තරිදු උඩුවරගෙදර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න කැනඩාවේ දේශපාලන සරණාගතභාවය ඉල්ලූ සිදුවීම හාස්‍යයට කරුණක් විදියට සමාජ මාධ්‍යවල මතු වී තිබෙනවා. දුටුගැමුණු රජතුමා රට, ජාතිය අත්හරලා පිටරට ගිහින් හැංගෙනවා කියලයි ඔහුට විහිළු කරන්නේ.
දෙසැම්බර් 24 වැනිදා එමිරේට්ස් ගුවන්යානයකින් ඩුබායිවලට ගිය ඔහු, වීසා අරගෙන තිබුණේ නිවාඩුවක් ගත කිරීමට කියලයි. ඩුබායිවල සිට කැනඩාවට ගිහින්, දේශපාලන රැකවරණ ඉල්ලන්න ඔහු කටයුතු කරලා තියෙනවා.
පහුගිය සතියේ කතානායකවරයාට ලිපියක් යොමු කරලා, පාර්ලිමේන්තුවේ කතාවක් කරලා ඉල්ලා අස්වෙන්නට කටයුතු කළා. ඊට කලින් ඔහුගේ නිවසට වෙඩි තැබීමේ සිදුවීමක් අගෝස්තු මාසයේදී වාර්තා වුණා. මන්ත්‍රීවරයා වාහනය නවත්වා එළියට යනවාත් එක්කම වෙඩි තැබීම සිදු වී තිබුණා. වෙඩි තැබීම පසුපස සිටින්නේ කවුදැයි හෙළි නොවූ බව වාර්තා වෙනවා.
උද්දික ප්‍රේමරත්න අනුරාධපුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ, දුටුගැමුණු රජතුමා ලෙස මහරජ ගැමුණු චිත්‍රපටියේ රගපා ලැබූ ජනප්‍රියත්වය පාදක කරගෙන. ඔහු ඉදිරිපත් වුණේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ කියන්නේ ‘සිංහල- බෞද්ධ‘ දේශප්‍රේමීත්වයේ අග්‍රඵලය වගේ ඉන්න පක්ෂයකින්.
අපි උද්දික ගැන කතා කරන්නට පෙර, මේ ප්‍රවෘත්තිය සමග මතු වූ අනෙක් දේශපාලන මාතෘකාව වන දේශපාලන සරණාගතභාවය ගැන යමක් කිව යුතුයි.
උද්දික ප්‍රේමරත්න විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙකු දේශපාලන සරණාගතභාවය ඉල්ලද්දී අපි එකපාර එය හෑල්ලුවට ලක් කරමින් සිනහා වීම සුදුසු නැහැ. ඇත්තටම මනුෂ්‍යයෙකුට රටක ජීවත් වෙන්නට බැරි තරම් අවදානම් හැගීමක් දැනෙනවා නම් එය කාටවත් විස්තර කරන්නට බැරි හැගීමක්. ඒ වගේම එහිදී ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම දේශපාලන විහිළුවක් විය යුතු නැහැ.
මේ කතා කරන මොහොත වෙද්දී අපි දන්නවා අපේ මිත්‍රයන්, මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් තමන්ට ලංකාවේ ආරක්ෂාවක් නැති බව දන්න නිසා විදේශගත වී සිටින බව. අපට පවා හැමවිටම ලංකාව තුළ අවදානමක් තිබෙන බව අපටම හැගෙනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ අය පරෙස්සමෙන් ඉන්න වගේ දේවල් කියනවා.
මම මෑතකදී භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ මතයකට එකග නොවී, වීඩියෝවක් පළ කළ අවස්ථාවක ඔහු ගැන කියද්දී යම් ආකාරයකට ඔහු දේශපාලන සරණාගතයෙකු බව සදහන් කළා. පොලිටිකල් අසයිලම් ලැබූවෙකු බව.
මට පුද්ගලිකව දේශපාලන සරණාගතයෙකු යන හැදින්වීම ‘උපහාසාත්මක‘ හෝ ‘අපහාසාත්මක‘ හැදින්වීමක් නෙවෙයි. ඇතැමුන් එහෙම සංස්කෘතියක් හදලා තියෙනවා. ඒක, ඇත්තටම දේශපාලන සරණාගතයෙකු ලෙස කටයුතු කරන්න සිදුවෙන අයට අසාධාරණයක්. රටකින් එළියේ ජීවත් වෙන්නට සිදුවෙන තරම් වැඩක් කළා කියන්නේ ඒ මනුස්සයා සැබෑම චරිතයක් වෙන්න ඕනෑ.
අපි දේශපාලන සරණාගතභාවය නොලබන්න හේතුව මහපොළොවේ ලංකාව තුළ අපට කරන්නට වැඩක් තියෙන බව අපි කල්පනා කිරීම. ඒ කියන්නේ සංවිධානය කිරීම්, වෘත්තිය සමිති ආදී වැඩ කරන්න අපි හිතන නිසා. එහෙත්, එක් පැත්තකින් සේපාල් අමරසිංහ වැනි කෙනෙකු කරන්නේ පූර්ණකාලීනව යූටියුබ් වීඩියෝ හරහා දේශපාලන මතයක් ප්‍රකාශ කරමින් ජනමාධ්‍යකරණයෙහි නිරත වීම. ඔහුට ආරක්ෂිතව එය කළ හැකි ක්‍රමයක් තියෙනවා නම් එය කිරීම වරදක් නෑ. සමාජයක් විදියට, තර්ජනයට ලක්වූවෙකු ආරක්ෂා වීම ගැන සතුටු වෙන එකයි වඩා සුදුසු.
එසේ වුවත්, අපට වටහාගත හැකියි, උද්දික වගේ කෙනෙකු තමන්ට ඇති තර්ජන ගැන කියද්දී, සමාජය ඒ දෙස උපහාසයෙන් බලන්නේ ඇයිද කියා. එයට එකම හේතුව, කිසිම කෙනෙකුගේ තර්ජනයට ලක්වීමට තරම් දේශපාලනයක් ඔහු කර තිබෙනවාද යන ප්‍රශ්නය. උද්දිකව පාර්ලිමේන්තු ගෙනා අය ඔහුගෙන් බලාපොරොත්තු වූ කිසිවක් ඔහු ඉටු කර නැහැ.
උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවට ඇවිත් තිබුණේ අවස්ථා 42ක් විතරයි. විෂයන් 9කට අදාලව විතරක් ඔහු කතා පවත්වා තිබෙනවා. මන්ත්‍රී වෙබ් අඩවිය අනුව ඔහුට දී තිබෙන්නේ 223ක් අතරින් 195වැනි ස්ථානය.
උද්දික ප්‍රේමරත්න ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටි කිහිපයක ප්‍රධාන චරිත රගපෑමත්, එයින් පසු ටෙලිනාට්‍ය හා නිර්මාණ කිහිපයක රගපෑමත් නිසා ලැබූ ජනප්‍රියත්වයක් එක්ක පාර්ලිමේන්තු ආවා. ඇත්තටම ඔහු රගපෑ චරිතය දුටුගැමුණු රජු.
‘අත් පා වකුටු කරගෙන ඉන්නේ කොහොමද?‘ කියා ඇසූ දුටුගැමුණු රජු.
දුටුගැමුණු පුරාවෘත්තය පසුපස ඇති දේශපාලනය පසෙක තිබියදී වුව, ඔහුගෙන් මූලික වශයෙන් ‘වීරත්වයක්‘ අපේක්ෂා කළ බව පැහැදිලිව කියන්න පුළුවන්. එහෙත්, මුළු රටක මිලියන ගණන් මිනිසුන් පාරට බහිද්දී වුව ඔහුගෙන් ඒ වීරත්වය හෝ නායකත්වය දක්නට ලැබුණේ නෑ. කෙතරම් කලාකරුවන් ගෝල්ෆේස් එකට ආවාද? මන්ත්‍රීවරයෙකු වීම පැත්තකට තබා කලාකරුවෙකු ලෙසවත් ඔහුට තිබුණා, මැදිහත්වීමක් කරන්නට.
දෙවැනි එක තමයි දුටුගැමුණු කවුද? ලංකාවේ නූතන ඉතිහාසය තුළ සහ ඈත ඉතිහාසය තුළ දුටුගැමුණුව වීරත්වයට නැගුවේ ඇයි? අද සමාජය තුළ දුටුගැමුණු වීරත්වයට නගනවා නම් අපි එය කළ යුත්තේ කොහොමද? කියන ප්‍රශ්නයත් කෙටියෙන් කතා කරන්න ඕනෑ.
දුටුගැමුණු පිළිබද මහාවංශයේ පරිච්ඡේද 37න් 11ක් වෙන් කරලා තියෙනවා. මහාවංශය ලියැවුණු සමය, තවත් ඉන්දීය ආක්‍රමණයක් තිබුණු සමයක්. මහසෙන් රජතුමාගේ කාලය දක්වා වූ, මහාවංශයේ (පළවැනි කොටස) ලීවේ මහානාම හාමුදුරුවන් එදා තිබුණ දේශපාලන තත්වය එක්ක. ඒකේ දෘෂ්ඨිකෝණය තුළ ඉන්දීය ආක්‍රමණවලට එරෙහි දේශප්‍රේමයක් තිබුණා. ඒ් අනුව, ලංකාව ‘එක්සේසත්‘ කරපු දුටුගැමුණු රජුව වීර කාව්‍යයකින් ඔසවා තබන්නට ඔහු පෙළඹුණා. විදේශ රාජ්‍යයකින් ආක්‍රමණය කිරීම, සූරාකෑමට එරෙහි දේශප්‍රේමයක් එහි තිබෙන්නට ඇති. එයින් පසු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදීත් ‘සිංහල‘ ජාතිකවාදයක් එක්ක දුටුගැමුණුව ඔසවා තැබුවේ මහා බලගතු විදේශීය ආක්‍රමණික බලවේගයකට එරෙහිව පුද්ගලයන් පෙළගස්වන්නට.
එහෙත්, දුටුගැමුණු චරිතය ලංකාවේ නූතන ජාතිකවාදී දේශපාලනය තුළ විමල් වීරවංශලා වගේ ජාතිකවාදීන් විසින් ප්‍රවර්ධනය තිබුණේ අපේම රටේ ඉන්න, බලය අතින් විදේශ ආක්‍රමණිකයන් වන් වූ ශක්තිමත් නැති ජනවර්ගවලට එරෙහිවයි. අන්තිමේ මහින්ද රාජපක්ෂ සහ දුටුගැමුණු ඥාතීන් බවත්, ඒ ඥාතීකම මත මහින්ද බුදුන්ගේ නෑයෙකු බවත් කීවා.
ඉතින්, මහාවංශය ලියද්දීත් දුටුගැමුණු කතාව අවුරුදු සිය ගණනක් පරණ අතීත කතාවක්. එය ඉස්මතු වන්නේ ඒ මොහොතේ වුවමනාව වෙනුවෙන්. දැන් දුටුගැමුණු කතාව ඉස්මතු වෙන්නේත් වත්මන් වුවමනාව වෙනුවෙන්. එය ප්‍රබන්ධයක්.
එදා මෙන්ම අදත්, අපව ආක්‍රමණය කරන සහ සූරාකන බලවේග තියෙන බව ඉතා පැහැදිලියි. උද්දික ප්‍රේමරත්නගේ නායකයා විමල් වීරවංශ බටහිර බලවේග හෝ ඉන්දියාව ගැන කියද්දී අපිටත් පේන්න තියෙනවා ඔවුන් ඒ කරුණු සැබෑ අර්බුද මත පදනම් වී මතු කරන කරුණු බව. එහෙත්, පැහැදිලිවම ඔවුන් ඒ සියල්ල පෙළගස්වන්නේ මෙරට ජාතිවාදී පුහු දේශපාලනයටකත්, බොරු වීරයන් වර්ණනාවටත් මිස සැබෑ ලෙස ජනතාවාදීව ජනතාව ප්‍රශ්නවලින් නිදහස් කරවන්න නෙවෙයි. ඊටත් එහා ගිහින්, ඔවුන් ඒ දේශප්‍රේමයම – නැවත පාවිච්චි කරනවා මේ රටේ ජනවර්ග අතර ගැටුම් අවුස්සන්නටත්.
ඒ ඔක්කොම කරපු පක්ෂයක මන්ත්‍රීවරයෙකු වෙච්ච උද්දික, අන්තිමේ කැනඩාවටම පලා ගොස් දේශපාලන සරණාගතයෙකු වීම උත්ප්‍රාසජනකයි. විමල්ලාගේ දේශපාලන මතවාද, ඒ ධාරාව නිසා කැනඩාවටම වී ඉන්නට සිදු වූ මිනිස්සු කොපමණ ඉන්නවාද? විශේෂයෙන් දෙමළ ජාතිකයන්. කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට විමල්ලාගේ දේශපාලනය කොච්චර අපහාස- උපහාස එල්ල කරනවාද?
උද්දික ප්‍රේමරත්න විමල් වීරවංශලාගේ පක්ෂයේ දේශපාලන ඉත්තෙකු ලෙස මතු වන්නේ ඒ අතරතුරේ. අපි උද්දිකව පුද්ගලිකව නොහදුනනවා වුණත්, අපගේ දැනුම අනුව උද්දික කියන්නේ මහ ශූර, කපටි මිනිහෙක් නෙවෙයි. තමන්ට ආවේණික පෞරුෂයකුත් තියෙන සාමාන්‍ය තරුණ මනුස්සයෙක්. අපි හිතන්නේ විමල් වීරවංශලා ඔහුට තිබුණ ජනප්‍රියත්වය තුළ දේශපාලන චරිතයක් රගපාන්න උද්දිකට ආරාධනා කළා. උද්දික ඒ චරිතය රගපෑවා. ඒ අනුව උද්දික අහිංසකයෙක්, උද්දික පව් වගේ අදහස් ඔහු ගැන දන්න උදවියගෙන් අපට නිතර ඇසී තිබෙනවා.
විමල් වීරවංශ මීට කලින් දේශපාලනයට ගෙනා රංගන ශිල්පියෙක් තමයි රොජර් සෙනෙවිරත්න. ඔවුන් කාලයක් එකට දේශපාලනය කළත්, මේ වෙද්දී රොජර් ඒ බලවේගයෙන් ඈත් වෙලායි ඉන්නේ.
අපේ නිරීක්ෂණය අනුව නම් උද්දික ප්‍රේමරත්න දේශපාලනය තුළදීත්, මහරජ ගැමුණු චිත්‍රපටියේත් ඔහුගෙන් අපේක්ෂිත දුටුගැමුණු චරිතයට කිසිම සාධාරණයක් ඉටු කළේ නෑ. සරලවම කීවොත් ඔහුට අනුරාධපුරයේ මිනිසුන් විශ්වාසයෙන් යුතුව ඡන්දය ලබා දී බලාපොරොත්තු වූ ගැලවුම්කාර වීරයෙකුගේ භූමිකාව ඉටු කළේ නැහැ.
ඒ ගැලවුම්කාර වීරයා කියන්නේ ජාතිවාදියෙකු නෙවෙයි. අනුරාධපුරයේ ගොවි ජනතාවගේ ගොවිතැන ගැන අමනෝඥ තින්දු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගත්තා. එවිට ගොවියා වෙනුවෙන් පෙනී සිටීමයි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ. වකුගඩු රෝගයෙන් මැරෙන මිනිසුන් වෙනුවෙන් කතා කිරීමයි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ඔඩුදුවද්දී එයට එරෙහිව, කම්පැණිකාරයන්ගෙන් ගේම ඉල්ලන්නට නොබියව පෙනී ඉදීමයි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ. ගොවි ජනතාවගේ ජලය කොල්ලකන ව්‍යාපෘති ගැන කතා කිරිමයි බලාපොරොත්තු වන්නේ. තාඹුගලලා වැනි අය ගොවි ඉඩම් කොල්ලකමින් ආහාර නිෂ්පාදනය කල ඉඩම්වල බටහිර මිනිස්සුන්ගෙ ඇගේ අතුල්ලන්න දේවල් නිෂ්පාදනය කිරීමට එරෙහි වීමයි බලාපොරොත්තු වන්නේ.
අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගැමි ගොවි ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගනිමින් ඉන්නවා. එතකොට අනුරාධපුරෙන් ආපු දුටුගැමුණු තමන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා කියලා රටින් පනින්න යනවා. බදු බර දරාගන්න බැරිවෙද්දී, විදුලි බිල ගෙවාගන්න බැරිවෙද්දී, අනුරාධපුර වගේ ගමක සාමාන්‍ය ශිෂ්‍යයෙක්ට අධ්‍යාපනය ලබන්නට තිබුණ නිදහස් අධ්‍යාපනය උඩියටිකුරු කරන ප්‍රතිපත්ති සකසනකොට, සෞඛ්‍ය විනාශ කරලා දානකොට දුටුගැමුණු වීරයා රටින් පිට වෙන්න උත්සාහ කරනවා. දේශපාලනයෙන් පලා යෑමට උත්සාහ කරනවා.
වීරයන්ගේ චරිත රගපාන හැම දේශපාලනඥයාම වගේ තමයි උද්දිකත්. ඔහු අහිංසක නෑ. ඔහු ජනතාවගේ ඡන්ද කොල්ලකෑවා, බදු මුදලින් වැටුප් ලබමින් ජනතා ධනය කොල්ලකෑවා. අපි කලිනුත් කීවා වගේ උද්දික ටිකක් අහිංසක මනුස්සයෙක් බව අපි හිතනවා. එහෙත්, දේශපාලනය කියන්නේ බබ්බු නලවන තැනක් නෙවෙයි. ඒ නිසා, උද්දික දේශපාලන සරණාගතභාවය ඉල්ලා සිටිද්දී ඔහුට මිනිස්සු හිනාවීම පුදුම වෙන්න ඕනෑ දෙයක් නෙවෙයි.
මේකෙන් කියැවෙන්නේ නළුවන් දේශපාලනය නොකළ යුතු බවද? නැහැ. අප මේ මොහොතේ දකිනවා ජගත් මනුවර්ණ දේශපාලනය කරන රංගන ශිල්පියෙක්. විජය කුමාරතුංග සහ ගාමිණී ෆොන්සේකා යන දෙදෙනාම දේශපාලනයේ යෙදුණා. රන්ජන් රාමනායක දේශපාලනය කළා. ලෝකයේ ඕනෑ තරම් ප්‍රසිද්ධ කලාකරුවන් දේශපාලන මැදිහත්වීම් කර තියෙනවා. ජගත් මනුවර්ණ සැබෑවටම ගෝල්ෆේස්හි මාස ගාණක් තිස්සේ හිටියා. හිරේ ගියා.
විජය කුමාරතුංග සැබෑ ලෙස ජාතිවාදයට එරෙහිව උතුරේ සංචාරය කරපු, දකුණේදී ඓතිහාසික දේශපාලන සන්ධාන ගොඩනගන්න මැදිහත් වූ කෙනෙක්. රන්ජන් රාමනායක බැලූ බැල්මට මහා පොත්පත් කියවූ විදග්ධ දේශපාලන චරිතයක් නොවුණාට සැබෑ අවංක පුද්ගලයෙකු විදියට දූෂණයට එරෙහිව කෑගහපු කෙනෙක්.
එහෙම පසුබිමක උද්දික ප්‍රේමරත්න කියන්නේ නළුවෙක්. ඔහු දුටුගැමුණුට රගපෑවා. දේශපාලනය තුළත් ඔහු ඒ රගපෑමම කළා. ඇත්තටම ඒක හරියට කළේත් නෑ.
