තරිදු ජයවර්ධන
ශක්‍යතා අධ්‍යනත් නැතිව ණය
ණය අරන් වංචා ගොඩක්
දේශගුණ විනාසයට පාර කපන ව්‍යාපෘති ගොඩක්
ගෙවන්න බැරි කාලෙත් ණය ගිවිසුම් 23ක්
ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය ආයතන විදෙස් ණය ලබා ගනිමින් වසරකට ව්‍යාපෘති රැසක් සිදු කරයි. ඇතැම් ව්‍යාපෘති දීර්ඝ කාලීන මහා පරිමාන ව්‍යාපෘති වනවා සේම ඇතැම් ව්‍යාපෘති කෙටිකාලීන ව්‍යාපෘතිවේ.මෙම ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති විය. ගිං නිල්වලා යනු එවැනි එක් ව්‍යාපෘතියක් වන අතර ඊට අත්තිකාරම් ලෙස ලබා ගත් රුපියල් කෝටි 401කට සිදුවූ දෙයක් නැති බවට විගණකාධිපති උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේය. ව්‍යාපෘති සඳහා ලබා ගත් විදෙස් ණය ගෙවා දැමීමට නොහැකි වීම මත ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වූ බවට වාර්තා විය. ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය ගෙවා දැමීමට නොහැකිවූ විට මේ වන විට ණය මුදල්වල වාරික ගෙවා දැමීමට තවදුරටත් ණය මුදලක්ම ලබා ගැනීමට ආණ්ඩුවට සිදුවී තිබේ.
මෙම ලිපිය ණය ලබා ගනිමින් සිදු කරන ව්‍යාපෘති ගැන වන අතර මීට අදාල බොහෝ තොරතුරු ලබා ගෙන ඇත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කරන ලද ඉල්ලීම් මගිනි. ණය ලබාගෙන කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් දළ අදහසක් මෙම කෙටි ලිපිය මගින් ඉදිරිපත් කරන අතර ඉදිරියේදී අදාල සෑම ව්‍යාපෘතියක් ගැනම සවිස්තරාත්මක තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

ණය ගෙවා ගන්න බැරි කාලෙත් ණය අරං
පසුගිය වසර එනම් 2023 වසර ආරම්භ වන විට විදෙස් ණය මත ක්‍රියාත්මක වෙමින් පැවැති මහා පරිමාණ ව්‍යාපෘති ගණන 114කි. එම ව්‍යාපෘති 114ට අදාලව ලබාගෙන ඇති ණය මුදල ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 14,279.62කි. එය 2023 වසරේ දී ශ්‍රී ලංකාවේ තේ අපණයනය කිරීමෙන් ලැබුණු ආදායම මෙන් 10 ගුණයකි.
මෙම ව්‍යාපෘතිවලින් ව්‍යාපෘති 23ක් සඳහා ණය ලබාගෙන ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ලෝක බැංකුවෙනි ව්‍යාපෘති 21ක් සඳහාත්, චීනයේ බැංකුවලින් ව්‍යාපෘති 08ක් සඳහාත්, ජපානයේ බැංකුවලින් ව්‍යාපෘති 12ක් සඳහාත් කොරියාවෙන් ව්‍යාපෘති 02ක් සදහාත්, මැදපෙරදිගින් ව්‍යාපෘති 13ක් සඳහාත්, දකුණු ආසියාතික රටවලින් ව්‍යාපෘති 10ක් සඳහාත් ණය ලබාගෙන තිබෙන අතර ජර්මනිය, ප්‍රංශය නෙදර්ලන්තය වැනි රටවලින් ව්‍යාපෘති 22ක් සඳහා ණය මුදල් ලබාගෙන තිබේ. ඊට අමතරව කෘෂි සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙන් ද ව්‍යාපෘති 03ක් සඳහා ණය ලබාගෙන තිබේ.
ව්‍යාපෘති සඳහා ලබා ගත් මෙම ඇතැම් ණය මුදල්වලට අදාලව 2061 වසර දක්වා ණය වාරික සහ පොලිය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවේ. පසුගිය වසර වන විට ක්‍රියාත්මක වෙමින් පැවැති ව්‍යාපෘතිවල තත්ත්වය එසේ වුවද ඊට පෙර අවසන් කරන ලද ව්‍යාපෘතිවලට අදාලවද ණය වාරික තවදුරටත් ගෙවමින් පවතී.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක තිබුණු 2021 සිට 2024 දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අලුත් ණය ගිවිසුම් ගණන 23කි. 2023 වසරේ දී ණය ගිවිසුම් හයකට ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අතර එම ණයවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2029.9කි. ඉන් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයෙන් ලබා ගත් ඇමෙරිකා ඩොලර් මිලියන 495.6ට පමණක් පොලියක් එක් නොවන අතර සෙසු මුදලට අදාලව ණය මුදලට අමතරව අදාල පොලිසියට ගෙවිය යුතුවේ. මෙම මුදලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් ඇමෙරිකා ඩොලර් මිලියන 728.1ක මුදල ද අදාල වේ. බොහෝ දෙනෙක් එය ආධාර මුදලක් ලෙස සැලකුවද එය ආධාර මුදලක් නොවන අතර ණය මුදලකි.
2022 වසරේ දී අත්සන් කර ඇති විදේශ ණය ගිවිසුම් ගණන 06කි. ණය මුදලේ වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 1805.5කි. ඒ සෑම ණයක්ම පොලී සහිත ණය මුදල් වේ. එම ණය ලබාගත් අවස්ථා 06න් පහකම ණය ගිවිසුම් අත්සන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේදීය. 2021 වසරේ දී අත්සන් කර ඇති ණය ගිවිසුම් ගණන 11කි. එහි වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 1138.7කි. කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීම සඳහා හංගේරියාවෙන් ලබා ගත් ණය මුදල සඳහා පමණක් පොලියක් එකතු නොවන අතර මෙම වසරේ ලබා ගත් අනිත් සෑම ණය මුදලකට අදාලවම අදාල පොලී මුදල්ද එක්වේ.
ශ්‍රී ලංකා රජය ලබා ගත් ණයවලට අදාලව පසුගිය වසරේ ගෙවා ඇති වාරිකවල එකතුව ඇමෙරිකා ඩොලර් මිලියන 2510කි. මේ වසරේ පළමු මාස දෙකට අදාලව පමණක් ණයවලට අදාලව ගෙවා ඇති මුදල ඇරෙමිකා ඩොලර් මිලියන 86.77කි.
2023 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකා රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 37334කි. එනම් අමෙරිකා ඩොලර් බිලියන 37.3කි.
ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපෘති සඳහා ණය මුදල් ලබා ගැනීම දිගින් දිගටම සිදු කර ඇත්තේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල තත්ත්වය පවා හරි හැටි අධ්‍යයනය කිරීමකින් තොරව වීම විශේෂත්වයකි.
ඇතැම් ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීම සිදු කර ඇත්තේ එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගැන නිසි ශඛ්‍යතා අධ්‍යයනයක් හෝ සිදු කිරීමෙන් තොරවය. පොලී සහිත ණය මුදලක් ලබාගෙන කරන ව්‍යාපෘතියකට ශඛ්‍යතා අධ්‍යයනයක් නිසි ලෙස සිදු නොකිරීමේ ප්‍රතිඵලය ඒ මගින් රටේ ස්වභාවික සම්පත්වලටත්, ආර්ථිකයටත් දැඩි හානියක් අත්කර දීමය. ඊට හොඳම උදාහරණයක් ලෙස උමා ඔය ව්‍යාපෘතිය සඳහන් කළ හැකිය. එසේම ඇතැම් ව්‍යාපෘතිවලට අදාලව සිදු කළ යුතු පාරිසරික තක්සේරු වාර්තාවට අනුව කටයුතු සිදු නොවීම ද තවත් බරපතල ගැටලුවක් සේ දැක්විය හැකිය. ඒ මගින් පොදුවේ මුළු රටේම දේශගුණික විපර්යාස ඇති කිරීම සඳහා සෘජු බලපෑමක් සිදු කරයි.
ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් පසු ඊට අදාල කොන්ත්‍රාත් පිරිනැම්මේ ද ගැටලු ඇති බවට වාර්තාවන අතර මුදල් රෙගුලාසි කඩ කරමින්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය කඩ කරමින් කටයුතු කිරීම නිසා දූෂණ වංචා වැඩි වෂයෙන් සිදුවෙන බව ඇතැම් ව්‍යාපෘති දෙස බැලූවිට පෙනී යයි.
ඇතැම් ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය මුදල් ගෙවා දැමීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන අතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය දිනෙක ඒ බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදීද පිළිගත්තේය.
ණය ගිවිසුම්
රජය ණය ලබා ගැනීම සඳහන් අත්සන් කරනු ලබන ගිවිසුම් වර්ග දෙකකි. ඒවා නම් ද්වී පාර්ශ්වයික ගිවිසුම් සහ බහු පාර්ශ්වික ගිවිසුම් වේ. ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, ලෝක බැංකුව වැනි ආයතනලින් හෝ සංවිධානවලින් ණය ලබා ගැනීම සඳහා අත්සන් කරන ගිවිසුම් බහු පාර්ශ්වීය ගිවිසුම් ලෙස හැඳින්වේ. ද්වී පාර්ශ්වීය ගිවිසුම් ලෙස හැඳින්වෙන්නේ රාජ්‍යයන්වලින් හෝ එම රාජ්‍යයන්ගේ ආයතනවලින් ලබා ගන්නා ණයවලට අදාලව අත්සන් කර ගිවිසුම්ය.
බොහෝවිට බහු පාර්ශ්වීය ගිවිසුම් යටතේ ණය ලබා දෙන ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි ආයතන රාජ්‍යයන් සමග අත්සන් කරන ණය ගිවිසුම්වල පිටපත් ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා ඔවුන්ගේ වෙබ්අඩවිවල පලකිරීම සිදු කරයි. අනිකුත් බොහෝ රටවල් තමන් අත්සන් කළ ගිවිසුම් ප්‍රසිධ කරනවාට අකමැති බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව තොරතුරු කොමිසමේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ණය ලබා ගැනීමට අදාලව නීතියක් සම්මත කරගෙන තිබේ. එය 1957 අංක 29 දරණ විදේශ ණය පනත ලෙස හැඳින්වේ. එම පනත ක්‍රියාත්මක වන්නේ 1957 අප්‍රේල් මස 13 වැනිදා සිටය. එය පනත 1962, 1963, 1980 සහ 1984 යන වසර වලදී සංශෝධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙත දෙනු ලබන විදේශීය ණයකට අදාල එකඟවීමකට ද, විදේශීය ණයකට අදාළව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරනු ලබන ඇපවීමකට ද හෝ විදේශීය ණයකට අදාලව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් අත්සන් කළ යුතු ගිවිසුමකට, බැදුම්කරයකට, පොරොන්දු පත්‍රයකට හෝ වෙනත් ලේඛණයකට අත්සන් කිරීමට ද බලය එම පනතේ දෙවැනි වගන්තිය මගින් පවරා ඇත්තේ ජනාධිපතිට හෝ ඔහු විසින් අදාල කාර්ය සඳහා විශේෂයෙන් බලය දෙනු ලැබූ යම් තැනැත්තකු වෙතය. ඒ අනුව අදාල කාලයේ රටට ලබා ගන්නා ණයවලට අදාලව ප්‍රධානම වගකිවයුත්තා ජනාධිපතිවරයා ලෙස ද සැලකිය හැකි අතර රටට ණය ලබාගැනීම සම්බන්ධයෙන් වන වගවීම ජනාධිපතිවරයා විසින්ද පෙන්නුම් කරනු ලැබිය යුතුය.
විදේශ ණයවලට අදාලව ගෙවිය යුතු සියලු මුදල් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරනු ලබන බව විදේශ ණය පනතේ තුන්වැනි වගන්තියේ සඳහන්වේ. විදේශ ණයකට අදාල එකඟවීමක් නැතහොත් ඇපවීමක් ක්‍රියාවේ යෙදවීම පිණිස විධිවිධාන සැලසීම මුදල් අමාත්‍යවරයා විසින් සිදු කළ යුතු අතර ඊට අදාලව ගැසට් පත්‍රයේ විධිවිධාන පළ කළ යුතුය. එම සෑම නියමයක්ම මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රී ලංකාව ලබා ගත් ණය මුදල් නැවත ගෙවිය නොහැකිව එම ණය මුදල් ගෙවා දැමීමට තවදුරටත් ණය ලබා ගැනීම මගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ සිට මෙම මුදල් ලබා ගැනීමට අදාල නිලධාරීන් දක්වා සියලු දෙනාගේ වගවීමක් නොමැති හැසිරීමයි. මීට පෙර සඳහන් කළාසේම මෙම ණය මුදල් මගින් සිදු කර ඇති බොහෝ ව්‍යාපෘති මගින් ද රටට අහිතක තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඇතැම් ව්‍යාපෘති නඩත්තු කිරීමට පවා අපහසු තත්ත්වයක පවතී. ඇතැම් ව්‍යාපෘතිවලදී වංචා දූෂණ රැසක් සිදුවී තිබේ.
මෙතැන් සිට ලිපි මාලාවක් මගින් එම ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවලදී සිදුවී ඇති අකටයුතුකම් හා වංචා ගැන හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.
