ස්ත්‍රීවාදයද? අවස්ථාවාදයද?

ශ්‍යාමා බස්නායක

NPP/JVP පිරිමි පාර්ශවය ස්ත්‍රීන්ට අපහාස කිරීම පටන් ගත්තේ අද ඊයේ පටන් නොවේ. එය පක්ෂ සංස්කෘතියේ නිශ්චිත පසුගාමි තත්වයකි. නලින් හේවගේ පෙර අවස්ථාවක මෛත්‍රී වික්‍රමසිංහට කළ අපහාසාත්මක ප්‍රකාශයක වීඩියෝවක්ද යළි සංසරණය වනවා දකින්නට ඇත. ඔවුන් පහුගිය කාල වකවානුවේම වරින් වර කළ එවැනි ප්‍රකාශ වල මෑතකාලිනම තවත් උදාහරණයක් වන්නේ චමින්ද්‍රානි කිරිඇල්ලට ලාල් ‘ජම්බු ගෙඩිය’ කී අවස්ථාව ය. නිලන්ති කොට්ටහච්චි සහ කෞෂල්‍යා ආරියරත්න මෑතකදී අපවාද ප්‍රහාරයකට ලක් වූ මොහොතේ සෙසු මන්ත්‍රීවරියන් රකින ලද නිහඬ බව ගැන කෞෂල්‍යා මන්ත්‍රීවරියගෙන් කල විමසීමකට ඇය පවසා තිබුනේ රටේ වඩා ප්‍රමුඛ ප්‍රශ්න හමුවේ ‘උපක්‍රමකිව’ ගත් තීරණයක් වූ බව ය. ඇත්ත වශයෙන් දේශපාලන පිටියේ මෙවැනි අවස්ථා බොහොමයකදීම NPP ස්ත්‍රී නියෝජනය මේ උපක්‍රමික නිහඬ බව රැක ඇත. ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ද මෑතකදී වරින් වර ඇයගේ ස්ත්‍රීත්වය මත පදනම්ව (කවිරත්න ළමාරත්න කිරීමට වඩා දරුණු මට්ටමේ ගැහැනුකම ම පදනම් වූ අපහාස) නින්දිත මඩ ප්‍රහාරය හමුවේ ද ඔවුන් නිහඬ බව රකින්නේ උපක්‍රමිකවද යන්න සිතා බැලීමට වටී.

ඊයේ දින නලින් හේවගේ කවිරත්න මන්ත්‍රීවරියගේ නම විකෘති කිරීමේ සිද්ධිය හමුවේ කෞෂල්‍යා මන්ත්‍රීවරිය උපක්‍රමිකව නිහඬ බව බිඳ ඇති බවක් දකින්නට ඇත.

ලාල් හෙද සමුළුවේදී කළ තවත් මෙවැනි ප්‍රකාශයක් අරබයාද NPP ස්ත්‍රී නියෝජනය විසින් බොහෝ වෙලාවක් යනතුරුම නිහඬ බව රකින ලදී. සමාජ මාධ්‍ය තුල එම සිද්ධිය විශාල හාහෝවක් වී තවදුරටත් නිහඬ වී සිටිය නොහැකි මට්ටමකටම පැමිණි විට උපක්‍රමිකව ඒ නිහඬ බව බිඳ දැමුවහ. මේ වන විට මා ඔවුන් සමඟ වැඩ කරමින් සිටි කාලයයි. මාගේ යෝජනාව වුනේ අපට PWC (ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව) ලෙස ලාල් සමඟ සාකච්ඡාවකට ඉඩ ලබා දෙන ලෙසයි. අරමුණ වූයේ තත්වය පැහැදිළි කොට ලාල්ට අඩු තරමේ ෆේස්බුක් හි හෝ ප්‍රකාශයක් නිකුත් කර වැරැද්ද නිවැරදි කරගන්නා ලෙසට ඉල්ලා සිටීමටයි. මෙහිදී නායකත්ව මට්ටමේ සහෝදරියන් විසින් එය එකහෙළා ප්‍රතික්ෂේප කරන ලද අතර පසුව අගමැති හරිනි අමරසූරිය (එවකට පා.ම.) තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි පොස්ට් එකක් දමා වැඩේ ගොඩ දැමුවාය. එහි කුඩා කමෙන්ටුවක ලාල් සිය පසුතැවීම ප්‍රකාශ කලේය.

තව කීපාරක් NPP/JVP පුරුෂාධිපත්‍යය වෙනුවෙන් එහි ස්ත්‍රී නියෝජනයට උපක්‍රමකිව නිහඬ බව බිඳින්නට හෝ රකින්නට වේදැයි යන්න මෙහිදී මා අසනු ලබන ප්‍රශ්නයයි. පක්ෂයේ පසුගාමීත්වය තව කොපමණ කලක් සාරි පොටින් වසන්නට වේද?

තව කීපාරක් ‘ස්ත්‍රීවාදය’, පුරුෂාධිපත්‍යයේ කෙලවාගැනීම් ගොඩ දා දෙන කඩතුරාව ලෙස යොදවන්නට වේද?

මා PWC හි සිටින කාලයේදී මා ඇතුළු තව නොයෙකුත් සාමාජිකාවන් වරින් වර මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පක්ෂ අභ්‍යන්තරය තුල කල යුතු මැදිහත්වීම ගැන යෝජනා කළ මුත් ඒවාට සහයෝගය පළ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට මේ පාර්ශවයන් උනන්දු වූයේ නැත. ප්‍රදර්ශනාත්මක ස්ත්‍රීවාදය තුල සැබෑ පරිවර්තනයකට අවශ්‍ය වන ඉන්ධනය නොපවතී. ධනේෂ්වර නවලිබරල් වැඩපිළිවෙල තුල රාජ්‍යයේ කැමැත්ත පරිදි ස්ත්‍රීන් ‘ආරක්ෂා කිරීමේ’ යම් යම් ප්‍රතිසංස්කරණ, මතුපිට තලයේ ප්‍රගතිශීලී සේ පෙනෙන යම් යම් ප්‍රතිසංස්කරණ විනා පවතින පීඩාකාරී, පසුගාමී සහ වඩා විශේෂ ලෙස ‘අසාර්ථක’, බල ව්‍යූහයන් සහ ධූරාවලි සෙලවීමට හැකි වන පරිවර්තනයක් කිරීමට අපහසු වනු ඇත.

රටේ පවතින අර්බුදකාරී තත්වය තුළ කළ යුතු ස්ත්‍රීවාදී මැදිහත්වීම යනු කොහෙත්ම අප්‍රමුඛ කාරණාවක් නොවන බවද මෙහිදී විශේෂයෙන් මතක් කර දීමට කැමතිය. පෙර සිට මේ කාරණය හරිහැටි වටහා නොගැනීමේ ප්‍රථිපල අද වන විට NPP ව්‍යාපෘතියටම බලපා ඇත. එහෙයින් එක රැයින් බැරි බව වැනි දේ ලේසියට නිදහසට කාරණා ලෙස කියා උපක්‍රමිකව ගැලවීමට NPP ස්ත්‍රී නියෝජනයට නොහැකිය.

දේශපාලන භූමියේ වන සියලු ස්ත්‍රී විරෝධී තත්වයන්ට කොන්දේසි විරහිතව එරෙහි වීම සහ ක්‍රියාමාර්ග ගැනීම, එම තත්වය පුනරාවර්තනය වීම වළක්වාලීමට අවශ්‍ය පූර්ව කොන්දේසියකි. තෝරා බේරාගත් අවස්ථාවල තෝරා බේරාගත් පුද්ගලයින්ට පමණක් උපක්‍රමික මැදිහත්වීම ස්ත්‍රීවාදයට වඩා අවස්ථාවාදයට බර බව මගේ අදහසයි. එය ජනප්‍රිය අදහසක් නොවන බව ගැන මට අවුලක් නැත. නමුත් මෙය ලියා තැබීම අවශ්‍ය බව පමණක් දනිමි.

ලංකා දේශපාලන භූමියේ ස්ත්‍රීන්ගේ තත්වය සංකේතවත් කරන්නට පහත පින්තූරයට වඩා ගැලපෙන පින්තුරයක් මගේ ඔලුවට එන්නේ නැත. මේ අවස්ථාව විශේෂ වෙන්නේ මෙය සිදු වන විට තිබූ කන් බිහිරි කරවන නිහඬතාවය මතක ඇති නිසාය. නිහඬතාවය ගැන තව බොහෝ දේ කියන්නට ඇති මුත් දැනට නිහඬ වෙමි.

දේශපාලන භූමියේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් සහ හිංසන වලට කොන්දේසි විරහිතව එරෙහි වෙමු!

ZERO TOLERANCE for political misogyny, harassment, and discrimination!

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading