රනිල්ගෙ රාමුවෙන් අනුරට පනින්න බැරිවුණේ ඇයි? විසර්ජනෙන් හතරෙන් එකක් බදාගත්තේ ඇයි?

  • අඩුම මුදලක් වසන්ත සමරසිංහගේ වෙළඳ අමාත්‍යාංශයට
  • වසන්තට වඩා සල්ලියක් ජනාධිපති කාර්යාලයට පමණක්
  • විද්‍යාවට වෙන් කළාට වඩා බුද්ධශාසන වියදම ලොකුයි
  • ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට මීට වඩා රනිල් දීලා
  • නලින්දගේ සෞඛ්‍යයට අති දැවැන්ත මුදලක්
  • බිමල්ට ඇති තරම් පාරවල් හදන්න පුළුවන්

තරිඳු උඩුවරගෙදර

මෙවර විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඉදිරි අයවැයට පෙර එක් එක් අමාත්‍යාංශයන් සහ විෂයන් සඳහා මුදල් වෙන් කිරීම විසර්ජන පනත් කෙටුම්පතෙන් සිදු කර ඇත. ඒ ඒ විෂයන්ට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය අනුව, ආණ්ඩුව මූලිකවම රජයේ වියදම්වලදී කෙතරම් වෙනස්මක් සිදු කර ඇතිද? රජයේ සැලසුම් මොනවාද යන්න අවධානය යොමු කළ හැකිය.

වැටුප් වැඩි කර ගැනීම අයවැයකදී රාජ්‍ය සේවකයන්ගේ අපේක්ෂාවය. ජනතාව බලා ඉන්නේ බඩු මිල අඩු කර ගන්නටය. එහෙත්, බොහෝ දෙනා අවබෝධ කර නොගන්නේ බඩු මිල හෝ වැටුප වැනි තාවකාලික කාරණාවලින් එහා ගොස් ජනතාවාදී ආර්ථික පරිවර්තනයක් උදෙසා අයවැයේ මුදල් වෙන් කරගැනීම වැදගත් බවය.

එක් පැත්තකින් මන්දපෝෂණය බහුල රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කෙතරම් මුදලක් වෙන් වීද? සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම ප්‍රවාහනය සංවර්ධනය වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් වීද? කර්මාන්ත සංවර්ධනය යනාදිය වෙනුවෙන් මුදල් වෙන් වී ඇතිද? රට පාලනයේදී මෙතෙක් කාලයක් කටයුතු කළ පාලක පැළැන්තීන්ට වඩා ජනතාවාදී ආණ්ඩුවක් මුදල් වෙන් කර ඇත්තේ වෙනස් අයුරකින්ද යන්න සලකා බැලිය යුතුම කාරණාය.

සමස්ත වියදම

මුලින්ම අවධානය යොමු කළ යුත්තේ සමස්ත වියදම්වලටය. රජයේ පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 2898ක් වෙන් කර ඇත. මූලධන වියදම් ලෙස බිලියන 1320ක් වෙන් කර තිබේ. සමස්ත වියදම රුපියල් 4218කි. රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4000කි.

මෙතැනින් පුනරාවර්තන වියදම් කියන්නේ, සෑම අවුරුද්දකම වියදම් කරන්නට සිද්ධවෙන මුදල්ය. වැටුප් ගෙවීම, බිල්පත් ගෙවීම යනාදී ඒ ඒ අමාත්‍යාංශ පවත්වාගෙන යෑම වෙනුවෙන් වූ වියදම්ය. මූලධන වියදම් කියන්නේ, විවිධාකාර සංවර්ධනාත්මක කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල්ය. ඒ ඒ අමාත්‍යාංශවල ඇති සම්පත් පුළුල් කිරීමට, නව කටයුතු සිදු කිරීමට මූලධන වියදම් වෙන් කරයි. අලුත් ඉදිකිරීමක් නම් මූලධන වියදමකි. ඒ අනුව අපි අමාත්‍යාංශයක් දෙස හෝ සමස්ත අයවැය දෙස බලද්දී පුනරාවර්තන වියදම් අවබෝධ කරගත යුත්තේ ඒ ඒ අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට කොහොමත් වෙන් කරන මුදල් ලෙසය. මූලධන වියදම් ඒ ඒ අමාත්‍යාංශවලින් සිදු කරන නව සංවර්ධන කටයුතු වෙනුවෙන් වියදම් කරන්නට ලැබී ඇති මුදල්ය.

ගිය වසරේදී ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 7350ක් වශයෙන් තිබුණු නිසා මෙවර ණය ගැනීමේ සීමාවෙහි අඩුවක් ඇතැයි කිව හැක. එහෙත්, විශේෂයෙන්ම විදේශ විනිමය හිඟයකට මුහුණ දුන්නොත් රජයට මේ වසරේදී ණය ගැනීමට සිදු වනු ඇත.

ආරක්ෂක වියදම

බොහෝ අය මීට පෙර අයවැයවල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති අති දැවැන්ත මුදල ගැන කතාබහ කිරීම පුරුද්දක් වී තිබුණි. එයට සැබෑ හේතුව මෙරට හමුදා තුනක් අති දැවැන්ත වැටුප් ගෙවමින් නඩත්තු කිරීමය. අපට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බලයේ සිටිමින් ගෙනා අවසන් අයවැය වන 2022 වර්ෂය උදෙසා වූ අයවැය සමඟ මෙය සංසන්දනය කළ හැක. අයවැයේ සමස්ත වියදම රුපියල් බිලියන 2505ක් වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 373ක් වෙන් කර තිබුණි. එය ඒ අයවැයේ අමාත්‍යාශයකට වෙන් කර තිබුණු වැඩිම මුදල විය.

ඒ අයවැයේ තිබුණු සමස්ත වියදම වාගේ දෙගනුණයක් මෙවර අයවැයේ සමස්ත වියදම තිබුණත්, මෙවර ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම රුපියල් බිලියන 442ක් විය. එය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් වෙනවා මෙන්ම, මෙන්ම, 2024 වර්ෂය වෙනුවෙන් වූ අයවැයේදී රනිල් වික්‍රමසිංහ වෙන් කළ රුපියල් බිලියන 423ක මුදලට වඩා වැඩි මුදලක් ලෙසත් නිරීක්ෂණය කළ හැක. ඒ අනුව රාජපක්ෂලාට මෙන්ම රනිල් වික්‍රමසිංහටත් වඩා ලොකු ආරක්ෂක අමාත්‍යාංශ වියදමක් අනුර කුමාර දිසානායක වෙන් කර ඇත. වෙනසකට ඇත්තේ, සමස්ත අයවැයෙන් ප්‍රතිශතයක් විදියට සැලකුවොත්, ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදලෙහි අඩුවක් තිබීමය.

තුනෙන් එකක් අනුරට

අයවැයෙන් ජනාධිපතිවරයාගේ කාර්යාලයට රුපියල් බිලියන 2.9ක් වෙන් කර ඇත. අගමැතිවරියගේ කාර්යාලයට රුපියල් බිලියන 1.1ක් වෙන් කර ඇත. විශේෂත්වය වන්නේ අඩුම මුදලක් ලැබූ අමාත්‍යාංශය වන වසන්ත සමරසිංහගේ අමාත්‍යාංශය වන වෙළඳ අමාත්‍යාංශයට වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 2.1ක් වීමත්, ජනාධිපතිවරයාගේ කාර්යාලයට පමණක් ඊට වඩා වැඩි මුදලක් වෙන් කර තිබීමත්ය.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 714ක් වෙන් කර ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට රුපියල් බිලියන 13ක් වෙන් කර ඇත. ඒ අනුව වසන්ත සමරසිංහට රුපියල් බිලියන දෙකක් විතරක් වෙන් වෙද්දී, අනුරගේ අමාත්‍යාංශවලට සහ ජනාධිපති කාර්යාලයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1172කි. සමස්ත අයවැයෙන් හතරෙන් එකක්ම අනුර කුමාර දිසානායක අමාත්‍යවරයාට වෙන් වී තිබීම විශේෂත්වයකි. මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සතු විෂයන්ට අයවැයේ අතිශය දැවැන්ත පදාසයක් වෙන් වී තිබීම සාකච්ඡාවට ලක් වූ කාරණයක් විය. මහින්ද රාජපක්ෂ අයවැයේ අති දැවැන්ත පදාසයක් තමා සතුව තබා ගන්නා බව සාකච්ඡාවට ලක් විය. මෙවරද අයවැයේ අතිශය දැවැන්ත කොටසක් අනුර කුමාර දිසානායක විධායක ජනාධිපතිවරයා වටා කේන්ද්‍ර වී තිබීම සැලකිල්ලට ගත යුතුම කාරණයකි. රටේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුය. වාර්ෂිකව අයවැයක් ඉදිරිපත් කරන්නේ ඒ නිසාය. එහෙත්, රටේ අයවැයෙන් තුනෙන් එකක් වියදම් කරන පුද්ගලයා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු නොවීමත් පෙන්වා දිය යුතුය.

මෙයට පදනම් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය යන අති දැවැන්ත විෂයන් දෙකත් ජනාධිපතිකමත් යන සියල්ල අනුර කුමාර දිසානායක යන තනි පුද්ගලයා සතු වීමය. අමාත්‍යාංශ විෂයන් බෙදීමේදී මුදල් වැනි විෂයක් ජනාධිපතිවරයා තමන් සතුවම තබා ගැනීම මෙයට බලපා ඇති ප්‍රධාන කාරණයකි. අනෙක් අතට, විධායක ජනාධිපති ක්‍රමයේ ස්වභාවයද වන්නේ ජනාධිපති තනතුරේ සිටින තනි පුද්ගලයාගේ විශේෂ හැකියාවන්  වටා පාලනය ගොනු කිරීමය. තමන් විශේෂ හැකියාවන් ඇති කෙනෙකු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමට පෙර කෙතරම් කියා තිබුණත්, අයවැයේ මුදල් වෙන් කිරීම සිදුව ඇත්තේ මෙසේය.

සෞඛ්‍ය, ප්‍රවාහනය හා අධ්‍යාපනය

මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් කල්පනා කරන විට, ජනතාවාදී ආණ්ඩුවකින් පවත්වාගෙන යා යුතු මෙන්ම වර්ධනය කළ යුතු ක්ෂේත්‍ර තුනක් ලෙස ඉහත සඳහන් විෂයන් තුන හැඳින්විය හැක. විශේෂයෙන් මේ ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු උදෙසා මූලධන වියදම් ලෙස කෙතරම් මුදලක් වෙන් කර ඇතිද යන්න සලකා බැලිය යුතුය.

මෙවර අයවැයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලධන වියදම් රුපියල් බිලියන 95කි. සමස්තයක් ලෙස රුපියල් බිලියන 508ක් සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කර ඇත. එය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩිය. ගිය වසරේ වෙන් කළ රුපියල් බිලියන 410ක මුදලට වඩා වැඩිය. එමෙන්ම ගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කළ මූලධන වියදම රුපියල් බිලියන 60ක් වූ අතර, මෙවර එය 95 දක්වා වැඩි වීම ඉතා යහපත් තත්වයකි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම් යනාදී කටයුතු වෙනුවෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය පුළුල් සහ ශක්තිමත් ලෙස සංවිධානය කිරීම උදෙසාත් අත දිගහැර කටයුතු කිරීමේ හැකියාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට ලැබී ඇත.

ප්‍රවාහනය සංවර්ධනය පැත්තෙන් ආකර්ෂණීය කාරණයක් වන්නේ බිමල් රත්නායක අමාත්‍යවරයා යටතේ ඇති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට මූලධන වියදම් ලෙස අති දැවැන්ත මුදලක් වෙන් කර තිබීමය. එය බිලියන 421ක මුදලකි. අමාත්‍යාංශයේ සම්පූරණ වියදම බිලියන 471කි. ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කර ඇතත්, එයින් බිලියන 382ක්ම පුනරාවර්තන වියදම්ය. එහෙත්, මහාමාර්ග අමාත්‍යාංශයේ අති දැවැන්ත මුදලක් මූලධන වියදම් ලෙස වෙන් කර ඇත.

මහාමාර්ග අමාත්‍යාංශයට ඇති මුදලින් බිලියන 389ක්ම යොදවා ඇත්තේ, එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හෙවත් බිමල් රත්නායක යටතේ කෙරෙන සංවර්ධන වැඩසටහන වෙනුවෙනි.  ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30ක් වෙන් කර ඇත.

මෙය 2022 රාජපක්ෂ අයවැයත්, 2023 සහ 2024 වික්‍රමසිංහ අයවැය දෙකත් සමඟ සාපේක්ෂව ඉතා වැඩි මුදලකි. රාජපක්ෂ යුගයේ මහාමාර්ග අමාත්‍යාංශයේ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 270ක් තිබුණි. රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 368ක් වෙන් කර තිබුණි.

කෙසේ වෙතත්, අධ්‍යාපන විෂය වෙනුවෙන් සැලකිය යුතු ලෙස වියදම වැඩි වීමක් පෙනෙන්නට නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලධන වියදම් ලෙස බිලියන 65ක් පමණක් යොදවා ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන කටයුතු හෙවත්, මූලධන වියදම් උදෙසා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 60ක් බව අපි ඉහත කීවෙමු. ඒ අනුව, අධ්‍යාපනයට වෙන් කර ඇති මුදලත් ඊට ඉතා සමීප මුදලකි.

පාරවල් හැදීමට තරම් මුදලක් කොහෙත්ම අධ්‍යාපනයට වෙන් වී නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත වියදම රුපියල් බිලියන 271කි. පසුගිය අයවැයේ රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලධන වියදම ලෙස රුපියල් බිලියන 58ක් වෙන් කර තිබුණි.  කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයට බැසිල් රාජපක්ෂ මහතා වචන වරද්දමින් ඉදිරිපත් කළ 2022 අයවැයේදී මූලධන වියදම් ලෙස වෙන් කර තිබුණේ රුපියල් බිලියන 27ක් පමණි.

තවත් නිරීක්ෂණ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වියදම රුපියල් බිලියන 496කි. මෙම වියදමෙන් බිලියන 404ක් වෙන් වන්නේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු සඳහාය.

මීට අමතරව නාගරික සවංර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් මූලධන වියදම් ලෙස බිලියන 95ක් වෙන් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයට වඩා එම අමාත්‍යාංශයේ මූලධන වියදමත් වැඩිය.  

පළාත් සභා වෙනුවෙන් රුපියල් බිලියන 535ක් වෙන් කර තිබේ. එය, මීට පෙර අයවැයවලට සාපේක්ෂව ඉහළ වියදමකි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 175ක් යොදවා ඇති අතර, පොලීසියේ වැටුප් ගෙවීම ඇතුළු පොලීසිය පවත්වාගෙන යෑමේ කටයුතු සඳහා බිලියන 136ක් වෙන් කර තිබේ.

පෝෂණය සහ කර්මාන්ත

මේ අයවැය වාමාංශික හෝ උපායමාර්ගිකව ලොකු වෙනසක් ඇති අයවැයක්ද යන්න කල්පනා කිරීමේදී ලියුම්කරු අවධානය යොමු කළ තවත් පැත්තක් වනුයේ කෘෂිකර්මය, ආහාර සුරක්ෂිතතාව යනාදී ජනතාවගේ ආරක්ෂණයන් වෙනුවෙන් වෙන් කර ඇති මුදලය. අනෙක් පැත්ත වනුයේ ඉදිරියේදී රටේ ආර්ථිකය තේ, ඇඟලුම්, විදේශ ශ්‍රමිකයන් සහ සංචාරකයන් යන ක්ෂේත්‍රවලින් එහාට ගෙනයෑම උදෙසා කර්මාන්තවලට, විද්‍යාත්මක පර්යේෂණවලට සහ අනෙකුත් කටයුතුවලට රජය මුදල් වෙන් කර ඇතිද යන්නය.

කෘෂිකර්ම. පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 83.8ක් වුව, කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා යටතේ ඇති එම අමාත්‍යාංශයේ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 124ක් වෙන් කර තිබේ.

වියදම්වලට උපශීර්ෂවලට එබී බැලුවොත්, මූලධන වියදම්වලින් බිලියන 96ක්ම ලාල්කාන්ත කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සංවර්ධන වැඩසටහන්  වෙනුවෙන් වෙන් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බිලියන 17ක් මූලධන වියදම් ලෙස වෙන් කර තිබේ. මෙය මීට පෙර වසරවල කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදලට වඩා අති දැවැන්ත මුදලක් වුව, මීට පෙර ආණ්ඩු කිහිපයක්ම කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යාංශ වෙන වෙනම පවත්වාගෙන ගොස් තිබුණි. ගියවර අයවැයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදලෙහි එකතුවට සාපේක්ෂව කෘෂිකර්මයට රැඩිකල් ලෙස වැඩි වියදමක් වෙන් කර ඇති බවක් කිව නොහැක.

අති දැවැන්ත මුදලක් නොවුණත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 8ක් පමණක් වෙන් කර තිබීම විශේෂත්වයක් ලෙස දැකිය හැක. සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ එම අමාත්‍යාංශය රජය විසින් විශාල මුදලක් වැය කරමින් කර්මාන්ත සංවර්ධනයක් උදෙසා රට පාවිච්චි කිරීමට යොදාගනු ඇතැයි අනුමානයක් තිබුණත්, ගියවර අයවැයේදී වෙන් කළ රුපියල් බිලියන පහක මුදලට වඩා එහි විශේෂ වර්ධනයක් මෙවර අයවැයෙන් පෙනෙන්නට නැත. ඇතැම්විට, ඔහු සිය අමාත්‍යාංශය යටතේ සකස් කරන සැලසුම්වලට මුදල් අමාත්‍යාංශය විසින් වියදම් කිරීමේ ඉඩකඩක්ද ඇත. මුදල් ඔහුගේ අමාත්‍යාංශයට නොපැමිණීම දැනට ඇති තත්වයයි. එම නිසා මාළිමා ආණ්ඩුවක් යටතේ සිදු වන දැවැන්ත කාර්මික සංවර්ධනය ගැන අදහස තවමත් අපට ප්‍රශ්ණාර්ථ ලකුණක් සමඟ තැබිය හැක.

අප මුලින්ම සඳහන් කළ පරිද්දෙන් වසන්ත සමරසිංහගේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට වෙන් කර ඇති මුදලත් සාපේක්ෂව අඩු එකකි. රුපියල් බිලියන දෙකක මුදලක් සමස්ත අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්න්තුවට වෙන් කර ඇත්තේ මිලියන 317ක් පමණි. එය ගියවර රනිල් වික්‍රමසිංහ රජය යටතේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට වෙන් කළ මුදලටත් වඩා අඩු මුදලකි. ඒ අනුව කෘෂිකර්මාන්තයට රජයේ වැඩි මැදිහත්වීමක් තිබුණත්, ආහාර සුරක්ෂිතතාව මෙන්ම කර්මාන්ත සංවර්ධනය දෙසට ආණ්ඩුව අතිවිශාල මුදලක් වෙන් කර නොමැති බවක් පෙනී යයි.

ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දැවැන්ත විද්‍යාත්මක සංවර්ධනයක් ගැන බලාපොරොත්තු තැබීය. එහෙත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයටත් වෙන් කර ඇත්තේ රුපියල් බිලියන පහකි. ‍වෙළඳ අමාත්‍යාංශයට මෙන්ම විද්‍යා අමාත්‍යාංශයට වඩා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබීම අපූරු කරුණකි. බිලියන 13ක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට වෙන් කර ඇත. එහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල හෝ සංස්කෘතික කටයුතු වෙනුවෙන් වෙන් කරන මුදල ගැන ඇත්තෙන්ම ගැටලුවක් නැත. එහෙත්, මෙහි වැඩි පදාසයක් ඇත්තේ ආගමික සංස්ථා පවත්වාගෙන යෑම වෙනුවෙන් වෙන් කර ඇති මුදලයි.

උදාහරණයක් ලෙස වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ වෙළඳ අමාත්‍යාංශයට වෙන් කළ මුදලට ආසන්න මුදලක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට වෙන් කර ඇත. බුද්ධශාසන අමාත්‍යවරයාගේ මූලධන වියදම් ලෙස පමණක්, වසන්ත සමරසිංහ වෙළඳ අමාත්‍යවරයාට වෙන් කර ඇති මුදලට ආසන්න මුදලකි.

ලොකු වෙනසක් නෑ

මෙවර විසර්ජන පනත් කෙටුම්පත බැලූ කළ පෙනී යන්නේ, මීට පෙර රජයන් විසින් ඉදිරිපත් කරන ලද ගතානුගතික අයවැය යෝජනා ඉක්මවා යන දැවැන්ත රැඩිකල් වෙනසක් මෙවර අයවැයෙන් කිරීමට උත්සාහ කර නොමැති බවය. පොදුවේ රාජපක්ෂ ආණ්ඩු සහ වික්‍රමසිංහ ආණ්ඩු විසින් වෙන් කළ රටාවටම මුදල් වෙන් කිරීම සිදු කර ඇත. අප සලකා බැලිය යුත්තේ, අයවැය යෝජනාවලිය සහ එම අයවැය මගින් වෙන් කර ඇති මුදල් කාර්යක්ෂම ලෙස වියදම් කරන්නේද යන කාරණාය. ඇමතිවරියන් දෙදෙනා සහ ඇමතිවරුන් පිරිසට දැන් සිදුවනු ඇත්තේ තමන් සතු මුදල් වඩාත් නිර්මාණශීලී සහ කාර්යක්ෂම ලෙස වියදම් කරමින් ඒ ඒ ක්ෂේත්‍ර දියුණු කරන ආකාරය කල්පනා කිරීමය.

සැබෑ ලෙසම ආර්ථිකය සිය කර මත දරාගෙන සිටින සුවහසක් වැඩකරන පොදු ජනතාව උදෙසා අයවැය සකස් කළ යුතු බව අප විශ්වාස කළත්, ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේදී කියා තිබුණේ ආර්ථිකය සියුම් හුයකින් එල්ලී තිබෙන බවයි. ඔහු කියා තිබුණේ දැවැන්ත වෙනස්කම් ඔරොත්තු නොදෙන බවයි. ඔහු වක්‍රව අදහස් කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂ පාලනයන් කරගෙන ආ ආකාරයට වඩා පාලන රටාවේ ලොකු වෙනසක් අපේක්ෂා කළ නොහැකි බව නොවේද? දැවැන්ත කම්පනයන් දරාගත නොහැකි බව ඔහු කීය. මෙවර අයවැයේදී පෙනී යන්නේ, මීට පෙර පැවති රටාවම අනුගමනය කරමින් ආර්ථිකය එල්ලා ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරන සියුම් හුයෙන්ම 2025 දීත් ආර්ථිකය එල්ලා තැබීමට සැලසුම් කර ඇති බවය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading