“මගේ ගෙදර තියෙන වටිනාම දේ ඔයාගෙ චිත්‍රෙ” කියල ඇය මට අද කිව්වා.
සිංහල, හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීමේ ජාතික උත්සවය – 2025
යනුවෙන් චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක පොඩි සටහනක් එක්ක මේ රටේ අගමැතිනියගේ ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඉතින්, ලියුම්කරුගේ කුතුහලය ඇවිස්සුණා. මොකක්ද මේ වටිනාම දේ. මොකක්ද හරිනිගේ නිවසේ තියෙන වටිනාම දේ බවට පත් වූ ප්‍රගීත් රත්නායකගේ චිත්‍රය. මොකක්ද එහි ඉතිහාස කතාව. රටක නායිකාවක් වෙච්ච ඇයගේ නිවසට යන්න තරම් වටිනා රත්තරන් ප්‍රගිත් අත තිබුණේ නැහැ. ප්‍රගීත්ගෙන් හරිනි අතට ගිය වටිනාම වස්තුව වන්නේ ඔහුගේ ‘ඒක රූප‘ කියන තේමාවට අයිති චිත්‍රයක්.

මේ චිත්‍රය අගමැතිනියගේ අතට ලැබී තිබුණේ චිත්‍ර එකතු කරන්නියකගෙනුයි. ප්‍රගීත්ගෙන් එය මිලට ගෙන තිබුණේ, හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වීමේදී ඇයට ත්‍යාගයක් ලෙස ලබා දීම පිණිසයි.
කල්පනා කර බලන්න, රටේ අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය පත් වූ මෙහොතේ, ඇයට ත්‍යාගයක් දෙන්නට සිතන කෙනෙකු විසින්, චිත්‍රයක් ලබාදීම සුදුසුම ත්‍යාගය ලෙස සිතන්නේ නම් එය කෙතරම් වටිනවාද? ඒ තෑග්ග තමන්ගේ නිවසේ තියෙන දේවල් අතරින් වැදගත්ම දෙය බව සිතනවා නම් එය කොච්චර වටිනවාද?
හරිනි ගිය ප්‍රදර්ශනය
අපි ප්‍රගීත් රත්නායකගේ චිත්‍රයෙහි අර්ථය ගැන කතා කරන්නට කලින්, ප්‍රගීත්ම මීට කලින් අගමැතිනිය ගැන කීව කතාවක් උපුටා දක්වන්නම්. ඇය ප්‍රගීත්ගේ එකලස් රූප ප්‍රදර්ශනය බලන්නට ආ අවස්ථාවේ ප්‍රගීත් ලියූ සටහන මේ.

‘මේ පින්තූරයේ ඉන්නෙ Harini Amarasuriya Lal Kanthe Kandy සහ Upul Kumarapperuma මගේ චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ආපු වෙලාවක ගත්තු ඡායාරූපයක් .මම ඉස්සර හිතන් හිටියෙ කලාව සම්බන්ධව ජවිපෙ අදහස පරණ එකක් කියල.ඇත්තටම මේ තුන්දෙනා මේ එන්නෙ පෞද්ගලික කලාගාරයක් වන බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරයට. ලංකාවේ කලා සමාජයේ බහුතරයක් දෙනාත් මේ කලාගාර අවකාශයන් වෙත එන්නෙ නැති කාලෙකත් ඔවුන් ඒක හඹා ආවා. කලාව සම්බන්ධ ඔවුන්ගෙ කියවීම මම එදා තේරුම් ගත්තා . අපේ කලා නිර්මාණ පණිවුඩ දෙන ප්‍රචාරනවාදි එකක් නෙවි. සාමාන්‍යයෙන් ජවිපෙ කලාව කියල පැරණි අර්ථයෙන් එහෙම තැනක හිටියෙ. ඔවුන් මේ වෙද්දි කලාවේ විවිධ ෂානරයන් උරාගනිමින් මයින්ඩ් ලයින් එක පුලුල් කර ගත්තු කණඩායමක්. දේශපාලනිකවද සංස්කෘතිකවද සමාජයීවද ඔවුන් පැරණි තැනින් ගොඩක් දුරගමන් කරමින් අලුත් ලෝකයට එකතු වෙලා. චිත්‍රය ,සිනමාව ,නාට්‍ය,නවකතාව කෙටි කතාව ,සාහිත්‍ය ,තාක්ෂණය ආදි ඉසව්ල NPP එක කතිකාමය සම්බන්ධයක් ඇතුළෙ ගොඩක් ඉදිරිගාමී තැනක ඉන්නෙ. මේ පින්තූරය කලාව පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත දේශපාලනය වගේම අලුත් එකක් කියල මම හොඳටම දන්න නිසා දැම්මෙ. මේ වෙලාවෙ හරිනි අමරසූරිය අගමැති ලෙස පත්කිරීම දේශපාලනිකව NPP එක ගත් දියුණුතම තීරණයක්. හරිනි කියන්නෙ NPP එකට විතරක් නෙවි ලංකාවටම ඉන්න ෆුල් පැකේජ් එකක්.‘
එකලස් රූප
එකලස් රූප කියන සංකල්පය අගමැතිනියගේ නිවසේ තියෙන චිත්‍රය පමණක් නොව, ප්‍රගීත්ගේ කලා නිර්මාණ ගණනාවකදී පාවිච්චි කර ඇති තේමාවක්. ප්‍රගීත් කී විදියට එම තේමාවම සිය ශාස්ත්‍රපති උපාධියටත් පාවිච්චි කර තිබුණා. මේ සංකල්පය සරල වචනවලට දැම්මොත්, ඔහු කර ඇත්තේ කුඩා හතරැස් කොටු තුළ විවිධාකාර මනුෂ්‍ය රූප ඇඳීම. එහෙත්, හතරැස් කොටුව ඇතුළේ ඔහු අඳින මිනිස්සු මනුෂ්‍යයන් ලෙස මිස ඒ අයගේ අනන්‍යතාව කිසිසේත්ම හඳුනාගන්න බැරි විදියටයි ඔහු අඳින්නේ. චිත්‍ර කලාවේදී මනුෂ්‍යයෙකු ඇඳීමේදී පාවිච්චි කරන බෙල්ලයි හිසයි ඇති කටුම කටු සටහන්වල ඇති හැඩයයි ඔහු අඳින්නේ. ඒ මනුෂ්‍යයා ගැහැණියෙක්ද? පිරිමියෙක්ද? කුමන ජාතියකට අයත්ද? කුමන වයස් සීමාවකද? යනාදී බොහෝ දේ බලන්නාට හඳුනාගන්න බැහැ. දිස්වෙන එකම දේ මනුෂ්‍ය රූපයක් පමණයි. ඒ මනුෂ්‍යයාට අනන්‍යතා දී තිබෙන්නේ පසුව මිනිසුන් විසින් දුන්න නිර්මිතයන් තුළින්. ඒ නිර්මිතය සංකේවත් කරන්නේ කොටුවෙන්. හරි හතරැස් කොටුව කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කළ හැඩයක්.

ෆුබියාචි සීක්වන්ස් වැනි ගණිතමය සහ ස්වභාව විද්‍යාත්මක සංකල්ප ගැන දන්න හඳුනන ඕනෑ කෙනෙකු කියන දෙයක් තමයි, ස්වභාවධර්මය කෙතරම් පරිණත ලෙස හැඩතල නිර්මාණය කර තිබෙන්නේද යන්න. සමමිතික හැඩතල ගහක කොළයක, මිනිස් සිරුරක දකින්න තියෙනවා. ඒත්, සොබාදහම හරි හතරැස් කොටු නිර්මාණය කර නැහැ. එය මනුෂ්‍ය නිර්මිතයක්. අප පුද්ගලයන්ට ලබා දී ඇති චරිත ලක්ෂණ, අනන්‍යතා යනාදී බොහෝ දේත් නිර්මිතයන්.
ගැහැණිය කියන්නේ කවුද? පිරිමියා කියන්නේ කවුද? ඒ ඒ ජාතීන් කියන්නේ කවුද? මේ යනාදී බොහෝ දේ මිනිසුන් විසින් ‘ශිෂ්ඨාචාරය‘ කියන එක ඇතුළේ නිර්මාණය කරගත් දේවල්.
හරිනිට ලබා දුන් චිත්‍රයේ නම්, ඔහු බෝඩ් මත ඇඳ එය කැන්වසය මත ඇලවීමෙන් නිර්මාණය කර තිබුණා. ඔහු විසින් තහඩු මත අඳින ලද මිනිස් රූප ඇතුළත් මෙම චිත්‍ර මාලාවේ තව චිත්‍රයක් කලා පොළේදී මා දුටුවා. තවත් චිත්‍රයක් දකින්න ලැබුණේ කියුරාඩෝ නම් ගැලරි අවකාශයේදී.
අපේ රටේ මධ්‍යම පාන්තික සමාජය විතරක් නෙවෙයි, ඇකඩමික සමාජයත් චිත්‍ර කලාව පිළිබඳ ලාලසාවකින් කතා නොකරන තරම්. කුමන හෝ වෛවර්ණ චිත්‍රයක් ගෙන බිත්තියේ එල්ලාගැනීම කලාව ඇගයීමක් ලෙස සලකන්න බැහැ. මධ්‍යම පාන්තික නිවෙස්වල සිය උසස් බව පෙන්වීමට එලෙස අලවාගත් චිත්‍ර නම් ඕනෑ තරම් දක්නට ලැබෙනවා. එහෙත්, එම කලාව තුළින් නිරූපණය කෙරෙන මනුෂ්‍යත්වය ඒ මිනිස්සු තුළ නෑ.
මේ සියලු මිනිසුන් කොටුවල සිර කර තැබීමෙන් තව තේමා ගණනාවක් මා කියවාගත්තා. එකක් තමයි, සමාජ මාධ්‍ය. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයක විවිධාකාර මිනිසුන් මිලියන ගණන් හතරැස් කොටුවක් (දැන් නම් ප්‍රොෆයිල් පික්චර් එක රවුමක් තුළ දිස්වෙනවා.) තුළ සිටින රූපරාමුවක සිර කරනවා. අපි පුද්ගල ඡායාරූපයක් රාමු කරන්නේත්, අන්තර්ජාලයේ ඡායාරූපයක් පළ කරන්නේත් හතරැස් රාමුවක් තුළ.
ඊට අමතරව වෘත්තිය ජීවිත, ජනවාර්ගිකත්වය යනාදී බොහෝ දේ මේ සියලු මිනිසුන් කොටුවල, රාමුවල සිර කිරීම් ලෙස සංකේතවත් කළ හැකියි.
අනෙක් අතට, අප තුළ සිටින සැබෑ මනුෂ්‍යයාව අප අප තුළම සිර කරගෙන සිටිනවා. අපේ රාමුවෙන් එළියට ඒ මනුෂ්‍යයාට එන්නට දෙන්නෑ. අපි හැමෝම, කෘත්‍රිමව නිර්මාණය කරගත්ත අර්ධ මනුෂ්‍යත්වයක් තමයි එළියට පෙන්වන්නේ. ඒ විදියට දිදුලන මනුෂ්‍යත්වය සිර කර තැබීමත් මෙයින් සංකේතවත් කරනවා.
එහෙත්! ඒ සියල්ලට යටින් සිටින මිනිසුන් හැමෝම ඉතාම සරල සහ ස්වාභාවික මනුෂ්‍යයන් නේද? අප හැම තුළම ආවේග, වේදනා, සතුට, දුක, ආදරය මෙන්ම වෛරය හුවමාරු වෙන්නේ සරල මනුෂ්‍යයන් අප තුළ සිටින නිසා නේද?
ඉතින්! හරිනි අමරසූරිය අගමැතිනියගේ නිවසේ තියෙන වටිනාම වස්තුව සංකේතවත් කරන්නේ සරල මනුෂ්‍යත්වයයි.
ප්‍රගීත් අසනීප වුණ මොහොත
එකලස් රූප කියන චිත්‍ර මාලාව ගැන මීට පෙර වතාවක අදහසක් ලියමින්, ප්‍රගීත් රත්නායක ලියූ සටහනක් මේ. එතැනදී ඔහු හෙළිදරව් කරන්නේ, මේ සංකල්පය බිහි වීමට මුල් වුණේ තමන්ගේම අසනීප තත්වයකදී චිත්‍ර අඳින ක්‍රමය වෙනස් කිරීමට ගත් උත්සාහයක් බව.
‘පසුගිය මාස හත අටකට පෙර මාගේ අසාමාන්‍ය නිදිමත ගතියක් නිසාවෙන් වෙහෙසකර තත්වයකට පත් වූයෙමි. වාහනය පදවන සැමවේලාවකම සහ colour light එකේදී නවත්වන තත්පර කීපයේදී වුවද නිදිමත මා සොයා ආවෙමි. දිගින් දිගට එසේ වීමත් සමග වාහනය අනතුරට ලක් වීමට ගිය අවස්තාද කිහිප විටකි. මාගේ ජීවන විලාශයේ ගොඩක් දේවල් මේ සමග වෙනස් වූ අතර නේවාසිකව ප්‍රතිකාර ගැනීමටද සිදු විය. ඒ අසනීප තත්වයත් සමග රැකියාව සඳහා යාමටද හිත නුදුන් අතර මාස ගණනක් ගෙදරට වී සිටියෙමි.
කෙසේ වෙතත් මම චිත්‍ර අඳින මනුස්සයෙක් බැවින් මට එයින් මිදීමට හැකියාවක් තිබුනේ නැත. මා රෝහල්ගත වී සිටියදී නොයෙක් අය විවිධ විදියට උදව් කළ අතර මගේ බිරිඳ ,මල්ලී ගයාන් සහ අශාන් සහ ලක්සරා ඒ අතර ලොකු කැප කිරීමක් කළා .ඒ ඔක්කොමත් හරි අයියා සුජිත් රත්නායක චිත්‍ර අඳින්න අවශ්‍ය උපකරණ රෝහලටම ගෙනත් දුන් අතර ගෙදර ඇවිත් මාව ශක්තිමත් කළ හැටි ආදරණීයයි. තව විවිධ අය එක එක විදියට මාව බලා ගත්තා.
බලන්න මගේ මේ චිත්‍රය දිහා .මම වෙනද ලොකු කැන්වස්වල ලොකුවට චිත්‍ර ඇන්දා. ඒත් වෙහෙසකර තත්වයත් එක්ක එහෙම අඳින එක එක දිගට කරන්න අමාරුයි. ඊට පස්සේ මම තාක්ෂණිකව මගේ චිත්‍ර ඇඳීමේ ක්‍රමවේදය වෙනස් කරන්න උත්සාහයක් ගත්තා. වෙනදා අඩි 4අඩි 5 වගේ කැන්වස්වල ලොකුවට අඳින චිත්‍ර වෙනුවට පොඩි පොඩි චිත්‍ර ගොඩක් ඇඳල එක ලොකු චිත්‍රයක් හදන්න උත්සාහය ගත්තා. මේ එහෙම කරපු මුල් චිත්‍ර පෙළේ එකක්. සංකල්පීයව කලින් චිත්‍ර සමග සාම්‍යයක් තිබුනත් visualy ටිකක් වෙනස්.
“එකලස් රූප” ලෙස නම් කරන මේ චිත්‍ර පෙළ මට එක්තරා විදියට මට එක්තරා විදියක භාවනාවක්. එකට හිටියට ගොඩක් මිනිස්සු තනිව ඉන්නෙ. නූතන යුගයේ මිනිස්සු තව මිනිසෙකුට ගෞරව කලා. විශ්වාස කලා. සාරයක් නඩත්තු කලා. මිනිස් කතිකාව ඇතුළෙ මනුස්සයෝ උනා. tool එකකට වඩා ඒ tool එක හදපු මිනිස්සු වැදගත් උනා. දැන් මේ මොහොතේ tool එක බලවත් වෙලා. එය දැන් “තමන්ට වඩා දෙයක්” බවට පත් වෙලා. මම තාමත් නුතනවාදී මිනිහට ආදරෙයි. නිම නොවන වර්තමානයක සුරතාන්තයට පත් වෙන්න සිහින දකින මිනිස්සු ජීවත් වනවා කියන්නේ වෙන දේවල් කරන එකට.‘

රනිල්ගේ පොත් සහ හරිනිගේ චිත්‍ර
කිසිම සම්බන්ධයක් නැතත්, බොහෝ අය මේ සටහන අල්ලාගෙන කියන්නට ඇති දෙයක් මා දන්නවා. ඒ, රනිල් වික්‍රමසිංහගේ පොත්පත් එකතුව. රනිල්ගේ රංගනයන් අනුව ඔහුගේ නිවසේ ඇති වටිනාම වස්තුව ඔහුගේ පොත් එකතුවලු. ඉතින්, එය අරගලකරුවන් ගිනිතිබ්බාලු. ඒ ගැන දුකලු. ඒත් ඇත්තටම රනිල් වික්‍රමසිංහගේ නිවෙස්වල සිදු වූ දේවල් දැනගන්නට ඕනෑ නම් අප යා යුත්තේ 2022 දී ඔහුගේ පස්වැනි පටුමගේ සිදු වූ සිදුවීම් මාලාවට නෙවෙයි. අසූ ගණන්වල අගදී ඔහුගේ නිල නිවාසයත් තිබිච්ච බටලන්ද නිවාස සංකීර්ණයේ සිදු වූ සිදුවීම් මාලාවටයි. කලාවට ලැදි බව රඟපෑවෙන් අමනුෂ්‍යයන්ට තමන් තුළ ඇති තිරිසන්කම වසා ගන්නට බැහැ. අමනුෂ්‍යයන්ට කෝට් ඇඳලා තිරිසන්කම වසාගන්න බැහැ. කෝට් ඇඳුම් ඇඟට හරිහැටි ඇඳෙන්නේත් නෑ.
අගමැතිනිය ගැන මේ සටහන ලියන්නට හේතු වන්නේ ඇය ප්‍රගීත්ගේ චිත්‍රය අගය කළ නිසා පමණක් නෙවෙයි. ඒ චිත්‍රයෙන් සංකේතවත් වන සැබෑ මනුෂ්‍යත්වය ඈ තුළ ඇතැයි අපට අවංකව හැඟී යන නිසායි.
