ලාල් ජාජබ මන්ත්‍රීලාව දන්නෑලු! නිර්මාල් ජවිපෙ දුප්පත්ලු! ඕවා අහලා ආණ්ඩුවට විහිළු කරල අත පිහදාගමුද?

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද කියාවත් තමන්ටම අඳුනාගන්නට අසීරු බව කේඩී ලාල්කාන්ත කියා තිබුණා.

එම ප්‍රකාශය විශාල හාස්‍යයකට ලක්වෙමින් පවතිනවා. ඒකට අමතරව, ආණ්ඩුවට සහයෝගය දැක්වූ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියූ කතාවකුත් සමාජ සංවාදයට ලක් වෙනවා. මේ දෙකම ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කරන කරුණු වුණා. ඒ තුළින් වත්මන් ආණ්ඩුවත්, ආණ්ඩුවට සහයෝගය දෙන අයවත් අවබෝධ කරගැනීමට අපූරු දොරක් විවර වෙනවා. පොරොන්දු වෙනවා, මෙහි අරමුණ අනෙක් හැමෝම කරනවා වගේ ලාල්ගේ සහ නිර්මාල්ගේ ප්‍රකාශයන් අල්ලාගෙන ආණ්ඩුවට ‘ඔච්චම් කර‘ දේශපාලන වාසියක් ගැනීම නෙවෙයි. ඒකෙන් අප කාටවත් ප්‍රයෝජනයක් නෑ. දෙකට බෙදිලා වාද විවාද කරගන්න නම් පුළූවන්.

කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා කියා තිබුණේ, ඇතැම් මන්ත්‍රීවරුන්ව තමන් වේදිකාවලදී පවා දැක නැති බව. ගුණෙ අයියාගේ කාමරේ යූටියුබ් නාළිකාව සමඟ සාකච්ඡාවකදීයි ඔහු එලෙස කියා තිබුණේ.

”පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රි සංයුතිය ගත්තොත් NPP කියන අන්තර්ඝතය සහිත ආපු අය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ.තාම අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා මට සැකයි සජිත්ලගේ කවුරු හරි කෙනෙක්ද අපේ කෙනෙක්ද කියලා.දැක්කම එකපාරට අදුරන්නේ නැහැ.ආවනේ 159ක් .ඇත්තම කියනවනම් මම වේදිකාවක දැකලා නැහැ සමහරු.අපේ හයිලයිට් වුන සමහර අය නැහැ…අහන්නත් බැහැ මල්ලි (සහෝදරයා)අපේ පක්ෂෙද කියලා…”

ඒ අනුව, ඔහු තමන්ගේම කණ්ඩායමට විහිළු කරන්නට උත්සාහ කරලා කියලා බොහෝ අය හිතනවා. එහෙත්, ඇත්තටම ලාල්කාන්ත මෙතැන නිර්භයව කියා ඇත්තේ තමන්ගේ ආණ්ඩුව බිහි වුණේ තමන්ටත් හිතාගන්නට බැරි තරම් වේගයෙන් ජාතික ජන බලවේගය එක්ක අලුතින් එකතු වූ විශාල පිරිසකගේ දායකත්වයෙන් බව. ඇත්ත, ලාල්කාන්ත කියන තනි පුද්ගලයාට පුද්ගලිකව දැන හැඳුනුම්කමක් ඇති කරන්නටත් ඉඩ නොලැබෙන තරමේ වේගයකින් විශාල පිරිසක් ජාතික ජන බලවේගයට එකතු වුණා. ඒ බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු පවා ගියා. ලාල්කාන්ත ඔවුන්ව හඳුනන්නේ නැතැයි කීම තුළින්, ඒ අය කිසිවෙකු නොදන්නා පුද්ගලයන් බවක් කියැවෙන්නේ නෑ. අනිවාර්යයෙන් මේ සියලුදෙනාව සම්බන්ධ කරගෙන ඇත්තේ යම්කිසි පුද්ගලයෙකුගේ සහතිකයක් ලැබීමෙන් වෙන්න ඇති. ආචාර්ය මහාචාර්යවරුන් බොහොමයක් ජාතික ජන බලවේගයට ආවේ හරිනි අමරසූරියලා, ලියනගේ අමරකීර්තිලා යනාදී ඇකඩමික නායකයන්ගේ අනුදැනුම මත. නීතිඥවරුන් සම්බන්ධ වුණේ උපුල් කුමරප්පෙරුමලා, හර්ෂණ නානායක්කාරලා ඇතුළු නීතිඥ ප්‍රජාවගේ සම්බන්ධතා සහ අනුදැනුම මත. මීට අමතරව සමාජවාදී තරුණ සංගමයේ සම්බන්ධතාවලිනුත්, විවිධ ප්‍රදේශවල ජාතික ජන බලවේගයේ සම්බන්ධතාවලිනුත් පිරිස් එකතුවෙලා ඉන්නවා. ඒ නිසා, මේ අය ලාහෙට ඇහින්ද ගෙම්බො නොවන බව නම් ඇත්ත වෙන්න ඇති.

ඇත්තටම ජාතික ජන බලවේගය 2022 අරගලයේ ආනුභාවයෙන් කළේ කුමක්ද? 2019 ජාතික ජන බලවේගය කියන්නේ සෑහෙන දුරට ජනතා විමුක්ති පෙරමුණ වුණා. ප්‍රකට සිවිල් චරිත ගණනාවක් ජාතික ජන බලවේගය වේදිකාවේ කතා කළාට එය සෑහෙන දුරට ජනතා විමුක්ති පෙරමුණ කියන කාඩර පක්ෂයෙන් සමන්විත වුණා. එනම්, පූර්ණකාලීන සාමාජිකයන්ගෙන් සමන්විත පක්ෂය.

අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය, උපුල් කුමරප්පෙරුම, නිහාල් අබේසිංහ ඇතුළු අප නම් සඳහන් කළ සහ නොකළ එන්පීපී මහමොළකරුවන් කළේ කාඩර පක්ෂයක් මහජන පක්ෂයකට පරිවර්තනය කිරීම. කාඩර පක්ෂයක ඉන්නේ පූර්ණකාලීනයන්. දීර්ඝකාලීනව මතවාදයක් දැරීම සඳහා පුරුදු පුහුණු කළ පූර්ණකාලීනයන්. දැවැන්ත පක්ෂ විනයක් සහිත, ඉහළින් එන පක්ෂයේ අණට කීකරුව වැඩ කරන පූර්ණකාලීනයන්.

මේ දේශපාලන ව්‍යාපාරය ආණ්ඩුවක් තැනුවාට ඔවුන්ගේ දේශපාලන ලිහිල්භාවය තමයි ලාල්කාන්ත මෙතැන ඉස්මතු කළේ. ඇත්තටම ලාල් මාස් පක්ෂයකට වඩා, කේඩර් පක්ෂයකට කැමති බව ඔහු කතා කරන ස්වරයෙන් හැඟෙනවා. ඒත්, ඔහු ලිබරල් සහ ලිහිල් කෙනෙක්. ඔහු ඔය ලිබරල් සිවිල් සමාජයේ කරක් ගසමින්, මිතුරු හමුවලටත් යමින් එමින්, ජාතික ජන බලවේගයේ වත්මන් මධ්‍යම පාන්තික ස්වභාවය ගොඩනැගීමට දායක වූ කෙනෙක්.

ලාල්ගේ අදහස් දැක්වීම තුළ ඔහු මතු කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ සිටින ජනතා විමුක්ති පෙරමුණ නොවන අර මාස් පාටි පැත්ත ගැන. මේ අදහස ගැන අතුරු නිරීක්ෂණයක් කියන්නම්. ඔය රාජපක්ෂ ආණ්ඩු කාලවලදීත්, වෙන ආණ්ඩු කාලවලදීත් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට ලොකු පිරිසක් තේරී පත් වුණාම තමන්ගෙම කණ්ඩායම හඳුනාගන්න බෑ. ඕක තමයි, නූතන පොදුජන දේශපාලන පක්ෂවල ලක්ෂණය.

ලාල් කියන්නේ තමන්ට සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ අයවත්, තමන්ගෙ පක්ෂයෙන් තේරී පත් වූ අයවත් පැටලෙන බව පමණයි. ඒත්, ඇත්තටම තමන්ගේ පක්ෂයෙන් තේරී පත් වුණ අයගේ හිසේ තියෙන අදහස් ගැන ලාල්කාන්ත හෙව්වොත්? සමගි ජන බලවේගයේ අදහස්, පොහොට්ටුවේ අදහස්, දිලිත්ලාගේ අදහස් යනාදී විවිධ අදහස් දරණ අය ඇති නේද? පොදුජන පක්ෂයක ලක්ෂණය තමයි ඒක. පොදු වැඩක්  වෙනුවෙන් එකතු වුණාට ඒ අය හැමෝම එකම මතවාදයකට තදින් බැඳිලා නෑ. විවිධ අයට තියෙන්නේ විවිධ අදහස්.

නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රකාශය තුළ බොහෝ අය ඉස්මතු කර ඇත්තේ දේශපාලන දැක්ම අතින් මෙන්ම දැනුම අතින් ජනතා විමුක්ති පෙරමුණ දුප්පත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස කීමයි. ඔහුම කියා ඇති පරිදි, ඔහු එය කීවේ ජනතා විමුක්ති පෙරමුණ හෑල්ලුවට ලක් කිරීමට නෙවෙයි. කෙසේ වෙතත්, නිර්මාල්ගේ කතාව තුළ ඉස්මතු කර ඇත්තේ මේ ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණ පැත්ත ගැන. එනම්, කාඩරය ගැන.  

‘ඒගොල්ලන්ගේ දේශපාලන දැක්ම වුණත් ටිකක් දුප්පත් එකක්. උදාහරණ්‍යක් විදියට ඒගොල්ලෝ තවමත් පදනම් වෙන්නේ ඒගොල්ලන්ගේ පංති පහ කියන එක උපයෝගී කරගෙන. පංති පහ කියන්නේ ඒ තරම්ම දැන් තියෙන දේශපාලනය පිළිබඳව, ඒක ඇවිල්ලා හැත්තෑ ගණන්වල වුණත් ගැලපුණේ නැහැ. එත්, ඒගොල්ලන් පංති පහ ආරම්භ කළේ සාමාන ග්‍රාමීය පුද්ගලයන්ට දේශපාලන දැනුමක් ලබා දීම සඳහා. ඒගොල්ලන්ගේ ප්‍රකාශන බැලුවොත්, නියමුවා පත්තරය වගේ ඒවා ඒ තරම්ම අදහස්මය වශයෙන් ඒ තරම් පොහොසත් ඒවා නෙවෙයි. අදහස්මය වශයෙන් ගත්තත් සාමාන්‍ය වශයෙන් දුප්පත් ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. ඉතින්, මම මූලික වශයෙන් කතා කරන්නේ මේ වගේ දුප්පත් ව්‍යාපාරයකට. මේකෙන් කියන්නේ සල්ලි නැහැ කියන අර්ථයෙන් නෙවෙයි. සංස්කෘතිකමය වශයෙන්, දැනුම වශයෙන් දුප්පත් ව්‍යාපාරයකට කැමති වුණත් නැති වුණත් රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. මේක ඇවිල්ලා මේ ළඟදී නලින් හේවගේ කියලා කියන්නේ සාමාන්‍ය ජනතා විමුක්ති පෙරමුණේ මං මේ කතාකරපු ලක්ෂණවල හොඳ නියෝජනයක්. ඔහු දේශපාලන වේදිකාවල කතා කරන ඒවා බොහොම මතභේදයට තුඩුදෙනවා. ඔහු කියලා තියෙනවා විදේශ සංචිත ගැන කතා කරලා මතභේදකාරී තත්වයක් ඇති වුණා. ඔහු කියා තිබුණා මම මේ කතා කරන්නේ අපේ රැස්වීම්වලට, අපේ කතා අහන්න එන අයට. ඒකේ එක්තරා විදියකට කියනවා අපේ කතා අහන්න එන්නේ බුද්ධිමත් කතා අහන්න එන අය නෙවෙයි, ඒකේ ඇත්තක් තියෙනවා. මේක එක්තරා විදියක රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ ලොකු ලොකු මොළකාරයින්ට ඡන්දය දුන්න කාලයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණත් හිටියා අපි උගතුන්, උපාධිධරීන් කියලා ඡන්දය ඉල්ලුවේ. එහෙත්, සාමාන්‍ය යෙන් ජනයාගේ අවබෝධයක් තියෙනවා. ජනයා දන්නවා සංස්කෘතික වශයෙන් ගත්තාම රනිල් වික්‍රමසිංහලා, නාමල් රාජපක්ෂ වුණත්, සජිත් ප්‍රේමදාස වගේ අයට, සාමන්‍ය යෙන් අපේ රටේ ඉංග්‍රීසි කතා කරනකොට වෙනම අනන්‍යතාවක් තියෙනවානේ. සජිත් ප්‍රේමදාස ඉංග්‍රීසි කතා කරනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු උපාධි අරවා මේවා තියෙනවා කිව්වාට මේගොල්ලන්ට සාමාන්‍ය මිනිස්සු සලකන්නේ අපිට ගැලපෙන උගත්තු විදිය.‘

මේ දෙදෙනාම ආණ්ඩුවට හිතවත්කම් සහ දායකත්වයක් දැක්වූ පිරිස්. ඔවුන්ම ආණ්ඩුව පිළිබඳ සමාජය වෙත ඉදිරිපත් කරන කරුණු මේ. මීට අමතරව මේ වෙද්දී මාළිමාව නියෝජනය කරමින් අපේම වීඩියෝවල කමෙන්ට් කරන අයත්, සමාජ මාධ්‍යවල කමෙන්ට් කරන අයත් මෙන්ම පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින ඇතැම් අය කරන කියන දේවලිනුත් අපට පෙනෙන්නේ මේ ආණ්ඩුව මතවාදීව සිටින්නේ දුර්වල ස්ථාවරයක බව.

මේ අතර මාළිමාවේ පංති ස්වභාවය ගැනත් අපි කල්පනා කළ යුතුයි. ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් අතිබහුතරයක් ජනතාව මෙතැන නිර්මාල් රංජිත් දේවසිරිත් පෙන්වාදුන් අන්දමට සාමාන්‍ය පොදුජනයා වූ බව නොරහසක්. සාමාන්‍ය වැටුපට වැඩකරන රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන්, ගොවීන්, ධීවරයන් ඇතුළු මැදි හා අඩු ආදායම්ලාභී පීඩාවට ලක්වෙන පන්තිකොටස්වල විශාල ජනතාවක් ඡන්දය දුන්නා. නලින් හේවගේලා කතා පවත්වනවායැයි මෙතැන මේ කියන්නේ එවැනි ජනකොටස්වලට.

එහෙත්, මාළිමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කේ.ඩී. ලාල්කාන්ත දැකලාවත් නොමැති අය අතරින් සෑහෙන පිරිසක් මධ්‍යම පාන්තික, උගත් පුද්ගලයන් බව පැහැදිලියි. නීතිඥයන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන් මෙන්ම තව බොහෝ මධ්‍යම පාන්තික කොටස් එහි සිටියදී ඇත්තටම පහළ පන්තිය නියෝජනය කරන පිරිස් පාර්ලිමේන්තුවේ අඩුයි. ජාතික ජන බලවේගය එවන් අය පාර්ලිමේන්තු යැවූ පසු පළාත් පාලන මට්ටමට ඒ ඒ ප්‍රදේශවල මහේස්ත්‍රාත් උසාවිවල පෙනී සිටින නීතිඥවරුන්, ගුරුවරුන්, විදුහල්පිතිවරුන් යනාදී මධ්‍යමන්තියේ ඊළඟ මට්ටමේ පිරිස් අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. මෙයත් පොදුජන පක්ෂයක් බවට පත් වූ ජාතික ජන බලවේගයේ පංති ස්වභාවය ගැන නිරීක්ෂණයක් විදියට කරන්න පුලුවන්.

ඉතින්! ඔය ඔක්කෝම නිරීක්ෂණ කළාට පස්සෙ අපි තේරුම් ගන්න ඕනෑ කුමක්ද? මාළිමාවේ ඉන්නේ අහවල් ජාතියෙ අයය, ඒ අයව ලාල්කාන්ත දැකලාත් නැතිය කියමින් අපට උපහාස අපහාස කළ හැකිද? පොහොට්ටුව තමන්ගෙ අපේක්ෂක යාන්ත්‍රණය පුරවාගත්තේ කොන්ත්‍රාත්කාරයන්ගේ, මැරයන්ගෙන්, දූෂිත දේශපාලුවන්ගෙන්. එදා සිටම යූඇන්පීයත් කළේ ඒක. බොරුවට අතරින් පතර වඩාත් ජනකාන්ත සහ ජනතාවාදී දේශපාලනඥයන් යූඇන්පී- ශ්‍රී ලංකා කඳවුරු දෙකේ සිටියත් ඒ පක්ෂ දෙකේම අභ්‍යන්තරය කුණු වී ගඳගසන කැත දේශපාලනඥයන්ගෙන් පිරී තිබුණා. එවැනි කණ්ඩායමකට එකතුවෙන වඩාත් ශිෂ්ඨ සම්පන්න අය පවා පසුකාලීනව ජරා ක්‍රමයෙහි ගොදුරු බවට පත් වුණා.

ඒ අනුව, මෙතැන අපට ජාතික ජන බලවේගයේ කණ්ඩායමට සිනහසෙන්නට දෙයක් නෑ. අනෙක, මතවාදීව ජවිපෙ දුප්පත්යැයි නිර්මාල් කියද්දී එයින් කියැවෙන්නේ නෑ යූඇන්පී හෝ ශ්‍රී ලංකා කඳවුරු දෙකේ පොහොසත් මතවාද තිබුණු බවක්.

ඇත්තෙන්ම ජාතික ජන බලවේගය අභ්‍යන්තරයේ සිටින ජවිපෙ කාඩරය වගබලාගතයුතු කාරණා දෙකක් පෙනෙන්නට තිබෙනවා. එකක් තමන්ම මතවාදීව ශක්තිමත් වීම. වත්මන් තත්වය හරිහැටි කියවාගැනීම. රාජ්‍ය ආර්ථිකය ගැන, ගෝලීය ආර්ථිකය ගැන, සංවර්ධන සැලසුම් ගැන, ජාතික ආරක්ෂාව යනාදී විෂයන් ගැන, පුද්ගලිකකරණය සහ ත්‍රස්ත පනත වැනි දේවල් ගැන, ජාතිවාදය ගැන, දේශපාලන සදාචාරය ගැන, පාලනයට අදාල අනෙකුත් සියලු කරුණු කරණා ගැන දියුණු කියවාගැනීමක් අවශ්‍යයි. ඇත්තටම මාළිමාව සමාජය තුළ කරන පරිවර්තනය කුමක්ද? එය ප්‍රගතිශීලී වන්නේ කොහොමද? එයට තියෙන බාධා මොනවාද කියන එක ගැන තියුණු කියවාගැනීමක් ඕනෑ. ඔවුන් ඔවුන් තුළම එය කරගත යුතුයි.

එයින් පසු මේ යාවත්කාලීන වෙච්ච දැනුම පංති පහ වෙනුවට විස්ථාපනය වෙන්න ඕනෑ. එය අනිවාර්යයේ වාමාංශික වෙන්න ඕනෑ. ජනතාවාදී වෙන්න ඕනෑ. අලුත් දැනුම ඒ පක්ෂය ඇතුලේ අභ්‍යන්තර අධ්‍යාපනික වැඩසටහන් තුළින් හුවමාරු වෙන්න ඕනෑ. අන්න ඒ දැනුම ක්‍රමානුකූලව තමන් එක්ක ඉන්න මාළිමා කණ්ඩායම්වලට කාන්දු කරන්න ඕනෑ. ඒ හරහා සමාජයටත්, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයටත් කාන්දු වෙන්න ඕනෑ.

ඒත් අපි දන්න විදියට මේ ආණ්ඩුවේ ජේවීපී යාන්ත්‍රණය දැන් ඇණහිටලා තියෙන්නේ. සමාජවාදී තරුණ සංගමය ආදී කණ්ඩායම්වල සිටි කාඩරයත්, වෘත්තිය සමිති සංවිධාන යාන්ත්‍රණයත්, අනෙක් සියලු යාන්ත්‍රණයත් දැන් ආණ්ඩුකරණයට බර දමමින් සිටිනවා. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ බොහෝ දෙනෙක් දැන් අන්ධභූත වී ඇති බවත්, ආණ්ඩුවේ එක එක අය ආණ්ඩුවේ මතය විදියට එක එක දේවල් කියන බවත් පේනවා.  

උදාහරණයක් ලෙස දැන් ආණ්ඩුව ආරක්ෂා කරන අය අපේ වීඩියෝවලත් කමෙන්ට් කරලා කියන්නේ ත්‍රස්ත පනත ඕනෑ කියලයි. තමන්ම නියෝජනය කළ අදහස්වලට පරස්පර දේවල් ආණ්ඩුවම කියන තැනට පත්වෙලා තියෙනවා.

ඉතින්, ටිකෙන් ටික ආණ්ඩුව විසින් ජරාජීර්ණ වූ සමාජය අලුත් කරනවා වෙනුවට, ආණ්ඩුව විසින් ගතානුගතික සහ ගැතිභාවයෙන් දුර්වල වූ අර්ථික රටාව නවීකරණය කරනවා වෙනුවට, ජරාජීර්ණ වූ රාජ්‍යය යළි සංස්කරණය කරනවා  වෙනුවට රාජ්‍යයේ සහ සමාජයේ තියෙන ජරාජීර්ණ සහ කැත ලක්ෂණ ක්‍රමානුකූලව ආණ්ඩුව වෙලාගන්නා බව පෙනෙන්නට තිබෙනවා. සමාජයේ, දේශපාලනයේ සහ ආර්ථික රටාවේ ඇති පසුගාමීත්වය විසින් මේ ආණ්ඩුව මත නැග පරපෝෂිත ලෙස සුපෝෂණය වෙමින් පැවතුණු පසු අසීරුවෙන් මහජන පක්ෂයකට පරිවර්තනය කරන ලද මේ මහා දේශපාලන බලවේගයෙහි දුර්වල වූ රොඩ්ඩ හපයක් ලෙස ඉවත දමා නැවතත් පසුගාමී දේශපාලන බලවේග වෙත සමාජයත් ආපසස්සට යාවි. වත්මන් ආණ්ඩුවේ දේහයට රිංගා ආර්ථික, සමාජයීය, ජාතිවාදී සහ දූෂිත අදහස් පද්ධති පවතිනු ඇත්තේ යළිත් විසකුරු ලෙස හිස එසවීමට බලාගෙන.

ඒ නිසාම, තමන්ගේම සිරුරට රිංගා ඇති ප්‍රතිගාමීත්වය පරාජය කිරීමට ලාල්කාන්ත දන්න හඳුනන ජවිපෙ කේඩරයත්, ජවිපෙට සමීප ජාතික ජන බලවේගයේ මතවාදී බලයක් සහිත උදවියත් වහා පියවර ගන්න ඕනෑ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading