හරිණි අමරසුරිය අගමැතිනිය ‘ලාංකික කතක් නොවෙතැයි’ හිටපු ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසා ඇත. එනම් ඔහුගේ අදහස වන්නේ හරිණිගේ භාෂා හැසිරවීම ඇයගේ ඉහළ පාන්තික භාවය පෙන්නුම් කරන බවත්, ඇය ලංකාවේ සම්ප්‍රදායික පවුල රකින්නේ නැති බවත්ය. එනම් ඇය විවාහක නොවීම සහ දරුවන් නොසිටීම මීට හේතුවය. දිලිත් තරඟ කළේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙනි. පැරණි කොමියුනිස්ට් පක්ෂයේ සිටි ක්‍රියාකාරී ස්ත්‍රීන් වන හෙඩි කේනමන් හෝ ඩොරින් වික්‍රමසිංහ තමන් උරදුන් පක්ෂය මෙවැනි කුජීත තැනකට පත්ව දිලිත් වර්ගයේ උග්‍ර ගතානුගතිකවාදීන්ට ඉඩ දෙනු ඇතැයි හීනෙන්වත් සිතන්නට ඇතිද?
දිලිත්ගේ චෝදනාවේ හරය වන්නේ ඇයව සදාචාරාත්මක වශයෙන් විශ්වාස කළ නොහැකි බවත්, ඒ නිසා ඇය සිය ධූරයට නුසුදුසු බවත්ය. එනම් ඇයව සැක කළ හැකිය. මන්ද ‘ඇය දරුවන් වදා නැත.’
අපගේ නිරීක්ෂණය වන්නේ හරිණි සාමුහික දේශපාලන අභිලාෂය (collective political will) සිය සතුට කරගත් ස්ත්‍රියකැයි කියාය. ඇය තමන්ගේ නොවන දරුවන්ගේ යහපත් හෙට දවසක් පිළිබඳ කටයුතු කරන බව පෙනෙයි. බොහෝ දෙනෙකු වාමාංශික උරුමයක් වූ සාමුහික අභිලාෂයන් සිය සතුට හා පැවැත්ම කරගත් මෙම ලෝක දැක්ම පිළිබඳව සැක කරන බවක් දැකිය හැකිය. නොඑසේනම් එවැනි දේශපාලනයක් පැවතිය හැකි බව බොහෝ දෙනෙක් විශ්වාස කරන බවක් පෙනෙන්නට නැත. උදාහරණයකට ඇතැමෙක් වාමාංශික දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනෙකුගේ ජීවිත ඉතාම දුප්පත් බවත්, සමහර වාමාංශික නායකත්වයන්ට අයත් නිවෙස්වල කුස්සියේ වහලය ඉටි කොළ සෙවිලි කර ඇති බවත් පවසමින් සරදමට හා අවමානයට ලක් කරයි. මෙකී අයගේ එවැනි ප්‍රකාශ වලින් එන ප්‍රශ්නය වන්නේ තමන්ගේ ජීවිත පොහොසත් කරගන්නේ නැතිව, ඊට හැකියාවක් නැතිව ඔවුන් රට, සමාජය ගොඩ නගන්නේ කෙසේද? යන්නය. ඇත්ත වශයෙන්ම මෙම ප්‍රශ්නය පෞද්ගලික දේපල සහ පෞද්ගලික සාර්ථකත්වය මුලික කරගත් බුර්ෂුවා ලෝක දැක්මකින් පැන නගින්නකි. ඒ නිසා මේ ප්‍රශ්නය මගින් මග හරින කරුණ වන්නේ වාමාංශික දේශපාලනයේ යෙදෙන ස්ත්‍රීන් හා පිරිමින් ඔවුනගේ කාලය සහ ශ්‍රමය පෞද්ගලික සුඛ විහරණය සඳහා නොව පොදු දේශපාලන යහපත වෙනුවෙන් කැප කර ඇති බවය. ඒ පොදු දේශපාලන අභිලාෂය අනෙකුත් සියලුම අභිලාෂයන්ට වඩා විශාල බවය.
එහෙත් දිලිත් ජයවීර වැනි මාධ්‍ය හිමිකරුවන්ගේ දේශපාලන අභිලාෂය මීට වෙනස්ය. එනම් එහි මුලික ලක්ෂණය වන්නේ එය ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී දැක්මක් සහිත සහ බහුතරය බැහැර කරන දේශපාලනයක් පෙර දැරි කරගෙන තිබීමය. එම දේශපාලන අභිලාෂයේ කේන්ද්‍රය වන්නේ හුදෙක් පෞද්ගලික ධනය රැස් කිරීමත් ඒ සඳහා ඕනෑම අගතිගාමී දේශපාලනයක නිරත වීමත්ය. එ’නිසා හරිණි ‘ලාංකේය සංස්කෘතියට නිගරු කිරීම’ කෙසේ වෙතත්, තමන් රකින්නේ යැයි කියන සම්ප්‍රදායේ අවම හෝ වටිනාකම් ප්‍රමාණයක් ඇත්නම් එයද විනාශ කිරීම හැර දිලිත් ජයවීර පසු ගිය දශකයකට වඩා කාලය තුළ එකී සංස්කෘතියට කර ඇති සේවය කුමක්ද? උදාහරණයකට සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන ආගමික ස්ථානයක් වන කැලණිය විහාරය පසුබිම් කරගෙන පෑ ‘ප්‍රාතිහාර්ය’ (miracle) නාටකය දෙස බලන්න. දිලිත් කැළණි පන්සලේ නා හිමියන්ගේද සහාය ඇතිව නාග ලෝකයෙන් පැමිණි නාගයෙකු ගෝටාභය රාජපක්ෂ ජනාධිපති කරන්න යැයි පැවසූ බව කියමින් ඡන්ද ප්‍රචාරක මෙහෙයුමක් සිය රූපවාහිනි නාලිකාව හරහා දියත් කරනු ලැබීය. එම පණිවිඩය ගෙන ආවේ යැයි සඳහන් කළ නාගයෙකු ප්ලාස්ටික් බෝතලයක දමා ජනතාවට එය නැරඹීමට එන්න යැයි සිය මාධ්‍යය හරහා ආරාධනා කළේය. කෙසේ වෙතත් ජනතාව මේ තරම් අන්ධ විශ්වාසයන් කරා ගෙන යාම, සිංහල බෞද්ධ ජනයාගේ තාර්කික බුද්ධි මට්ටම මෙතරම් පහළ තත්වයකට ඇද දැමීම සහ ඒ ගණන් බැලීම් ගැන ඔහුට ලැජ්ජාවක් නැත. වග වීමක් නැත.
වාමාංශික දේශපාලනයේ යෙදෙන ස්ත්‍රීන්ට මෙම ප්‍රහාරය එනම් ‘ඔවුන් සිය ධුරයට සුදුසු නැත’ යන විවේචනය ලාංකික ‘සම්ප්‍රදායට’ (ඔහුට අනුව සිංහල බෞද්ධ සම්ප්‍රදාය) සම්බන්ධ කොට තිබුනද, ඇත්ත වශයෙන්ම ඔවුනගේ විවේචනයට පදනම් වන්නේ ඇය විසින් සම්ප්‍රදායිකව නොමිලේ ලබා දෙන ශ්‍රමය නොඑසේනම් ‘නිදහස් සේවාව’ (free service) අහිමි වේ යැයි යන කනස්සල්ල, බිය සහ කේන්තියය. මේ ධනවාදී අර්ථ ක්‍රමය පැවතීමට ඇය විසින් ලබා දෙන නිදහස් සේවාව අත්‍යවශ්‍යය. විශේෂයෙන් දරුවෙක් බිහිකිරීම යනු සමාජ ආර්ථික ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කරන ශ්‍රමය නොමිලේ නිෂ්පාදනය කිරීමය. පවුල් සංස්ථාව පවත්වාගෙන යාම, ළමුන් රැකබලාගැනීම සහ ඔවුන්ව සුදානම් කොට, අහාර පාන සකස්කොට පාසල් යැවීම විසින් උගත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා ඇයගේ ‘නිදහස් සේවාව’ විසින් සපයා දෙන දායකත්වය අති මහත්ය. එසේම පවුල, ගෘහය සහ ඒ අවට පරිසරයේ පිළිවෙල සහ පිරිසිදු කම රැක ගැනීමෙන් සිදු කරන්නේ සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් පවත්වා ගැනීම සඳහා දායක වීමය.
එහෙත් මේ කිසිවක් සඳහා පවතින නව ලිබරල් අර්ථ ක්‍රමය විසින් ප්‍රමාණවත් සහායක් සපයන බවක් පෙනෙන්නට නැත. උදාහරණයකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මගින් සමාජ සුභ සාධනය කපා හරින්න යැයි කියන විට සහ නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීම අවම කරන්න යැයි කියන විට ඉන් විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ ස්ත්‍රියයි. එනම් රෝගීන් රැක බලාගැනීම, වැඩිහිටි පිරිස් රැක බලාගැනීම යනාදිය පවුලේ ස්ත්‍රියට, විශේෂයෙන් මව වෙත පවරා ඇති වගකීමක් නිසා සෞඛ්‍ය පහසුකම් අවම වන විට, රෝහල්වල රෝගීන්ට ඉඩ අවම වන විට ඒ බරත් දරන්නට වන්නේ ඇයටය.
ඒ අනුව අද දවසේ මව්වත්වය යනු ‘දේශපාලන තත්වයකි’ (political state). හෙලන් චාමන් ඇයගේ නවතම කෘතියේ, Mother State (2024) හි දක්වන පරිදි ‘මව්වත්වය’ එනම් මානව ජිවිතයක් නිර්මාණය සහ එය සුරක්ෂිතව රැකබලාගැනීම යන සියල්ලම බලය, තත්වය සහ සම්පත් බෙදීයාම සමග ඔබ හිතනවාටත් වඩා බැඳී පවතී. දරුවෙකු බිහිකිරීම සමාජයක පැවැත්මෙහි මුලික පදනමයි. එය ගර්භනී භාවයේ සිටම අසමානව බෙදාගත් ශ්‍රමයකි.
‘මව්වත්වය’ ඒ අනුව ආර්ථික කාරණයක් මෙන්ම සාමුහික සමාජ පැවැත්ම පිළිබඳ කාරණයක් ද වේ. තරුණ විවාහ සහ දරුවන් සැදීම අවම වීම ලෝකය පුරාම දැකිය හැකි සංසිද්ධියකි. වරක් ඇමෙරිකාවේ එම දත්ත ප්‍රකාශයට පත්කළ පර්යේෂණයක් බෙදා ගනිමින් ඉලෝන් මස්ක් දක්වා තිබුනේ එය ‘ඉතාම අවධානම් සහගත තත්වයක්’ (extremely concerning) බවයි. එහෙත් මෙම පොදු සහ සමාජීය කාරණයක් වූ ‘මව්වත්වය’ සම්බන්ධයෙන් ඔවුනගේ ප්‍රතිචාරය දක්වා තිබුනේ එය පෞද්ගලික කාරණයක් බවට පිරි හෙළමිණි. එනම් ‘ආත්මාර්ථකාමීත්වය,’ ‘ගුණවත්කම් අහිමි වීම’ (දිලිත් හරිණිට කියන්නා සේ) සහ ‘වගකීම් විරහිත බව’ යනාදී අගතීන් ස්ත්‍රියගේ පෞද්ගලිකත්වයේ හෝ පෞරුෂත්වයේ ලක්ෂණ ලෙස ලඝු කොට ඇත. එහෙත් මෙයට බලපාන බාහිර කරුණු ගණනාවක් (external conditions) තිබෙන බව කිව යුතු නොවේ. එනම් දරුවන් රැක බලා ගැනීමට අවශ්‍ය වන දැරිය හැකි ළමා රැකවරණය, ආධාරක ජාල, නම්‍යශීලී වැඩ විධිවිධාන සහ මාතෘත්වය විසින් ගෙන එන මූල්‍ය අපහසුකම්වල අවදානම ආදිය ඊට බලපෑම් කරයි. එබැවින් මව් පදවිය පහසු කාරණයක් නොවේ.
එසේම මව්වත්වය සමග බැඳී ඇති ජීව විද්‍යාත්මක කාරණය සහ සමාජ සාක්ෂාත්කරණය (biological and social actulization) අතර ඇති සිහින් බෙදුම් රේඛා අපැහැදිලි නොවිය යුතුය. දරුවන් නොමැති ස්ත්‍රීන් තමන්ගේ ශරීරයෙන් වෙන්ව සහ මව්වත්වයට කිසිඳු සම්බන්ධයක් නැතිව පවතින්නේ නොවේ. එම ස්ත්‍රීන් අතර ගැබ් ගැනීම්, ගබ්සා කිරීම් සහ ඔසප්වීම්හි අක්‍රමිකතා ඇති අය බහුලය. ඒ අනුව මව්වත්වය පිළිබඳ ඇති බැහැර කරන සුළු සහ තනි නිර්වචනයකට අනුකූල නොවන මාතෘත්වයේ සීමිත අවධීන් ගණනාවක් එම ස්ත්‍රීන් පසු කර ඇත. එසේම එම ස්ත්‍රීන් ඔවුනගේ ජීවිතයේ හමුවන බොහෝ දරුවන්ට සිය මව්වත්වයේ දෑත් දිගු කර ඇත. ඒ නිසා මව්වත්වයට අදාළ අඩවිය අවබෝධ කරගන්නට යන ඕනෑම කෙනෙක් මෙම දෙබෙදුම අතර වෙනස පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
දිලිත්ගේ ස්ත්‍රී විරෝධී විවේචනයට එරෙහිව ජාතික ජන බලවේගයට සහාය දුන් සහ නුදුන් විශාල පිරිසක් මුහුණු පොත පුරා විසිරුණු ප්‍රතිචාරයක් දක්වා තිබුණි. එවැනි ප්‍රතිචාර අතර මූලික වූ පෝස්ටුවක් වුයේ දිලිත් ජයවීර ස්ත්‍රියකට අන්දවා ඊට යටින් “ලාංකික කත” යන නමින් ආමන්ත්‍රණය කිරීමයි. එහෙත් අවාසනාවකට මෙම විවේචනය නැවතත් යොමුව ඇත්තේ ස්ත්‍රිය සම්බන්ධයෙන් වන අගතිගාමී ආස්ථානයක් පදනම් කරගෙනය. එනම් ‘ස්ත්‍රියක් වීම නිගරුවට කරුණකි’ යන සමාජ ජන විඥානයේ පවතින එක්තරා මනෝභාවයක් නඩත්තු කිරීම එම පෝස්ටුවට මූලික වී තිබුණි. එනම් දිලිත් පිරිමියෙක් නිසා ඔහු ස්ත්‍රියකට ඇන්දවීම ඔහුගේ පිරිමි භාවයට නිගරුවකි. ඒ නිසා දිලිත්ව ස්ත්‍රියට ඇන්දවීම මගින් දිලිත්ට අපහාස කරන්නේ යැයි කීවද, ඇත්ත වශයෙන්ම එහි පදනම ඇත්තේ ‘ස්ත්‍රිය පහත්ය’ යන අගති සහගත තැනකය. එමගින් ඔවුන් අවසාන වශයෙන් දිලිත්ට ස්ත්‍රියක් ලෙස නොහැසිරෙන ලෙස යෝජනා කරයි!
එසේම දිලිත්ලාගේ මේ විවේචනය බරපතල වන්නේ ඔවුන්ගේ දෘෂ්ටිවාදය ලංකාවට පමණක් සීමා නොවූවක් නිසාය. එම විවේචනය සහ විවේචනයට මුලික වන ස්ත්‍රී විරෝධී ආස්ථානය පිරිමි ලෝක දැක්මකි.
උදාහරණයකට ඇමෙරිකාවේ ඉදිරි නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂිකාව වන කමලා හැරිස්ට රිපබ්ලිකන් පක්ෂයෙන් ගෙනෙන ප්‍රධාන විවේචනයත් මෙයයි; ‘ඇයට දරුවන් නැති නිසා ඇය බලයට නුසුදුසුය.’ එසේම ඕස්ට්‍රේලියාවේ නියෝජිත මන්ත්‍රීවරයෙකු වරක් පැවසුවේ, අගමැතිනි ජුලියා ගිලාඩ් සිය රට මෙහෙයවීම සඳහා නුසුදුසු බවය. මන්ද ඇය සිතා මතාම දරුවන් නොහදන බැවිණි.
නවසීලන්තයේද අගමැතිනි හෙලන් ක්ලාක්ට මෙවැනිම චෝදනා එල්ල විය. එසේම අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් සිය ධුර කාලය තුළ මවක් වූ අතර ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වූ විට BBC ය එම ප්‍රවෘතිය පළ කළේ ලිංගවාදී සිරතලයක් සමගිනි; “ඇත්තටම ස්ත්‍රීන්ට සියල්ල අත්පත් කර ගත හැකිද?” (can women really have it all?). මෙවැනි උදාහරණවලින් පෙන්නුම් කෙරෙන්නේ දිලිත්ලා යනු ලෝක දෘෂ්ටිවාදයක් බවයි.
දිලිත්ලාගේ ‘මව්වත්වය’ සම්බන්ධ විවේචනය ලිංගවාදී සහ ස්ත්‍රී විරෝධී යැයි තහවුරු වන තවත් එක් අවස්ථාවක් වන්නේ බලයේ ඉහළ තනතුරුවලට පැමිණෙන පිරිමින් විෂයෙහි මෙම විවේචනය පැන නගින්නේ අවම වශයෙන් නිසාය. උදාහරණයකට ප්‍රංශයේ එමැනුවෙල් මැක්රෝන්ට සහ ජපානයේ ශින්සෝ අබේට දරුවන් නැත. එහෙත් ඔවුනට එරෙහිව මෙවැනි විවේචනයක් පැන නැගුනේ නැත.
කෙසේ වුවත් ඇත්ත වශයෙන්ම දිලිත් වර්ගයේ පිරිමින්ට ඇති ප්‍රශ්නය හරිණි මවක් නොවීමම නොවේ. ඇය වර්ගවාදී, ලිංගවාදී, ආගම්වාදී නොවන සහ වාමාංශික කාන්තාවක් වීමය. ඔහු වැනි පිරිමින්ට පහසුවෙන් ලඟා විය හැකිව තිබූ බලයේ ඉහළ තනතුරකට ස්ත්‍රියක් වන හරිණි පැමිණීමය. එම බලයේ පිරිමි අඩවියට ඇය වැනි ස්ත්‍රීන් පැමිණීමය. පෙර පරිදි ස්ත්‍රීන් ඔවුන්ට සේවය කිරීම සඳහා පෙළ නොගැසී සිටීමය. ඒ නිසා හරිණි වැනි ස්ත්‍රීන්ගේ පැමිණීම දිලිත් පන්නයේ පිරිමි අඩවියේ මෙතෙක් තිබු බලයට තර්ජනයකි. සහ දිලිත් වැනි පිරිමින්ගේ ආර්ථික මංකොල්ලකෑම්වලට සහ සමාජ සංස්කෘතික විනාශයට එරෙහිව සිදු කරන දෘෂ්ටිවාදී ප්‍රහාරයකි.

ඩිලිත් කියන්නේ මේ රටේ මිනිස්සු මරන්ගේ දනය අඅයුතු ලෙස හොරා කාපු තිරිසනෙක් , කොරෝනා කාලයේ ඇන්ටිජන් කිට් ලන්කාව ට ගෙනවෙලාවෙ එවාගෙන් අයුතු ලෙස මුදල් ඉපැයු පහාරයෙක් ,ඒ වගේම නිරෝදායනය සදහා පිටරට වල ඉදන් අපේ රටේ මිනිස්සු ලන්කාව ට ආපු වෙලාවේ උගේ සිට්‍රස් හෝටල් වලට යොමුකර ගෙන නොහොබිනා ලෙස මිනිස්සුන්ගේ සල්ලී ගත්ත පහාරයෙක් ,
හරිනි, ජාතික බෞතික සැලැස්ම හෙවත් ජුනි 12 2019, 2127/15 අති විශේෂ gazzette වෙනුවෙන් පෙනී සිටී. එය රටට අතිශය අහිත්කරය. ඇය lgbt ප්‍රවර්ධනය හා නීතිගත කිරීමට එකගයි.
Dilith looks so useless & stupid.
Better not to waste time on his bullshit ideas
We got to discuss many other topics on the eve of reality & humanity which leads for wellbeing of our SL citizens.
Let s keep him far away !