චන්ද්‍රකුමාර කදනආරච්චි 76 වැනි වියේදී ජීවිතයෙන් සමුගත් බවට ප්‍රවෘත්තිය කියවද්දීම ඒ සිංදුව අහන්න දැඩි වුවමනාවක් ඇති වුණා. ඒ අග්‍රගණ්‍ය ගීය, කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ මායාමය ස්වරයක් තැවරූ වචන, උපාලි කන්නංගරට ගේන්න පුළුවන් සුවිශේෂී බවකුත් සහිත, ගුප්ත ශෝකයක් තැවරුණු සංගීතය එක්ක චන්ද්‍රකුමාර කදනආරච්චිගේ ඒ බර කටහඩ විසින් මේ සිංදුවේ ඔරිජිනල් වර්ෂන් එකේ සංගීතය බොහෝ දුරට පර්පල් රේන්ජ් හෝ ඔක්සිජන් වේදිකාවේ චන්ද්‍රකුමාර සජීවීව ගීතය ගයද්දී ඇහෙනවා අඩුයි.
ඒත්, මේ සිංදුව එක්ක ආත්මීය බැදීමක් හදාගත්ත කෙනෙකුට ඒ සිංදුවේ බර- ගුප්ත බව- ඒක කොහේවත් ඇහෙන්නේ නැතිකම එක්ක ලංකාවෙ හැදුණ නිසි විචාරක ඇගයීම් නොලැබිච්ච සිංදුවක් විදියට හදුන්වන්න ලොකු හැකියාවක් තිබෙනවා. දැන් ඇහෙන විදිය අනුව ඒ සිංදුව ලස්සනයි. ඒත්, මුල්ම සංගීත ඩිසයින් එක එක්ක ඒ සිංදුව කවදාවත් අපට පැනලා යන්න බැරි විදියට ආදර විරහවේ ගුප්ත ලෝකයක සිර කරනවා. ආදරයකින් පැරදුණාම පරාජිත පෙම්වතුන් සමහරවිට ගුප්ත, අදුරු මානසික ගුහාවක හිර වෙනවා. අන්න ඒ ලෝකය ටච් කරන්න පුළුවන් සිංහල සිංදු හරි අඩුයි.
මේ ඔරිජිනල් බව රැගත් මුල් කාලීන වර්ෂන් එකක් අන්තර්ජාලයේ තියෙනවා. දෙවැනි වර්ෂන් එකත් තියෙනවා. පෙනෙන විදියට දෙවැනි වර්ෂන් එකේ සංගීතය ඇරේන්ජ් කරලා තිබුණේ චන්ද්‍රකුමාර කදනආරච්චි විසින්මයි. පළවැනි වර්ෂන් එක උපාලි කන්නංගරගේ. මුල් කාලීන සජීවී ගායනාවල වීඩියෝ හොයාගන්න බැරිකමත්, හඩ පමණක් ඇසීමෙන් සමහර සංගීත භාණ්ඩ අදුනාගන්න තරම් සංගීත ඥාණයක් නොතිබීම නිසාත් ටක්කෙටම මුල් ඩිසයින් එකට පාවිච්චි කරපු භාණ්ඩ නම් කරන්න අමාරුයි.
ඒත්, ඒ කාලයේ කීබෝඩ්වලින් කරපු විවිධාකාර ශබ්දමය අත්හදාබැලීම් බය නැතිව, කඩාගෙන යන විදියට මුල් වර්ෂන් එකට පාවිච්චි කරලා තියෙනවා. ඒක නිකං පොඩි කාමරේක ඉදන්, බය නැතිව ඝෝෂාවට ඉඩ දෙන්නැයි උපාලි කන්නංගරගේ සොදුටු විධානයට නිර්මාණය වූවක් බව හැගෙනවා. ඒ වගේම ගායනයේදී ‘මායා, සේයා‘ වගේ වචන දෝංකාර දෙන විදියටයි පටිගත කරලා තිබුණේ. එය ගීතයේ අපි කිව්ව අර ගුප්ත, අදුරු ස්වරූපය තව වර්ධනය කරනවා.
මේ සිංදුවේ වචනවල තියෙනවා කේ.ඩී.කේ. ධර්මවර්ධනට ආවේණික වූ විශේෂත්වය. චන්ද්‍රකුමාර කදනආරච්චි කියන්නේ ගුවන් පියාසර ඉංජිනේරුවෙක්. ඒක කරන අතරේ මාලදිවයින් යද්දී පහළ වුණ තනුවක් අරගෙන මුලින්ම කේ.ඩි.කේ. මුණගැහිලා ඔහු සිංදුවකට වචන ඉල්ලලා තිබුණා. මුලින් ලියපු වචන ටික ගලපගන්න අමාරු නිසා කේඩීකේ වචන ටිකක් එකතු කරලා තිබුණා. ‘ඔබේ සිනහව තහනම්‘ කියන්නෙ ඒ වචන. චන්ද්‍රකුමාරගේ අනෙක් ජනප්‍රියම සිංදුව බිහිවෙමින්, ඔහුව ගායකයෙක් විදියට භෞතීස්ම වෙලා තිබුණේ ඔය විදියට.
කොහොම වෙතත් මාධ්‍යවේදී කේ.ඩී.කේ. ධර්මවර්ධනගෙ වචනවලින් තමයි පෙම් බැන්ද සිංදුවත් හැඩ වෙලා තියෙන්නේ.
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
‘රැවටිල්ල ලුහුබදින මායා‘ කියන යෙදුම තමයි මේ සිංදුවේ ගුප්ත බව තහවුරු කරලා සීල් එක තියන්නේ. ඒ වගේම ‘රන් සිහින‘ කියන වචනයේදී ප්‍රේමවන්තයා ආදරය කරන කෙනාව මුණගැහෙන්නේ ඇත්ත ලෝකයෙදී නෙවෙයි, සිහිනමය මනෝ ලෝකයක බව කියනවා. ඒ මනෝ ලෝකයේදී මිසක් ඇත්ත ලෝකයෙදී සමහරවිට ඇයට ළංවෙන්නවත් හැකියාව පෙම්වතාට නැතිව ඇති. සමහරවිට දකින වෙලාවට, තමන්ට කිසිදා ඇගේ ප්‍රේමය දිනාගන්න බැහැ කියලා දැනෙනවා ඇති. ඒ නිසාම ඇය රැවටිල්ලක් වෙන්න ඇති. ඒත්, ප්‍රේමය කියන්නේ ප්‍රේමය. ඇය පසුපසම යනවා මිස ඇගෙන් ඈත් වෙන්නත් බැහැ. අමතක කරන්නත් බෑ. මේකත් එක්ක තමයි ඩග් ඩග් ගාලා හදවත ගැහෙන්නේ. අදුරු මනෝ ලෝකයක අපි හිර වෙන්නේ. ඇගේ ආදරය දිනන හැටි හැමදාම හීනෙන් විතරක් බලන්නේ.
ඒත්, ඇය ඉන්නේ පෙනෙන නොපෙනෙන දුරකින්. හරියට ප්‍රේමයක් දිනාගනිද්දී පළවැනිම දේ තමයි දූරස්ථභාවය. ඇය කොච්චර තමන්ට දුරද? ළගද? හොලිවුඩ් නිළියකට පෙම් කරලා වැඩක් නෑ. නිතර මුණගැහෙන්නේ නැති කෙනෙක්ට පෙම් කරලා වැඩකුත් නෑ. අද ඇය හරි උනන්දුවෙන් කතා කරමින් හිනා වෙනවා. එතකොට හිතෙනවා එයා මට කැමති ඇති කියලා. ඒත්, පහුවදාට ඇය අදුනන්නෙ නෑ වගේ ඉන්නවා. එතකොට හිතෙනවා ඇය මට කැමති නෑ කියලා.
රන් තාරකාවෝ
දෙනෙතේ රැදුනාවේ
මේ සොදුරු සිහිනේ
කවදා ඉටු වේදෝ ලදේ
නිම් හිම් නැතේ
සෙනෙහෙ ලයේ
මන්දෝ ලදේ
සැගවී ගියේ
ඔය ලෝක දෙක ඇතුළේ හිර වෙද්දී අනෙක් හැමදේම මගහැරෙනවා. වැඩක් කරන්න බෑ. ඇගටම පණ නෑ වගේ. සමහරවිට ඒ මනෝ ලෝකයේ හිර වෙද්දී යාළුවන් මගහැරෙනවා. ඉගෙනීම හෝ රැකියාව මගහැරෙනවා. පවුලෙ අය මගහැරෙනවා. සමහරවිට රණ්ඩු වෙනවා. ‘මට මගේ මනෝ ලෝකෙ ඉන්න දෙන්න‘ කියලා හිතෙනවා. ඒ ප්‍රේමයෙන්ම පෙම්වතා දැවී යනවා.
පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුනාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගියේ
හැගුමන් මගේ
ඔබ හා බැදේ
පැවතුම් ඔබේ
නොදනී ලදේ
ඔහුගේ හැගුම් ඇය එක්ක බැදුණාට, ඇය කැමති මොකටද කියලා දැනගන්න ලැබෙන්නේ නෑ.
ඒ්ක පාර්ශ්වීය ප්‍රේමයකට විතරක් අයිති, මේ විරහව සහ සොදුරු ප්‍රේමණීය හැගුම් පිරිච්ච ගුප්ත බව අල්ලාගැනීමට තැත් කරපු, මේ සිංදුවේ වෙනත් වර්ෂන් අඩුයි. සුපර්ස්ටාර් වගේ තරගවලදී පවා වෙනස් ආරයක මියුසික් ඇරෙන්ජ්මන්ට් දකින්න ලැබිලා තියෙන්නේ අඩුවෙන්. ලස්සනට කියන්න පුළුවන් සිංදුවක් ලෙස මිසක, මේ ගීයේ ආත්මය අල්ලාගත් අවස්ථා අඩුයි.
ඒ කියන්නේ උඩ කීව ඔරිජිනල් වර්ෂන් එකට වඩා වෙනස් සංගීත භාණ්ඩ පාවිච්චි කරමින්, සිංදුවේ මුල් කලාත්මක අරමුණ සාක්ෂාත් කරගන්නට ගත් උත්සාහයන් අඩුයි. කොහොම නමුත්, ස්වාධීන රූපවාහිනියේ රෙකෝඩින් එකකදී වයලීනය හා ට්‍රම්පට් එක පාවිච්චි කරමින් ගීතයට රහ එකතු කරලා තිබුණා.
හැබැයි මේකෙ අපි කතා කරන අදුර සහ ගුප්ත බව එක්ක පිරිමි හිතක මැවෙන ප්‍රේමණීය ගීතමය ඝෝෂාව නියමෙට අල්ලගත්ත තව වර්ෂන් එකක් තමයි මාතලේ විජය විද්‍යාලයේ බෑන්ඩ් එක මහ රෑ පාරේ යන ගමන් මේ ගීය වාදනය කරන අවස්ථාව.
ඒත් ඒ ඔක්කොම මැද මේකෙ ලස්සන දැකපු අපේ පරපුරේ කලාකරුවා තමයි මිහිදු ආරියරත්න. මිහිදු සහ චන්ද්‍රකුමාර කියන වර්ෂන් එකක් තියෙනවා. පරම්පරා දෙකක පුදුම මික්ස් එකක් ඒක. මිහිදුගේ බර කටහඩ විසින් ගීය වර්ණවත් කරන ආකාරය ප්‍රශස්ත විදියට රසභාවයන් අවුස්සනවා.
මේ සිංදුව සැබෑ ලෙසම මාස්ටර්පීස් එකක්. ලංකාවේ බිහිවෙච්ච හොදම සිංදුවක්. ඇත්තටම උපාලි කන්නංගර, කේඩීකේ සහ චන්ද්‍රකුමාර කියන තුන්දෙනාම ආස හිතෙන, කිසි කෙනෙක්ට අනුකරණය කරන්න බැරි විදියේ තමන්ගේම ආරකට අයිති කලාකරුවන් තුන්දෙනෙක්. අද මේ ගීතය අහද්දී ඒ තුන්දෙනාම ජීවිත හැර ගිහින්. ඒත්, මේ සිංදුවට හිමි ඇත්ත වටිනාකම ලබා දෙමින් මේ සිංදුවේ ආත්මය මතු වෙන විදියට කවර් වර්ෂන් කිරීමේ හැකියාව හෝ අපේ තරුණ අංකුර කලාකරුවන්ට තියෙනවා.
