ඩෙන්වර් මාර්ක්
ෆ්‍රැන්සිස්කෝ උපත ලබන්නේ වමට බර ලතින් අමෙරිකාවේ ආර්ජන්ටිනාවේ. ඔහු ලතින් ඇමරිකාවෙන් පාප් තනතුරට පත් එකම පුද්ගලයා ද වෙනවා. කතෝලික සභාවේ පාප් තනතුර ඉතිහාසය පුරාවමට විවිධ ආකාරයෙන් විවේචනයට ලක් වුණ තනතුරක්. විශේෂයෙන්ම ඉතිහාසයේ ජන සංහාරයන් හා සමඟ ද කතෝලික සභාවේ නම කියවෙනවා. සභාව පෙනී සිටින්නේ මිනිසුන් වෙනුවෙන් ද නැත්නම් රටවල් පාලනය කරන ලෝකයේ පාලකයන් වෙනුවෙන් ද යන්න මතභේදාත්මකව ඉස්මතු වුණ කරුණක්. තවද දැඩි මතධාරී පාලනයක් සහිත සභාවක් ලෙසත් කතෝලික සභාව නම් දරා සිටිනවා. විශේෂයෙන්ම ආන්තික ජන කොටස් නැත්නම් marginalized communities පිළිබඳ එහි ස්ථාවරය අතීතයේ සිටම පැවතියේ අන්තවාදී ස්වරූපයෙන්. තවද ක්‍රිස්තු ධර්මයේ මූලික කුළුණ වන ජේසුස් වහන්සේ පෙනී සිටියේ දුප්පතුන් නැත්නම් දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු වෙනුවෙන් වුවත්, කතෝලික සභාවේ මහ ගෙදර වන වතිකානුවේ වත්කම් හා දේපොළ ද, නායක තනතුර දරන පාප් තනතුරට තිබුණ වරප්‍රසාදිත තත්ත්වය නිසාම පසුගිය දශක ගණනාවක සිට කතෝලික සභාවේ ජනප්‍රියතාවය කෙමෙන් බිඳ වැටෙමින් පැවතියා. විශේෂයෙන්ම ආන්තික ජන කොටස් සහ තරුණ ප්‍රජාව කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කරන සහ හැර යන ප්‍රවණතාව දිනෙන් දින වැඩි වූ බව නොරහසක්. කතෝලික සභාව ආයතනයක් වන අතර එහි මූල්‍යමය ධනවත්බව සහ එහි පාලකයන් ධනවාදී ස්වරූපයෙන් හැසිරීම ද, විවිධ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව නොයෙක් වර විවේචනයට ලක් වුණා. කතෝලික සභාවේ තීරණ නායකයා ගන්නා අතර සාමූහික ලෙස එම තීරණ ගැනීමට වතිකානුවේ අනෙක් අංශ ද දායකත්වය ලබා දෙනවා.
ෆ්‍රැන්සිස් පාප් තනතුරට පත් වන්නේ ද මෙවැනිම මතභේදාත්මක පරිසරයකදී. ඔහුට පෙර බෙනඩික් පාප් වහන්සේ තම සෞඛ්‍ය තත්ත්වය මත විශ්‍රාම ගත්තා යැයි පැවසුනු ද සැබෑ හේතුව කතෝලික සභාව තුළ පැවති දැඩි මතභේදය ඔහු දිගටම පවත්වා ගැනීම යන්න බව ද කතා වෙනවා. නමුත් සියල්ල උඩු යටිකුරු කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහු තේරී පත් වූ පසු මුල සිටම පාප් තනතුරට ලැබෙන වරප්‍රසාදිත බව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ඔහුගේ ධූර මුල් කාලයේදීම ජනප්‍රිය වුණා. එය පුද්ගලික කැමැත්ත මත සිදු වුණා විය හැකි සම්භාවිතාව වැඩි වුණත් පල්ලියේ ජනප්‍රියතාව අඩු වීම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ කාරණයක් ද වන්නට පුළුවන්. කෙසේ හෝ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පුද්ගලික දෘෂ්ඨිවාදය සැළකිල්ලට ගැනීමේදී ඔහු එම තීරණවලට නිර්ව්‍යාජව මැදිහත් වූ බව ද පෙනෙන්නට තිබුණේ ඔහුගේ බොහෝ තීරණ සහ ප්‍රකාශ උසස් තැන් දරන වතිකානුවේ දැඩි මතධාරී කාදිනල්වරුන්ගේ නිරන්තර විවේචනයට ලක් වුණ නිසයි. බිඳ වැටෙමින් පවතින කතෝලික සභාවට ප්‍රගතිශීලීබවක් ගෙන දෙන්නට උත්සාහ කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ මිය යන්නේ කතෝලික සභාව හැර යමින් සිටි පිරිසගේ ද ගෞරවය ලබා ගනිමින්. නමුත් මීට පෙරද බෙනඩික් පාප් වහන්සේට පෙර දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ යම්තාක් දුරකට ප්‍රගතිශීලී පියවරයන් රැගෙන තිබුණා. වතිකානුවේ නායකයා කිනම් ප්‍රගතිශීලී පියවරයන් ගත්තා ද කතෝලික සභාව පවතින සෑම රටකම කතෝලික සභාවන් එම තීරණ පිළිපදින බවක් දක්නට ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව එයට හොඳම නිදසුනයි.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගත් ප්‍රගතිශීලී හැරවුම් ලෙස,
1. කතෝලික සභාවේ ව්‍යුහයන් සහ භාවිතයන් ප්‍රතිසංස්කරණය කිරීම:
ඔහු පල්ලිය තුළ කාන්තාවන්ට වැඩි නායකත්ව භූමිකාවන් ලබා දීමට යෝජනා කළේ ඔවුන්ව වත්පිළිවෙත්වලට දායක කර ගනිමින්. ආසියාව, අප්‍රිකාව සහ ලතින් අමෙරිකා මහද්වීපවලින් වැඩි කාදිනල්වරුන් පත් කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, කතෝලික පල්ලියේ ආධිපත්‍යය දරා සිටි යුරෝපය කෙන්ද්‍රීය බලය අඩු කළා. බයිබලය පාදක කරගත් යුරෝපයේ පැවති නීති යුරෝපීය ආක්‍රමණ මඟින් ආසියාතික, අප්‍රිකානු, ලතින් අමෙරිකානු රටවල විවිධ ජන ප්‍රජාවන් “ආන්තීකරණයට සහ අපරාධකරුවන්” වූයේ විශේෂයෙන්ම මෙමඟින්. එය එසේ වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුරෝපයෙන් පිටත තේරී පත්වුණු පළමු වෙනි පාප් වහන්සේ වෙමින්. ඔහු පල්ලිය තුළ වඩාත් විවෘත හා සියලු ප්‍රජාවන් එකතු කරගන්නා වාතාවරණයකට දිරිමත් කළ අතර, සාකච්ඡා සදහා වැඩි අවස්ථා ලබා දෙමින් සහ විවිධ දෘෂ්ටිකෝණ සඳහා ඉඩ ලබා දුන්නා.
2. දරිද්‍රතාවය වෙනුවෙන් පෙනී සිටීම:
දුප්පතුන් සහ ආන්තිකකරණයට ලක් වූවන් රැකබලා ගැනීමේ වැදගත්කම නිතරම අවධාරණය කළ ඔහු කතෝලික පල්ලිය “දුප්පතුන් වෙනුවෙන්” විය යුතුබව අවධාරණය කළා.
3. සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම:
සංක්‍රමණිකයන් සහ සරණාගතයින් කෙරෙහි මානුෂවාදී ලෙස වඩාත් පිළිගත හැකි ස්ථාවරයක් ගන්නා ලෙස ඔහු ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ අමෙරිකාවේ ජනපති ට්‍රම්ප් පළමුවර ජනපති වූ කාල වකවානුවේදී යි. “තාප්ප ඉදි කිරීම ක්‍රිස්තියානිකමක් නොවේ” යැයි ද ඔහු වරෙක පැවසුවා. යුද්ධය පවතින රටවල සාමය පිළිබඳ හඬ අවදි කළ ඔහු යුද්ධයේදී මිය යන සාමාන්‍ය මිනිසුන් ගැන අවධානය යොමු කළා. විශේෂයෙන්ම ගාසා හි ඝාතනය වන දරුවන් පිළිබඳ ඔහු සංවේදී වුණා.
4. පාරිසරික ගැටළු ප්‍රවර්ධනය කිරීම:
ගෝලීය උණුසුම සඳහා ධනවත් ජාතීන්ගේ දායකත්වය විවේචනය කරමින් ඔවුන් දේශගුණික විපර්යාසයන් පිළිබඳ සදාචාරාත්මක වගකීමක් බාරගත යුතු බව ප්‍රකාශ කළා.
5. LGBTIQ ප්‍රජාවේ ගැටළු ආමන්ත්‍රණය කිරීම:
සමලිංගික ප්‍රජාවන් පිළිබඳ ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට “ඔවුන් විනිශ්චය කිරීමට මම කවුද?” ලෙස ප්‍රසිද්ධ පිළිතුරු ලබා දුන්නා. තවද “දෙවියන් වහන්සේ ඔබ මවා ඇත්තේ මෙලෙසයි සහ උන්වහන්සේ ඔබට ආදරෙයි” යනුවෙන් ද පවසා තිබුණා. සමලිංගික වීම නිසා ඔවුන් අපරාධකරුවන් බවට පත්කිරීමට විරුද්ධ වුණු ඔහු “සමලිංගික වීම අපරාධයක් නොවේ” යැයි ද පැවසුවා. නමුත් “සමලිංගික ක්‍රියා අපරාධයක් නොවුණත්, කතෝලික පල්ලියේ සදාචාරයට” අනුව එය ‘පාපයක්’ බවද පසුව පවසා තිබුණා. සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් බවුතීස්ම ස්ථාපනය කිරීමටත්, දේව මාපියන් (God’s parents) ලෙස නම් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. සමස්තයක් ලෙස සමලිංගික යුවලවල් සහ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් ආශිර්වාද කිරීම පිළිගත් ඔහු කතෝලික පල්ලිය විසින් එම ප්‍රජාවන් පිළි ගැනීම පුළුල් කළා. මේ කාරණා කතෝලික සභාව තුළ නායකත්වය දරන බොහෝ කාදිනල්වරුන්ගේ විවේචනයට ලක්වුණා. නමුත් විවාහය සිදු විය යුත්තේ ජීව විද්‍යාත්මක ගැහැනියක හා පිරිමියෙකු සමඟ බවද ඔහු ප්‍රකාශ කළා.
6. HIV වසංගතය මැඩලීම සහ HIV සමඟ ජීවත් වන්නට සහාය වීම :
ඔහු HIV ව්‍යාප්තියට එරෙහිව කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන වැඩසටහන/UNAIDS වැනි ආයතන හා එක්ව කටයුතු කළ අතර HIV සමඟ ජීවත් වන්නන් කොන් කිරීම හෙළා දැකීම කළ අතරම ඔවුන්ට සෞඛ්‍ය ප්‍රවේශයන් සහ ඖෂධ සදහා ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියා. තවද කතෝලික පල්ලියේ පැවිදි අය HIV සමඟ ජීවත් වන්නන්ට සහාය වීම කළ යුතු බව අවධාරණය කළා. නමුත් HIV ව්‍යාප්තිය අවම කරන කොන්ඩම් භාවිතය පිළිබඳ ආසන ලද ප්‍රශ්නවලට සෘජු පිළතුරුක් ලබා නොදෙමින් ඔහු පැවසුවේ කොන්ඩම්, HIV ව්‍යාප්තිය අවම කරන එකම විසදුම නොවන බවත් ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණ බවත් කියමින්.
එලෙස බොහෝ ප්‍රගතිශීලී ප්‍රකාශ, පෙනී සිටීම් සහ තීරණ සිදු කරන අතරතුර තරුණ වියේ සිටම දීර්ඝ කාලීනව නියුමෝනියා රෝග තත්ත්වයෙන් පෙළුණු ඔහු මිය ගියත් ඔහුගේ අවමංගල්‍යය කටයුතු චාම් අයුරින් පැවැත්වීමටත්, දේහය සාමාන්‍යයෙන් පාප් වහන්සේ කෙනකුගේ දේහය මහජන ගෞරවය දැක්වීමට තබන “උස් ස්ථානයේ” නොතබන බවටත්, දේහය තැන්පත් කරන පෙට්ටිය කතෝලික පල්ලියේ සාම්ප්‍රදාය අනුව විවිධ ලී වලින් සකසන පෙට්ටිය වෙනුවට සාමාන්‍ය පෙට්ටියක තබන ලෙසත් ඉල්ලා තිබෙනවා. තවද ඔහුගේ දේහය ප්‍රධාන දේවස්ථානයෙන් පිට වතිකානුවේම වෙනත් තැනක මිහිදන් කරන ලෙස ද ඉල්ලා ඇති අතර පාප් වහන්සේ කෙනෙකු ප්‍රධාන දේවස්ථානයෙන් පිට මිහිදන් කරන ප්‍රථම අවස්ථාව ද මෙය වෙනවා.
දැන් පැන නගින මූලික ප්‍රශ්නය වන්නේ ෆැන්සිස් පාප් වහන්සේ ගෙනගිය යම් ආකාරයේ ප්‍රගතිශීලී ප්‍රවේශය කතෝලික සභාව ඉදිරියට ගෙන යයි ද නැත් ද යන්නයි. ඒ මත කතෝලික සභාවේ ඉරණම විසඳෙනු ඇත. මිනිසුන් පෙලන දැඩි මතවලින් කතෝලික පල්ලියෙන් මිනිසුන් ඉවත් කරනවාද, නැත්නම් සියලු මිනිසුන් පිළිගන්නා ක්‍රිස්තු ධර්මය අනුව යනවා ද නැත් ද යන්න නුදුරේම අපට බලා ගන්නට පුළුවන්. පෙර සඳහන් කළ පරිදිම ඔහුගේ තීරණ සහ ප්‍රකාශ විවේචනය කළ කාදිනල්වරු සිටි අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙක් මීළඟට පාප් ධූරය සදහා ද පත්වීමට ඉඩ කඩ තිබෙනවා. නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රවේශය අනුමත කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින කාදිනල්වරු ද ඒ අතර සිටිනවා. සමාවෙන්න,
අපේ කාදිනල් නම් එහි නැත!
