කෞෂල්‍යා කතා කරයි! නලින් හේවගේගෙන් එහාට එය වටින්නේ මෙහෙමයි! මනුවර්ණ, කතා කරන්න!

තරිඳු උඩුවරගෙදර

ජාතික ජන බලවේගය අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත්, මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සිටින්නේ එහෙයියන් ලෙස ඉහළින් එන නියෝගවලට අනුකූලව හිස පහත් කරන්නට බවත් චෝදනාවක් පවතී.

එවැනි පසුබිමක, ජාතික ජන බලවේගයේම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරියක කටයුතු කර තිබුණි. මෙය මීට පෙර හරිනි අමරසූරිය වැනි නායිකාවකවත් නොපෙන්වූ ස්වාධීනත්වයකි.  

පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සිදු කළ ප්‍රකාශයක් පාදක කොටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණේ, තමන් ඒ මොහොතේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි නමුත්, විපක්ෂයේ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුවට අනුකූල නොවන භාෂාවකින් කතා කර ඇතැයි තමන්ට දැනගැනීමට ලැබුණු බවය. කාන්තාවක මෙන්ම කාන්තාවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙස තමන්ට පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම අනුමත කළ නොහැකි බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා ඇත. තමන් පාර්ලිමේන්තුව පැමිණ සිටින්නේ තමන් මෙතෙක් කාලයක් සටන් කරමින් පෙනී සිටි අදීන, ගරුසරුකම් දක්වන සහ වටිනාකම් සුරකින සංස්කෘතියක් උදෙසා තමන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවය. එම වටිනාකම් වෙනුවෙන් තමන්ගේ කැපවීම අන් කවරදාටත් වඩා ශක්තිමත්ව පවතින බව ඇය සිහිපත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහ උඩින් නිෂ්පාදනය කරන අදහසක් ගිරවුන් වාගේ සියල්ලන් දොඩවනවාය යන්න චෝදනාවක් ලෙස උත්සන්න කිරීමට හේතු වූ සාධක කිහිපයකි. ජනමධ්‍යවලට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අඩුවෙන් ප්‍රතිචාර දැක්වීම එක් සාධකයකි.

ඒ අතර, තමන්ට මාධ්‍යවලට අදහස් නොදක්වන ලෙස උපදෙස් දී ඇතැයි නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සහ නීතිඥවරිය කළායැයි ප්‍රකාශයක් ඩේලි මිරර්හි පළ වී සමාජ කතාබහට ලක් විය. එම පුවත ඍජුව ප්‍රතික්ෂේප කිරීමට කොට්ටහච්චි මන්ත්‍රීවරිය කටයුතු නොකළත්, ෆේස්බුක් පෝස්ටුවක එම පුවත ගැන ඍජුව නොකියා ඩේලි මිරර් වාර්තාකරණය පොදුවේ ප්‍රශ්න කිරීමට ඇය කටයුතු කර තිබුණි.

කරුණු කෙසේ වෙතත්, කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීවරියගේ උක්ත පෝස්ටුව ජාතික ජන බලවේගය තුළ තිබිය යුතු වැදගත් සම්ප්‍රදායක් ඉස්මතු කර පෙන්වයි. ඒ මාළිමාවේ හැමදෙනාම හැමවිටම එකිනෙකාගේ කතා සහ ක්‍රියා ආරක්ෂා කරන්නට දැඟලිය යුතු නැත. ජනතාව මාළිමාව කෙරෙහි ඇති ගෞරවය වැඩි කරගනු ඇත්තේ, තමන්ගේම ආණ්ඩුව තුළින් යම්කිසි වරදක් දිස්වුණු විට ආණ්ඩුවේම නායක නායිකාවන් ඒ ගැන විවේචනයක් ඉදිරිපත් කළහොත්ය.

අප හරිනි අමරසූරියට මෙනෙවියටවත් මෙවැනි සම්ප්‍රදායක් නොතිබුණු බව කියන්නේ වසර එකහමාරකට පමණ පෙර කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා හෙද නිලධාරිනියන්ට අපහාසයක් වන ආකාරයෙන් ඔවුන්ගේ ඇඳුම ගැන ගැටලු සහගත ප්‍රකාශයක් කළ පසු එය හෙළා දැකීමට ජාතික ජන බලවේගයේ ඉහළම කාන්තා නායිකාව ලෙස හරිනි අමරසූරිය මහත්මිය කටයුතු නොකිරීමය.

අප මෙහි සිරස්තලයට ජගත් මනුවර්ණගේ නම ඈඳාගත්තේ පොලීසිය අනීතිකව ඝාතනයක් සිදු කිරීමෙන් පසු, තමන්ගේම ආණ්ඩුව එය සාධාරණීකරණය කිරීමට විහිළු කතාවක් ගොතා තිබියදී ඒ ගැන ප්‍රසිද්ධ විවේචනයක් ඇති කෙනෙකු ලෙස ජගත් නිහඬව සිටින නිසාය. මන්ත්‍රීකම් නොව කුමක් තිබුණත් ජගත් ඊට වඩා ස්වාධීන මිනිසෙක් විය යුතුය.

අවසානයේදී කෞෂල්‍යා ආරියරත්න ආචාර්යවරියගේ උක්ත ප්‍රකාශයට පාදක වූ සිදුවීම ගැන කිව යුතුය. එය, නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකි. ඔහු වෙනත් කතාවක් අතරමැද්දේ කියා තිබුණේ.

‘රෝහිණී කවිරත්න, පෙරේදා පත්තරේ මම දැක්කා නම වෙනස් කරපු දැන්වීමක්. රෝහිණී කවිරත්න වන මම අද දින සිට රෝහිණී ළමාරත්න යනුවෙන් වෙනස් කරන බවට ලංකාවේ සැමට දැනුම් දෙමි කියලා. ඒ ළමාරත්න කියපු කතාවක් මම කියන්නද? එයා කියනවා ලංකාවේ ස්ටේෂන්වලට ඔක්කොටම පොඩි ගාණයි තඹුත්තේගමට ලොකු ගාණයි….‘

නලින් හේවගේ කී කතාව පැහැදිලිව එයය. එහෙත් මේ ගැන විපක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ පසු නලින් හේවගේ මහතාගේ කතාව වෙනස් විය.

‘මම කිව්වේ රෝහිණී කවිරත්න කියලා කෙනෙක්. නැතිව මන්ත්‍රීතුමා කියලා කිව්වේ නැහැ. මම හිතාමතාම තමයි කිව්වේ. කතාව දැනගෙන තමයි කිව්වේ. ඒක ඔයාලාගේ කෙනාට අදාල නම් මට අදාල නෑ.‘ යනාදී වශයෙන් කීය.

මුලින් රෝහිණී කවිරත්න නම වෙනස් කළ බව කියා, එයින් පසු ‘මේ ළමාරත්න කියනවා‘ යනුවෙන් සඳහන් කොට මන්ත්‍රීවරියගේ ප්‍රකාශයකුත් උපුටා දැක්වුවාට පසු තමන් කතා කළේ වෙනත් කෙනෙක් ගැන බව සඳහන් කිරීම ගැටලු සහගතය.

මේ ප්‍රකාශය අපහාසාත්මක බව නම් සත්‍යයකි. කාන්තාවකට අපහාසයක් වන ප්‍රකාශයක්ද, නැත්නම් කාන්තාවක් වුණත් පිරිමියෙකු වුණත් පොදුවේ පුද්ගල අපහාසක්ද යන්න වෙනම කතාවකි. ඒ වගේම නලින් හේවගේට වඩා සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර වැනි අය ඉතා පහත් ලෙස කාන්තාවන්ට අපහාස කර ඇති බවත් කිව යුතුමය. ඒ කෙසේ වෙතත්, මෙහි ඇති ගැටලුව වන්නේ රෝහිණී කවිරත්න වැන්දඹුවක් වීමය. ඇගේ නමෙහි ‘කවිරත්න‘ යන කොටස ඇගේ සැමියා වන සංජීව කවිරත්නගෙනි. ඇගේ ලෝකයේ හැටියට සංජීව කවිරත්නගේ නම ඉවත් කරමින් ප්‍රසිද්ධියේ මේ වගේ ප්‍රකාශයක් කිරීම ඇයට බලපාන්නේ පිරිමි කෙනෙකුට වාගේ නොවේ. ඇය මෙවන් දැන්වීමක් පළ කර නැති නිසා වහා නිවැරදි නොකළේ නම්, මෙය දකින අය අතරින් සැලකිය යුතු පිරිසක් ඇගේ නම ළමාරත්න ලෙස මාරු කළ බව සිතන්නත්, ඇතැම්විට වැන්දඹුවක ලෙස ඇය සිය සැමියාට යම්කිසි ආකාරයකින් ‘හානියක් කළා‘ කියන්නත් ඉඩ තිබේ. ඒවා කාන්තාවන්ගේ ‘චරිතය ඉලක්ක කර‘ පහර ගසන්නට යොදාගත හැක.

ඇත්තටම, නලින් හේවගේ කළේ සමාජ මාධ්‍යවල පළ වූ කතාවක් කීමකි. එය සෙල්ලමට කළ වැඩකි. ඔහු හිතාමතා කාන්තාවකට අපහාස කරන්නට සිතුවායැයි නොහැඟේ. එහෙත්, ඒ ගැන ප්‍රශ්න කළාට පසු ක්ෂණිකව එහි බරපතලකම බාරගෙන යම්කිසි කෙටි සමාව ඉල්ලීමක් කළා නම් හොඳ වන්නට තිබුණි. අවැසි වෙලාවක සමාව ඉල්ලීම නරක පුරුද්දක් නොවේ.

Author

Related Posts