ප්‍රවීණ ප්‍රකාශකයෙකු වන ජනක ඉණිමංකඩ ලියූ සටහනකි!
ඊයේ සවස, Hermitage කලාගාරයේ සිට හෝටලයට පැමිණ නිකමට මෙන් අන්තර්ජාලයට ගොඩ වී මා විමසා බැළුවේ මා ආසන්න ඉමක වන තවත් කලාගාර හා කෞතුකාගාර මොනවාද යන්නයි.

මගේ ඇස් උඩ ඉන්දවමින් එය මට දන්වා සිටියේ මීටර් 700 ක් දුරින් පියෙදෝර් දොස්තයෙව්ස්කි තම අවසන් අවුරුදු දෙකහමාර ජීවත් වූ නිවස පිහිටා ඇති බවත්, කිලෝ මීටර දෙකහමාරක් එපිටහින් අන්නා අහ්ක්මතෝවා කෞතුකාගාරය පිහිටා ඇති බවත් ය. ඒ කෞතුකාගාර දෙකම තවත් පැයකින් වසන බව දැක්වූයෙන් අහ්ක්මතෝවා කෞතුකාගාර විසිත්තය පසුවට කල් දමා මම හැකි වේගයෙන් මගේ කාමර සගයා වන ඩබ්. ඒ. අබේසිංහ මහතාවත්, කරුණාතිලක හඳුන්පතිරණ මහතාවත් ඇදගෙන, සරත් ලාල් කුමාර මිතුරාවද එක් කරගෙන ඒ කරා දිවීමි.
සිව් මහල් ගොඩනැගිල්ලක, දෙවන මහලේ ය දොස්තයෙව්ස්කි, ඔහු බිරිඳ අන්නා හා ඔවුන්ගේ දරුවා 1878 සිට 1881 දක්වා ජීවත්ව සිට ඇත්තේ.
දැන් ඒ මුළු ගොඩනැගිල්ලම දොස්තයෙව්ස්කි ගේ මතක සටහන්, අත්පිටපත්, ඔහු භාවිත කළ පොත්පත් අඩංගු කෞතුකාගාරයකි.
දොස්තයෙව්ස්කි අවසන් හුස්ම හෙළූ කාමරය එදින තිබූ ලෙසම සකසා ඇත.
ඔහුගේ ලියන මේසය මත නොනිවෙන ඉටිපන්දම් දෙකක් තවම දැල්වේ. (ඒ ඡායාරූප කොමෙන්ටු තුළ ඇත.) ඒ මුළු නිවසම එදා දොස්තයෙව්ස්කි පවුල භාවිත කළ ලෙසින්ම, ඒ ලී බඩු වලින්ම ආරක්ෂා කර ඇත.
නිවසට පසෙකින් වන කොටසේ ඇති කෞතුකාගාරයේ එක් තැනක එල්ලා ඇති හාන්ස් හොබ්ලින්ගේ සිතුවම දුටු මට ඇස් අදහාගත නොහැකි විය.
මා සමඟ ගිය තිදෙනාගෙන්ම ඒ සිතුවම හා දොස්තයෙව්ස්කිට ඇති සම්බන්ධය දන්නේදැයි විමසුවද ඔවුන් කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැත.
පසුව මම ඔවුන්ට ඒ සිතුවමට අදාල ඒ සිද්දිය ඔවුන්ට පැවසීමි.
තම යතුරු ලියන්නිය හා දෙවන වරට විවාහ වී සිටි දොස්තයෙව්ස්කි 1867 දී පීටර්ස්බර්ග් නුවරින් පළා යන්නේ ණයකරුවන්ට මුහුණ දිය නොහැකිවය.
තම බිරිඳ සමඟ ජිනීවා වෙත පළා යන දොස්තයෙව්ස්කි ණය බරින් බේරෙන්නට හා තම ප්‍රකාශකයාට වූ පොරොන්දුව ඉෂ්ට කරන්නට ඔහුගේ අලුත්ම නවකතාව වන The Idiot ලියන්නට කෙතරම් උත්සාහ ගත්තත් එය සාර්ථක නොවන තැනදී, බිරිඳගේ යෝජනාවක් මත ඔවුන්ගේ තාවකාලික නවාතැන ආසන්නයේ වූ කලාගාරයකට එක් සවස් යාමයක ගොඩ වේ.
හාන්ස් හොබ්ලින්ගේ මේ Dead Christ සිතුවම එම කලාගාරයේදී දකින දොස්තයෙව්ස්කි මීමැස්මොරය සෑදී ඒ සිතුවම ඉදිරිපිට ඇද වැටුණු බවත්, ඔහුට යථා තත්ත්වයට පත්වීමට දින ගණනාවක්ම ගිය බවත් අන්නා සිය දිනපොතේ ලියා ඇත. (වරක් මේ සිතුවම නැරඹීමට හා දොස්තයෙව්ස්කි ඇද වැටුණු ඒ තැන මද වේලාවක් සිටගෙන සිටීමට පමණක්ම පැරීසියේ සිට ජිනීවා එන්නට මා ගත් උත්සාහය මගේ මිතුරෙකු එදින වැළැක්වූයේ ‘තොට පිස්සුද යකෝ එක චිත්‍රයක් වෙනුවෙන් එක රටකින් තවත් රටකට තකහණියේ යන්න!’ යි තර්ජනය කරමිනි.
)
හාන්ස් හොබ්ලින්ගේ Dead Christ සිතුවමේ වන ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි හැඟුම දොස්තයෙව්ස්කිගේ හැඟීම් කළඹා ඇත.
අන්නා පසුව ලියා ඇත්තේ The Idiot නවකතාවේ මිස්කින් කුමාරයාගේ චරිතය දොස්තයෙව්ස්කි නිර්මාණය කර ඇත්තේ එකී සිතුවමේ වන ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි හැඟුම අනුව යමින් බවයි.
The Idiot නවකතාවේ තැන් තුනක මෙම සිතුවම ගැන කියවේ.
(එකී සිදුවීම ගැන තොරතුරු අඩංගු ලිපියක සබැඳිය කොමෙන්ටු තුළ ඇත.)
මේ සියල්ල දැකීමෙන් සිත තුළ උපන් ආනන්දය වචනවලට නොනැගිය හැකිය.
*
ඊයේ දවස පුදුමාකාර දවසකි. ලොව ප්‍රකට සිතුවම් හී මුල් කෘති දහස් ගණනක් සියැසින් නරඹා, ලොව අග්‍රතම ලේඛකයෙකුගේ පහස ලද ස්ථානයේ සැරි සැරීමට, ඔහුගේ අත් අකුරු සියැසින් දැක ගැනීමට වාසනාවන්ත වීමි; එ දවස එතරම්ම පොහොසත් දවසක් විය.
*
අද අන්නා අහ්ක්මතෝවා කෞතුකාගාරය සවස් කාලයේ නැරඹීමට බලාපොරොත්තු වෙමි.
*
මේ දිනවල ශාන්ත පීටර්ස්බර්ග් නුවරට රාත්‍රිය නො එයි. දහවලද, රාත්‍රියද එකක්ම කරමින් ඉර නොබසියි. මගේ ජීවිතයේ මේ දින කිහිපයද රාත්‍රියෙන් තොර ආලෝකමත් සදා ධවල දිනයන් ය.
