හෙල්ලයෙන් පදක්කමක් අත ළඟද? සුමේධ ජාතික වාර්තාව යළිත් තමන් සතු කරගනිමින් ලෝක ශූරතාවට යයි! ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

අනුරංග ජයසිංහ

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කරන්නෙකු වන සුමේධ රණසිංහ මීටර් 85.78 ක විශිෂ්ට විසි කිරීමකින් නව ජාතික වාර්තාවක් පිහිටුවමින් නැවත වරක් ඉතිහාසයට එක්වී ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ ඔහු රුමේෂ් තරංග විසින් තබා තිබූ මීටර් 85.45 ක පෙර ජාතික වාර්තාව අභිබවා ගොස් ජපානයේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සෘජු සුදුසුකම් ලබා ගත්තේය. 36 හැවිරිදි සුමේධ ශ්‍රී ලංකාවේ හෙල්ලය විසි කිරීමේ ඉසව්වට අත්දැකීම් රැසක් එකතු කළ ක්‍රීඩකයෙකු වන අතර, ඔහු සුදුසුකම් ලැබීම ඉසව්ව කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

සුමේධ රණසිංහ

මේ කතාව ඉතා වැදගත් වනුයේ, ශ්‍රී ලංකාවේ හෙල්ලය විසි කිරීමේ ජාතික වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ 2024 දී 85.45ක වාර්තාව තැබූ රුමේෂ් තරංග වයස අවුරුදු 21ක තරුණ ක්‍රීඩකයෙකු වීම නිසාය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට 25 වැනි ස්ථානයේ සිටින රුමේෂ්ට මාර්තු 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ පැවති ඉසව්වකට සහභාගී වූ මොහොතේ ලෝක ශූරතා තරගාවලිය මඟහැරුණේ 85.41ක දුරක් හෙල්ලය විසි කිරීමෙනි.  

මෙවර ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමේ සීමාව ඉක්මවූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ශ්‍රී ලංකාව නව යුගයක් සොයා යන මොහොතක, ක්‍රීඩාව අලුත් ලෝකයක් දකින්නට හීන දකින මොහොතක, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළ මළල ක්‍රීඩකයෙකු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යධුරයත් දරන මොහොතක සුමේධගේ ජයග්‍රහණය හෙල්ලය විසි කිරීමේ ඉසව්වේ අනාගත ජයග්‍රහණයක් උදෙසා වැදගත් පියවරක් කරගත යුතුමය. මළල ක්‍රීඩාව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය ජයගත හැකි ඉසව්වකි. රටක් වෙනස් කරද්දී ක්‍රීඩාව අත්හැර යන්නම බැරිය.

සැබෑ පරීක්ෂණය

රණසිංහගේ ජයග්‍රහණය කැපී පෙනෙන එකකි. ආඩම්බර විය යුතුය. සැමරිය යුතුම එකකි. අප උත්සාහ කරන්නේත් එය සැමරීමටය.

එහෙත්, අප යථාර්තවාදීව ගෝලීය හෙල්ල විසි කිරීමේ තරඟයේ පුළුල් සන්දර්භය තුළ මෙම ජයග්‍රහණය තැබීම ඉතා වැදගත් වේ. මීටර් 85 ඉක්මවා මීටර් 90 දක්වා ලෝකයේ ඉහළම මට්ටමේ ක්‍රීඩකයන් හෙල්ලය විසි කරමින් සිටී. වත්මන් ලෝක ශූරයා වන ඉන්දියානු නීරජ් චොප්රා මීටර් 88 ඉක්මවා හෙල්ලය විසි කර ඇත. ඔලිම්පික් ශූරයා වන අර්ෂාඩ් නදීම් මීටර් 92.97ක් විසි කර ඇත.

යුරෝපයේ සහ ආසියාතික ඉහළම ශූරයන් මීටර් 90 ඉක්මවා හෙල්ලය විසි කරන බව ඉසව්ව ගැන වාර්තා පිරික්සද්දී පෙනී යයි. ඉන්දියාවේ මෑත කාලයේ හෙල්ලය ඉසව්වේ නැගීමක් ඇති වුණේ, නීරජ් චොප්රා නිසාය. ඊට අමතරව චෙක් ජනරජය, ජර්මනිය, පින්ලන්තය යනාදී රටවල් කලක් තිස්සේ ඉසව්වට විශිෂ්ඨයන් බිහි කර ඇත. එහෙත්, අපේ කලාපය තුළ හෙල්ලය තරගකාරී වෙන්නේ නීරජ්ට තරගයක් දෙමින් 2024 ඔලිම්පික් තරගාවලියේදී මීටර් 92.97ක් විසි කරමින් රන් පදක්කම දිනූ අර්ෂාඩ් නදීම් ආදීන් සිටින නිසාය.

ඒ අනුව, සුමේධගේ සහ රුමේෂ්ගේ දැන් දක්ෂතාව මත අනාගතය ගොඩනැංවීමට හැකි විය යුතුය. රුමේෂ් ඇත්තෙන්ම මළල ක්‍රීඩාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේද යෙදුණෙකි. ඔහුට ක්‍රිකට්ද, මළල ක්‍රීඩාවද යන දෙකෙන් එකක් තෝරාගැනීමේ අභියෝගයකට මුහුණදීමට වූ අතර, ඔහු හෙල්ලය තෝරාගත්තේය. මෙවැනි  තවත් දක්ෂයන් සිටිය හැක. රට තුළත්, කලාපය තුළත් ඉසව්වට ඇති වෙන තරගකාරීත්වයත් ඒ ඉසව්ව ප්‍රවෘත්ති මැවීමත් ජයග්‍රාහකයන් බිහි කිරීමට අංක එකේ සාධකයයි. තරුෂි ලෝකය දිනන්නේ ඒ ඉසව්වේ ඇති වූ තරගකාරීත්වය නිසාය.

රුමේෂ් තරංග

දැන් අපට හෙල්ලයේ ඔලිම්පික් හෝ ලෝක ශූරතා ජයග්‍රහණ යනු මහා දුරකින් තිබෙන ඉලක්ක නොවන බවත්, මේ මත ජයග්‍රහණයක් කරා සැලසුම් සකස් කළ යුතු බවත් හැඟේ. ඒ ගැන මේ ලියුම්කරුට වඩා ක්‍රීඩාව භාර පාලකයන් දන්නවා ඇත. ඒ නිසා වැඩි ‘උපදෙස්‘ දෙන්නට ඕනෑ නැත. අප කරන්නේ කතන්දරය රටට කීම පමණි.

මෙවර සුදුසුකම් මඟහැරුණත් රුමේෂ් මීටර් 85 ඉක්මවා විසි කිරීමම අනාගත බලාපොරොත්තුවකි. දැන් පණිවිඩය පැහැදිලිය. හෙල්ලයෙන් ජයග්‍රහණ ලබන්නට චාන්ස් එකක් ඇත.

ජාතික වාර්තා ගෝලීය ජයග්‍රහණ බවට පත් කරගැනීම ක්‍රීඩකයන්ට තනිවම කළ හැක්කක් නොවේ.

සුමේධ රණසිංහගෙන් අප සාධාරණ ලෙස බලාපොරොත්තු විය යුත්තේ, තමන්ගේ 85.78ක දක්ෂතාව වැඩිදියුණු කරගනිමින් ලෝක ශූරතාවලියේදී අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබීමයි. එය සංකේතාත්මකව ඉසව්වේ ඉදිරිය වෙනුවෙන් ඔහුගෙන් අප අපේක්ෂා කළ යුතුය. එය ඔහුට කළ හැකිය. ඉදිරියේදී ඉසව්වෙහි ලැබෙන ජයග්‍රහණවලදී ඔහු එතැනට යෑම විශාල ශක්තියක් වනු ඇත.

ශ්‍රී ලංකවේ මළල ක්‍රීඩකයන්ට සියලු පහසුකම් අවැසි මොහොතකි මේ. ක්‍රීඩා පිටි, අධ්‍යාපනය, පුහුණු, නිසි ප්‍රමිතියකින් යුක්ත තරඟ මෙන්ම ක්‍රීඩාවට යොමු වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් අවශ්‍යම මොහොතකි. මෙය මළල ක්‍රීඩාවේ නව යුගයක් විය හැක.

ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාවේ ශක්තිමත් පැත්ත වනුයේ කාන්තා මැදි දුර දිවීමේ ඉසව් වේ. මීටර් 400 සහ 800 කාන්තා ඉසව් යනු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දක්වා යා හැකි ඉසව්ය. ඒ ජයග්‍රහණ වෙනුවෙන් ඒ ඉසව්වේ තරග වදින කෙල්ලන්ට උපරිම ශක්තිය දිය යුතුය. එමෙන්ම ගයන්තිකලා, නිමාලිලාගේ උපරිම සහයෝගය සහ අත්දැකීම් ලබාගත යුතුය. ඊට අමතරව පිරිමි මීටර් 400 සහ 800 ඉසව්ද අපට බලාපොරොත්තු තැබිය හැක. කෙටි දුර ඊළඟට ඇත. ඊට අමතරව අපට උස පැනීමේ නව බලාපොරොත්තුවක් තිබෙන අතර හෙල්ලය අනෙක් බලාපොරොත්තුවයි. ඊළඟ ඔලිම්පික් වෙද්දී අදල ඉසව්වල සිටින විශිෂ්ඨයන් සියලුදෙනා හඳුනාගෙන නිසි තරගකාරීත්වයක් හදා අවස්ථා ගොඩනැගුවොත් මළල ක්‍රීඩාවේ ජයග්‍රහණ ලැබීම අසීරු නොවනු ඇත.

(ප්‍රධාන ඡායාරූපය පපරේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

Author

Related Posts