එකෙන් වුණත්, වෙන තැනකදී වුණත් ඔබ දකිනවා නම්. සැබූ ඒ කාලයේදී විප්ලවීයයි. ඔහු තමන්ගේ කාලයට වඩා ඉස්සරහින් හිටියොත් වෙන්නේ, ඔබ කරන දෙයින් ඔබ මුදල් උපයන්නේ නෑ. ඔබේ සංකල්ප හොරකම් කරලා අනෙක් අය සල්ලි උපයනවා. ඊසීඩබ්ලිව් එක බංකොළොත් වුණා. ඇටිටියුඩ් එරා එක බිලියනපතියන් වුණා. සබූ එයට ගොදුරු වුණා. සබූ ඉතිහාසගත වෙන්නට තිබුණේ ඉතිහාසයේ හිටපු සුවිශේෂීම සුපිරි තරුවක් විදියට. ඔහුට ඒ ලෙගසි එක ලැබුණ බව මා හිතන්නේ නෑ. ඒකට ඔහුත් යම් දුරකට වගකිව යුතුයි. මගේ උත්තරේ ඒකයි. තමන්ට ලැබුණ ජනප්‍රියත්වයට වඩා වැඩි ජනප්‍රියත්වයක් ලැබිය යුතුව තිබුණු කෙනෙක් ඉන්නවා නම් ඒ සබූ.‘
ඔහු මේ විස්තර කළේ, සබූ ඒ කාලයේ කෙතරම් බලපෑම් සහගත ප්‍රබල චරිතයක්ද කියායි.
ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින්, මෑන්කයින්ඩ්, ත්‍රිපල් එච්, ෂෝන් මයිකල්ස්, ද රොක්, එජ් ඇන්ඩ් ක්‍රිස්ටියන්, ඩඩ්ලි බෝයිස් ඇතුළු තරුවලින් 1990 අග වෙද්දී රෙස්ලින් ලෝකය ‘ඇටිටියුඩ් එරා‘ නම් යුගය පසු කළා. මේස, පුටු, ඉණිමං මෙන්ම ඊළඟ කුමක් සිදුවේදැයි සිතාගන්නට බැරි තරම් නීතියක් ධර්මයක් නැති ලෝකයක් රෙස්ලින් වැඩසටහන් තුළ දකින්න ලැබුණා. ලංකාවේත් ලෝකයේත් තරුණ පරම්පරාව වීඩියෝ ඩෙක් හෝ සීඩී හෝ වෙනත් විවිධාකාර ක්‍රමවලින් රෙස්ලින් නැරඹුවේ ඔය කාලයේ. සබූ නැත්නම් ඒ යුගය උදා වෙන්නේ නැහැ. පෝල් හේමන් නම් වූ නිර්මාණකරුවාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊසීඩබ්ලිව් නම් වූ සාපේක්ෂව කුඩා රෙස්ලින් සමාගම තිබුණේ නැත්නම් ඔය කිසිවක් වෙන්නෑ.
ඒ කුඩා රෙස්ලින් සමාගමේ සිටි සෑන්ඩ්මෑන්, ටෑස්, රොබ් වෑන් ඩෑම්, රේවන්, මෑන්කයින්ඩ් යනාදීන් මෙන්ම කිසිවෙකුට සම කළ නොහැකි සබූ ඒ වෙද්දී රෙස්ලින් ලෝකයේ කිසිවෙකු නොදුටු තරම් බිහිසුණු, ඊළඟට සිදුවෙන දේ අනුමාන කළ නොහැකි, වීරයන් නොවන- දුෂ්ඨයන් නොවන බිඳී ගිය පෞරුෂයන් තිබුණු විකල්ප රෙස්ලින් වීරයන් වුණා.
පසුව සමාගමේ ආර අනුකරණය කළ ඩබ්ලිව්ඩබ්ලිව්ඊ හිමිකරු මික්මෑන් ඩොලර් මිලියන ගණන් හෙව්වා. රෙස්ලින් වෙනස් වුණා.
නැවත වරක් සරලව කීවොත්, සබූ සහ ටෙරී ෆන්ක් කියන දෙන්නා නොසිටියේ නම් රෙස්ලින් මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුණා. ඉතින්! බිහිසුණු දේ කරමින් ප්‍රේක්ෂකයන් සන්තර්පණය කරන්නට වෙහෙස වූ, එයට ලැබිය යුතු ගෞරවයත් නොලද සබූ ඔය විදියට රෙස්ලින් පිටියෙනුත් ජීවිතයෙනුත් සමුගත්තා.
